ලොව පැරණිම ගස්



ලොව පැරැණිතම වනාන්තරය ගැන කියන්නයි මේ හදන්නේ. මේ වනාන්තරයට අයත් ශාකවල එසේත් නැතිනම් ගස්වල පොසිල හමුවී ඇත්තේ නිරිතදිග එංගලන්තයේ පොසිල කැණීම් භූමියකිනි. එම පොසිල කාල නිර්ණය කිරීමට විද්‍යාඥයන්ට හැකිවිය. ඒ අනුව, එම පොසිල ගස්, අවුරුදු මිලියන 390 ක් පැරැණි බව තහවුරු කර ගැනුණි.

මීට පෙර, ලොව පැරැණිම වනාන්තරයට අයත් ගස් ලෙස හඳුනාගෙන තිබුණේ 2020 වසරේ දී හමුවුණු පොසිල ගස්ය. කාල නිර්ණය අනුව, 2020 වසරේ දී හමුවුණු එම පොසිල ගස්, අවුරුදු මිලියන 386 ක් පැරැණිය. එම පොසිල ගස් හමුවූයේ ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ, හඩ්සන් ගංගාවට බටහිර දෙසින් ගිල්බෝවා පළාතේ කැණීමකදීය.පසුගිය දා සිදුවුණු මෙම අලුත් සොයා ගැනීමත් සමඟ, දැන් විද්‍යාඥයන්ට පැරැණිම වනාන්තරයට අයත් ගස් හමුවී ඇත්තේ, එංගලන්තයෙනි.

මිහිමත ශාක නිර්මාණය වූයේ සතුන් පහළ වීමට පෙරය. පළමු ශාක ලෙස සැලකෙන්නේ ඒක සෛල බැක්ටීරියා සහ නිල් කොළ ඇල්ගීය. මෙම නිල් කොළ ඇල්ගී පහළ වීම සිදුවනී ඇත්තේ අවුරුදු මිලියන 3500 කට පෙර යැයි විශ්වාස කෙරේ. හිරුගේ ශක්තිය ලබා ගනිමින්, පළමුවෙන් ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලියට දායක වූ මුල්ම ශාක ලෙස මෙම නිල් කොළ ඇල්ගී හැඳින්විය හැකිය.

අතීතයේ මිහිමත තිබුණු බවට සාක්ෂි ලැබී ඇති ප්‍රාථමික වනාන්තර එසේත් නැතිනම් ශාක සහ අද අපට දකින්න ලැබෙන ශාක අතරේ විශාල වශයෙන් වෙනස්කම් ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ වෙනස්කම් හඳුනා ගැනීමට හමුවුනු පොසිල සාක්ෂි උදවු වෙයි. වසර මිලියන ගණනක් ගතවෙද්දී, අද අපට දකින්න ලැබෙන වනාන්තර සහ අතීතයේ තිබූ ප්‍රාථමික වනාන්තරවල ඇති වෙනස්කම් මෙම පොසිල සාක්ෂිවලින් පැහැදිලිව දකින්න ලැබෙන බව, එක්සත් රාජධානියේ, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ, භූ විද්‍යාඥ නීල් ඩේවිස් පවසයි. එංගලන්තයේ කැණීම්වලින් හමුවුණු මෙම නව පොසිල ගස් සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් සකස් කර එය ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ද නීල් ඩේවිස්ය.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ගිල්බෝවා පළාතෙන් හමුවුණු පොසිල සහ නිරිතදිග එංගලන්තයෙන් හමුවුණු පොසිල සන්සන්දනය කර ඇති අතර, ඒවා අතරේ ද වෙනස්කම් රැසක් ඇති බව වටහා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. පැරැණි වනාන්තර ව්‍යාප්තවීම සහ ඒවායේ පරිණාමය සිදුවූයේ කෙසේදැයි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට එම සන්සන්දන හේතුවක් වී ඇත.

නිව්යෝක් ගිල්බෝවා පළාතෙනන් හමුවුණු ගස්වල පොසිල එම හැඩැති එකම විදියේ ඒවාය. නිරිතදිග එංගලන්තයෙන් හමුවුණු පොසිලකරණයට ලක් වී ඇත්තේ විවිධාකාරයේ ගස් බව භූ විද්‍යාඥ නීල් ඩේවිස් පැහැදිලි කර තිබේ. අතීතයේ තිබූ මේ ගස් කිසිවක් අද අපට දකින්න නොලැබෙයි. ඒවා සියල්ල කාලයත් සමඟ වඳ වී ගොසිනි.

එංගලන්තයෙන් සොයාගත්, වඳ වී ගිය මෙම ඉපැරැණි ගස් හැඳින්වෙන්නේ, ක්ලැඩොක්සිලොප්සයිඩ් Cladoxylopsids නමිනි. මේ ගස් සමීප නෑකම් දක්වන්නේ, මීවන සහ ස්පෙනොප්සයිඩ් වැනි ශාකවලටය. මෙම ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස් පෙනුමින් තල් ගස් වැනිය. මේ සටහන සමඟ ඇත්තේ ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස් සිත්තරකු විසින් සිතුවමට නගනු ලැබූ අයුරුය.

පෙනුමින් ඒවා වෙනස් විදියේ තල් ගස් වැනිය. පෙනුමින් තල් ගස් වැනි වුණත්, ක්ලැඩොක්සිලොප්සයිඩ් කිසිසේත්ම තල් ගස්වලට නෑකම් කියන්නේ නැත. ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස්වලට ඇත්තේ දිග මධ්‍ය කඳකි. තල් කොළ ලෙස පෙනෙන්නේ ක්ලැඩොක්සිලොප්සයිඩ් Cladoxylopsids ගස්වල කොළ නොවෙයි. ගසට අයත් රිකිලිය. මේ රිකිලි එකට ගත් කළ ඔටුන්නක් වැනිය.

ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස් මීටර් 4 ක් හෝ පහක් උස යන්න ඇතැයි විශ්වාස කෙරේ. සමහර විට, අද දකින්න ලැබෙන ආකාරයට නොවෙයි, අතීතයේ මිහිමත උස වනාන්තර පිහිටා නොතිබෙන්න ඇත. අතීතයේ තිබෙන්න ඇත්තේ කුරු ගස්. යැයි නීල් ඩේවිස් සිය අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

පොසිල සාක්ෂි ලෙස හමුවුණු මෙම ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස් මිහිමත දකින්න ලැබී ඇත්තේ, ඩෙවෝනියානු යුගයේය. අවුරුදු මිලියන 393 සිට මිලියන 383 දක්වා කාලය අයත් වන්නේ ද මෙම ඩෙවෝනියානු යුගයටය. විද්‍යාඥ නීල් ඩේවිස් සහ ඔහුගේ කණ්ඩායමට ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස්වල පොසිල සොයා ගැනීමට හැකිවූයේ අහම්බෙනි. ඒ, නිරිතදිග එංගලන්තයේ හැන්ග්මන් Hangman Sandstone Formation කැණීම් භූමියේ කළ කැණීම් අතරතුරය. හැන්ග්මන් කැණීම් භූමියේ වැලිගල්වලින් සමන්විත ඉපැරණි පොසිල සඟවාගත් පුරා විද්‍යාඥයන්ට ඉතා වැදගත් භූමියකි. අද දූපතක් ලෙස වෙන් වුවත්, ඈත අතීතයේ, එක්සත් රාජධානිය ලෝරෙන්ෂියා නම් මහාද්වීපයේ කොටසක් ලෙස පැවැති බව භූ විද්‍යාඥයන්ගේ මතයයි. සමකයට ආසන්නව පිහිටන්න ඇතැයි විශ්වාස කෙරේන මෙම ලෝරෙන්ෂියා මහද්වීපයේ පවතින්න ඇත්තේ උණුසුම් වියලි කාලගුණයක් යැයි ද අනුමාන කෙරේ.

ලයිව් සයනිස් ඇසුරිනි


RECOMMEND POSTS