බිරිඳක් ඉල්ලා හඬන රැහැයියා



හුදකලාව මුසු වුන අඳුරු වන ලැහැබක කන් දෙවනත් කරවන තරම් ශබ්දයක් පිට කරන සිකාඩා (Cicada) එසේත් නැත්නම් රැහැයියා නොදන්න කෙනෙක් නැත. රැහැයියන් අප සැමට ඉතා හුරු පුරුදු සත්ව කොට්ඨාශයක් වන්නේ බොහෝවිට ග්‍රාමීය සහ වනගත ප්‍රදේශවලින් ඇසෙන ලාක්ශනික නාදයන් නිසාය. නමුත්, බොහෝදෙනා මේ සත්වයකු දැක නැත. රැහැයියා ඉතා උස් හඬින් නොකඩවා ශබ්ද නැගීමේ ප්‍රතිඵලයක් ලෙස පැලී මරණයට පත්වන බව අප කුඩා කල පටන් අසා තිබෙන කථාවකි.

රැහැයියන් හෙමිප්ටෙරා ගෝත්‍රයට (Order Hemipitera) අයත් සිකඩොයිඩියා උපරි-කුලයට (Super-Family-Cicadoidea) අයත් කෘමීන් කොටසකි. ඊට විශේෂ 3000 පමණ අයත්වන අතර, ශ්‍රී ලංකාව තුළ ද විශේෂ ගනනාවක්ම දක්නට ලැබේ. විශාල ශරීර, ශරීරයට වඩා දිග පූර්ව පියාපත් යුගල, අපර පියාපත් නොමැති වීම, හිස දෙපසට වෙන්නට සහ එකිනෙකින් ඈත්ව පිහිටන ඇස් යුගල සහ ඉතා කුඩා ස්පර්ශක යුගල මොවුන්ට ආවේණික ලක්ෂණ වේ. රැහැයියගේ ජීවන චක්‍රයේ තිබෙන්නේ බිත්තර, ශිශුවා (Nymph) සහ සුහුඹුලා යන අවධීන් තුනක් පමණි.

අප සියලු දෙනා එක්වරක් හෝ පාළු රාත්‍රීන් හී අප අසා ඇති, ප්‍රේමණීය විලාපය, නගන්නෙ මේ කුඩා කෘමියා වන රැහැයියාය. කනට අමිහිරි වුනත් ඒ ඌ ගයන්නේ ජීවිතයේ අවසාන ගීතයයි. අවුරුදු දාහතක් භූගතව සිට, අවුරුද්දෙ එක්තරා කාලයකදී එලිමහනට එන මේ කුඩා කෘමියා, උදෑසනින්ම තම ගීතය ආරම්භ කර, හිරු මුදුන් වෙද්දී තම නාදය වඩා උත්සන්න කරමින් ක්රමයෙන් හිරු අවරට යත්ම, අප්රාණික ස්වරයක් ගනී. රෑස්ස ගස් ආශ්‍රිතව පෙදෙස් වල වැඩියෙන් මෙම අමිහිරි නාදය ඇසෙයි. ඌ මෙම හඬ නගන්නෙ මුවෙන් යයි සිතුනත් ,එය එසේ නොවෙයි. රැහැයියාගේ මෙම හඬ නගන්නේ, උගෙ බඳෙහි ඇති පේෂීන් දෙකක් එකට ඇතිල්ලීමෙන් ඇතිවෙන කම්පනයකිනි.

උගේ බදෙහි ඇති තාත රජ්ජුව නම් අවයවය සමග මාංශපේෂින් එකට ගැටීමෙන් ඇතිවන මේ කනට අමිහිරි නාදය, ඔහුගේ ප්‍රියම්භිකාවට එනම් ගැහැනු රැහැයියෙකුට ඉතා මිහිරිය. එය ඇයට කොතරම් මිහිරි ද කිවහොත්, ගැහැනු රැහැයියා ඇගේ සහකරු ලෙස පිරිමි රැහැයියා තෝරා ගනී. රැහැයියා ගැහැවු සතුන්ට පිරිමි සතුන් මෙන් මෙසේ ශබ්ද කළ නොහැකිය. ත්‍රීව හඬ නිසාම, රැහැයියා පිරිමි සතුන්, ගැහැනු සතුන් ආකර්ශණය කර ගැනීමට පෙර, වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා ද එමටය.

දින කිහිපයක් ගත වෙද්දී, ගැහැනු සතා ගසක පොත්තක් තුළ හෝ අතුරිකිලි අතර බිත්තර දමයි. මෙම බිත්තර විවිධ උවදුරු මගින් ඉතා ඉක්මනින් විනාශ වේ. ආරක්ෂා වන බිත්තර පුපුරා සති 6-8 ත් අතර කාලයක් තුළදී පණුවන් පිටතට එයි. අනතුරුව ගසෙන් බිමට වැටෙන ඒ පණුවන් පස හාරාගෙන පොළොව තුලට යයි. පසේ ඇති, සාරය, ශාක මුල්වල ඇති සාරය ආහාරයට ගනිමින් වසර අවුරුදු 17 ක් පමණ මේ පණුවන් පොළව යට ජීවත්වන වෙයි. තම කාල පරිච්ඡේදය ඉවරවත්ම පොළොවෙන් උඩට එන මේ පංචශිඛයා (සුහුබුලා), සිය හැව ගලවා දමා, වැඩිහිටි රැහැයියෙක් බවට පරිවර්තනය වෙයි. මෙම පණුවා රැහැයියෙක් බවට පරිවර්ථනය වී පොළවෙන් උඩට මතු වී තම පරම්පරාව ගෙන යාමට දායක වෙමින් සති 4 ක් 6 ක් අතර කාලයක් ජීවත් වෙයි.

පොළොව මතුපිට සිට පැමිණෙන රැහැයියන් උස් ගස් සොයා යයි. ඉන්පසු රාත්‍රිය පුරාම නාද කිරීම අරඹයි. සහකාරියක සොයාගෙන ඇය සමඟ එක් වී, අනාගත පරපුර සුරක්ෂිත කිරීම රැහැයියන්ගේ එකම අරමුණ වෙයි. මෙය පිරිමි රැහැයියකුගේ ජීවිත කාලයේ අවසන් පරිච්ඡේදයයි. රැහැයියා ගයන්නේ උගේ අවසාන හංස ගීතයයි. පිරිමි රැහැයියන් ඒ ගීය ගයන්නේ සහකාරිය වෙනුවෙන්ම පමණි. වසර 17 ක් තිස්සේ පොළොව යට සැඟවී සිටින මේ පුංචි කෘමි සත්වයා, ජීවිත කාලය අවසානයේ එළියට පැමිණ, සද්ද කර, මඟුල් බෙර හඬ නංවා, ගැහැනු සතකු ළං කරගෙන, පසුව මළ බෙරය වයා අවසන් ගමන් යයි. ඇත්තෙන්ම රැහැයියකුගේ ජීවන චක්‍රය සැබැවින්ම විස්මිතය.

ජයනි සිතාරි අල්විස්
අන්තර් ජාලය ඇසුරිනි

RECOMMEND POSTS