අපේ ආදීතමයා



ඈත අතීතයේ ජීවත් වූ සතුන් ගැන කතා කරද්දී, මුලින්ම අපේ සිහියට නැගෙන්නේ ඩයිනසෝරයන්. ඒත් ඉතිං ඩයිනසෝරයන්ට පෙර, මිහිමත ජීවත් වුණේ කවුරුන්ද? ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. ඩයිනසෝරයන්ට පෙර ජීවත් වූ සතුන් ගැන කතා කරද්දී, අප කතා කළ යුතුම සතෙක් සිටී. මේ සතා ඩයිමෙට්‍රෝඩෝන් Dimetrodon ය. මේ සටහන සමඟ පළ වන්නේ, ඩයිමෙට්‍රෝඩෝන්ගේ රූපයකි. ඒ දිහා හොඳින් බලන්න. ඩයිමෙට්‍රෝඩෝන්ගේ පෙනුම යෝධ උරගයෙක් වගෙයි. පිට මැද්දේ ලොකු රුවලක් පිහිටා ඇත. ඩයිනසෝරයන්ට කලින්, ජීවත් වුණු සතකු වුණත්, ඩයිනසෝරයකුට සමාන උරගයකුගේ පෙනුම තිබුණත්, ඩයිමෙට්‍රෝඩෝන් ඩයිනසෝරයන්ගේ ආදීතමයකු නොවෙයි. ඇහුවොත් පුදුම වේවි, ඩයිමෙට්‍රෝඩෝන් අපේ ආදීතමයාය. මනුෂ්‍ය අප ද අයත් කිරි බී වැඩෙන ක්ෂීරපායීන්ගේ ආදීතමයාය. පොසිල සාක්ෂි අනුව, සත්ව විද්‍යාඥයන්, මුල්ම ක්ෂීරපායී සත්වයා යැයි හඳුනාගෙන ඇත්තේ ඩයිමෙට්‍රෝඩෝන් ය. ඩයිමෙට්‍රෝඩෝන් ක්ෂීරපායීන්ගේ ආදීතමයා යැයි විද්‍යාඥයන් කියන්නේ ඇයි? එසේ කීමට, ඔවුන්ට ලැබී ඇති සාක්ෂි මොනවාද? මේ කියන්න හදන්නේ ඒ ගැන තමයි.

පෘථිවිය බිහිවී, ජීවීන්ගේ ආරම්භය සිදුවීමෙන් පසු, එදා සිට අද දක්වා, විද්‍යාඥයන් පෘථිවිය මත කාලය, ප්‍රධාන භූ කාල කීපයකට බෙදා වෙන් කර තිබේ. ප්‍රධාන භූ කාල, උප කාලවලට ද බෙදා ඇත. භූ කාල මානයේ, ප්‍රධාන බෙදීම්, යුග (Eras) ලෙස හැඳින්වෙයි. ඊට අමතරව අවදි (Period) සහ වකවානු (Epoch) උප බෙදීම්වලට වෙන් කෙරේ. ඩයිමෙට්‍රෝඩෝන්, පේලියෝසොයික Paleozoic යුගයට අයත් සතෙකි. පේලියෝසොයික යුගයේ කැපී පෙනෙන සත්වයා ලෙස සැලකෙන්නේ ද ඩයිමෙට්‍රෝඩෝන් ය. ඩයිමෙට්‍රෝඩෝන් ජීවත් වූයේ පේලියෝසොයික යුගයේ අවසන් කාලයේ, පර්මියානු Permian අවදියේදීය.

පොසිල විද්‍යාඥයන් පමණක් නොව, සත්ව විද්‍යාඥයන් ද මවිත කළ අමුතු සතුන් බොහෝ දෙනකු ජීවත් වූයේ මේ පර්මියානු අවදියේය. ඇතැම් සතුන්ට උරගයන්ගේ ගති ලක්ෂණත්, ක්ෂීරපායීන්ගේ ගති ලක්ෂණත් තිබුණි. විද්‍යාඥයන් මේ සතුන් නම් කරන්නේ Mammal like Reptiles (ක්ෂීරපායින් වැනි උරගයන්) යනුවෙනි. එසේ වුවත්, මෙම සතුන් උරග පවුලට වැටෙන්නේ නැත. මොවුන් වැටෙන්නේ ක්ෂීරපායීන්ගේ පවුලටය. උරගයන්ගේත් ක්ෂීරපායීන්ගේත් ගති ලක්ෂණ මිශ්‍ර වූ මේ සතුන් විද්‍යාත්මකව හැඳින්වෙන්නේ කඳ ක්ෂීරපායින් (Stem Mammals ස්ටෙම් මැමල්ස්) යනුවෙනි. බැලූ බැල්මට ප්‍රාග් ඓතිහාසික උරගෙයකු බව පෙනුනත්, ඩයිමෙට්‍රෝඩෝන්ගේ ගති ලක්ෂණ උරගයකුට වඩා සම්පුර්ණයෙන් වෙනස්ය. තවත් වසර මිලියන ගණනකට පසු ක්ෂීරපායීන් බිහිවීමට ඒවා හේතු සාධක වූ බව විද්‍යාඥයන්ගේ අදහසය.

දැන් අපි ඩයිමෙට්‍රෝඩෝන්ගේ අමුතු ගති ලක්ෂණ මොනවාදැයි බලමු. ඩයිමෙට්‍රෝඩෝන් ක්ෂීරපායීන්ගේ ආදීතමයා ලෙස සැලකෙන්නේ කොහොමදැයි බලමු. පොසිල සාක්ෂිවලින් ඩයිමෙට්‍රෝඩෝන්ගේ දත් හමුවී තිබේ. ඒ දත්, එකිනෙකට වෙනස්ය. විවිධය. මනුෂ්‍ය අපගේ පමණක් නොවෙයි, සෙසු ක්ෂීරපායින්ගේ ද එසේ වෙනස්ය. ඒවා එක වගේ හෝ එක හැඩයේ හෝ දත් නොවෙයි. ඩයිමෙට්‍රෝඩෝන්ගේ දත්වල මෙම විවිධත්වය නිසා ඩයිමෙට්‍රෝඩෝන් යන නම යෙදුණි. ඩයිමෙට්‍රෝඩෝන් යන නාමයේ අරුත ‘එකිනෙකට වෙනස් දත් ඇති සතා’ යන්නය.

ඩයිමෙට්‍රෝඩෝන් ජීවත් වූ අවදියේ සෙසු සතුන්ට පමණක් නොව, උරගයන්ටත් තිබුණේ එකම විදියේ දත්ය. මස් කන සතුන්ට එසේත් නැතිනම් මාංශභක්ෂකයන්ට තිබුණේ තියුණු උල් දත් පමණි. උන්ට කළ හැකි වූයේ මස් ඉරා, ගිලීම පමණි. මස් හැපීම හෝ ඇඹරීමට හෝ දත් තිබුණේ නැත. ඩයිමෙට්‍රෝඩෝන්ගේ උඩ හනුවේත් යටි හනුවේත් දත් එකිනෙකට වෙනස් විවිධ කාර්යයන් සඳහා සැකසී තිබුණි. ඉදිරියෙන්ම වූයේ කෘන්තක දත්ය. සතුන් දඩයම් කරද්දී සපා කෑමට සහ මස් ඉරා කෑමට මෙම කෘන්තක දත් ඩයිමෙට්‍රෝඩෝන්ට උපකාරී වෙන්න ඇත. මුඛයේ කෙළවර දත් නැමී තිබුණු අතර, සපා අඹරා කෑම සිදුවිය. උල් දත් සියල්ලේම කුඩා දැති තිබුණු අතර, ගොදුරු කර ගන්නා සතුන් ඉක්මනින් සහ පහසුවෙන් ගිල දැමීමේ හැකියාව ඩයිමෙට්‍රෝඩෝන් ට තිබුණි. ක්ෂීරපායී සතුන්ගේ වැදගත්ම ලක්ෂණය දත්වල ඇති මේ විවිධත්වයයි. මාංශභක්ෂකයන්ට ශක්තිමත් කෘන්තක දත් පිහිටයි. ශාක භක්ෂකයන්ට අඹරා කෑමට හැකි ආකාරයේ චාර්ව සහ පුරස්චාර්වක දත් පිහිටයි. වසර මිලියන ගණනකට පසු ක්ෂීරපායීන්ගේ දත්වල මේ අයුරින් විවිධත්වයක් දකින්න ලැබෙන්නේ ඩයිමෙට්‍රෝඩෝනෙගේ පරිණාම කතාවේ ප්‍රතිඵලයක් ලෙස යැයි විද්‍යාඥයෝ පවසති.

ආහාරයට ගැනීමට නම්, ගොදුරක් අල්ලා ගත යුතුය. මේ සටහන සමඟ ඇති ඩයිමෙට්‍රෝඩෝන් සිතුවම් දෙස බලන්න. ඒ සිතුවම් අනුව, ඩයිමෙට්‍රෝඩෝන් උදෑසීන සතකු වගෙයි. බඩ සහ වලිගය බිම ඇතිල්ලෙනවා. කෙසේ නමුත්, ඇමෙරිකාවේ ඔක්ලහෝමාවලින් හමුවුණැයි පොසිල විද්‍යාඥයන් විශ්වාස කරන ඩයිමෙට්‍රෝඩෝන් පා සලකුණු පොසිල සාක්ෂි අනුව, ඩයිමෙට්‍රෝඩෝන්ගේ කෙටි පාද කෙළින් තිබෙන්න ඇත. බඩ සහ වලිගය බිම ඇතිල්ලුනේ නැත. එසේනම් ඩයිමෙට්‍රෝඩෝන්ට වේගයෙන් ඇවිදීමටත්, දිවීමටත් හැකියාව තිබෙන්න ඇත. සාමාන්‍ය උරගයකු ලෙස නොව, ඩයිමෙට්‍රෝඩෝන් ඇවිද ගියේත් දිව ගියේත් ක්ෂීරපායී සතකු ලෙසය.

ඩයිමෙට්‍රෝඩෝන්ගේ රුවල ගැන දැන් කතා කරමු. පිටේ රුවලක් පිහිටා තිබෙන්නේ ඇයිදැයි යන්නට හරිහැටි පිළිතුරක් මෙතෙක් ලැබී නැත. මේ රුවල නිර්මාණය වී තිබෙන්නේ සම සහ කොදු නාරටිය දිගේ ඉහළට නෙරා ආ සිහින් අස්ථිවලිනි. ඇතැම් විද්‍යාඥයන්ට අනුව, ඩයිමෙට්‍රෝඩෝන්ට රුවලක් තිබෙන්න ඇත්තේ, සිරුරේ උණුසුම එසේත් නැතිනම් උෂ්ණත්වය පාලනය කර ගැනීමටය. මෙම රුවල සූර්ය තාපය උරා ගැනීමක් කරන්න ඇතැයි පැවැසෙයි. ඩයිමෙට්‍රෝඩෝන් සෙවනේ සිටිද්දී, එය උෂ්ණත්වය පිර කරමින් උගේ සිරුර සිසිල් කර දෙන්න ඇත. කුඩා සතුන්ට වඩා විශාල සතුන් වැඩිපුර තාපයක් රඳවා ගැනීම සිදු කරන අතර ප්‍රමාණයෙන් විශාල සිරුරු ඇති ඩයිමෙට්‍රෝඩෝන් සතුන්ගේ රුවල ඒ අනුව විශාල වෙන්න ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ එක අදහසකි. ඒත් ඒ අදහස පිළිගන්නේ කීප දෙනකු පමණි.

ඩයිමෙට්‍රෝඩෝන්ගේ ඥාතියකු ලෙස ස්පෙනකෝඩාන් Sphenacodon සැලකෙයි. මේ සත්වයාගේ සිරුර සැලකිය යුතු තරමින් විශාලය. මේ සත්වයා ද හැඩය ඩයිමෙට්‍රෝඩෝන් වැනිය. පැහැදිලිව නෙරා ගිය රුවලක් ස්පෙනකෝඩාන්ට නැත. ඊට අමතරව ප්‍රමාණයෙන් කුඩා ඩයිමෙට්‍රෝඩෝන් විශේෂවලට සිරුරට වඩා ප්‍රමාණයෙන් විශාල රුවල තිබී ඇත. එවැනි කුඩා සිරුරක් ඇති සතකුට සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට එතරම් විශාල රුවලක් අවශ්‍ය වන්නේ නැත. සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට රුවල පිහිටන්න ඇතැයි යන අදහස ඒ අනුව ප්‍රශ්නාර්ථයකට ලක් වෙයි.

2010 වසරේ ගවේෂණ සහ පර්යේෂණවලින් අනාවරණය වූයේ රුවල ශක්තිමත්ව සහ ප්‍රමාණයෙන් විශාලව තිබුණේ තරුණ ඩයිමෙට්‍රෝඩෝන් සතුන්ට බවය. ඒ අනුව විද්‍යාඥයන් අලුත් අදහසක් ඉදිරිපත් කළේය. පිරිමි ඩයිමෙට්‍රෝඩෝන් සතුන්ගේ සිරුරට වඩා ප්‍රමාණයෙන් විශාල රුවලක් තිබීම, ගැහැනු සතුන් ආකර්ශණයට හේතුවක් වන්න ඇතැයි යන්න එම අලුත් අදහසය. එසේ නම්, මේ රුවල කලින් සිතූ ආකාරයේ සූර්ය පැනලයක් නොවෙයි. ගැහැනු සතුන් ආකර්ශනය කර ගැනීමට ඇති උපක්‍රමයකි. එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට යොදාගත් ශරීර අංගයකි. මෙය ක්ෂීරපායීන්ගේ ගති ලක්ෂණයකි. ඩයිමෙට්‍රෝඩෝන්ගේ රුවල, සිංහයකුගේ කේසර වැනිය. ගෝනකුගේ අං වැනිය. සතුරන්ට අභියෝග කිරීමටත්, ගැහැනු සතුන් ආකර්ශණය කර ගනිමින් වර්ගයා බෝ කිරීමටත් එය උදවු වෙන්න ඇත. ක්ෂීරපායීන්ගේ පැවැත්මට වැදගත්ම කාරණාව, එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට ඇති හැකියාවය. මෙය ඩයිමෙට්‍රෝඩෝන් සතුවීම සැබැවින්ම පුදුම කාරණාවකි.

ඩයිමෙට්‍රෝඩෝන්ට එකිනෙකට වෙනස් දත් තිබුණි. ඌ වේගවත් සතෙකි. තමන්ගේ වර්ගයේ අනෙක් සතුන් සමඟ සන්නිවේදනය කළ සමාජශීලී සතෙකි.‍ මේ කරුණු නිසයි ඩයිමෙට්‍රෝඩෝන් මුල්ම ක්ෂීරපායීයකු ලෙස සැලකෙන්නේ. එපමණක් නොවෙයි, ඩයිමෙට්‍රෝඩෝන්ගේ සාර්ථකත්වයට හේතුව ද එයයි. කැනඩාවෙන්, ඇමෙරිකාවෙන් පමණක් නොවෙයි ජර්මනියෙන් ද ඩයිමෙට්‍රෝඩෝන් පොසිල සාක්ෂි හමුවී තිබේ. අතීතයේ වගුරුවලත්, වියලි කාන්තාර ප්‍රදේශවලත් ඩයිමෙට්‍රෝඩෝන් විශේෂ ජීවත් වූ බවට සාක්ෂි හමුවී තිබේ. ඩයිමෙට්‍රෝඩෝන් ජීවත් වූ යුගය අවසන් වූ බව පැවැසෙන්නේ අවුරුදු මිලියන 270 කට පෙරය.

ඩයිමෙට්‍රෝඩෝන් යුගය අවසන් වී තවත් අවුරුදු මිලියන 20 කට පසු, පර්මියානු අවදිය අවසන් වූයේ මහා වදවී යෑමකිනි. කඳ සෛල ක්ෂීරපායීන් බොහෝ දෙනකුගේ අවසානය මෙහිදී සිදුවිය. එසේ වුවත් ක්ෂීරපායීන් පරම්පරාව ඉදිරියට යෑමට මෙම මහා වඳවීම බාධාවක් වුණේ නැහැ. අද ක්ෂීරපායීන් වන මනුෂ්‍ය අප ලොව ආධිපත්‍ය පතුරුවා තිබීම, ඊට හොඳම උදාහරණයයි. එසේ වූයේ ක්ෂීරපායින්ට ඕනෑම තත්ත්වයකට හුරුවීමටත්, වෙනස් වීමටත් හැකි නිසාය. එදා මහා වඳ වීමට ලක් වෙද්දී, ඩයිමෙට්‍රෝඩෝන් විශේෂ කීපයක් දිවි රැක ගන්න ඇතැයි විශ්වාස කෙරේ. උන් පරිණාමය වීමට පටන් ගත්තේය. ඒ තවත් අවුරුදු මිලියන 20 ක පමණ කාලයක් තිස්සේය. විද්‍යාඥයන්ට අනුව පුංචි මීයන් ආදී කුඩා ගුල් හාරන සතුන් පමණක් නොව, දිගු උල් දත් ඇති සේබර් ටෲත් ව්‍යාඝ්‍රයන්, දැවැන්ත මැමතුන් බිහිවුණේ ඒ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙසය. එ් ක්ෂීරපායීන්ගේ පරිණාම කතාව අවසන් වී ඇත්තේ මේ සටහන ලියන මම සහ කියවන ඔබගෙනි. අවසන් වශයෙන් කිවයුතු කාරණාව, ඩයිමෙට්‍රෝඩෝන් ක්ෂීරපායීන්ගේ ආදෙීතමයා යැයි අපට සහතික වෙන්න බැහැ. නමුත්, ඩයිමෙට්‍රෝඩෝන් ට වඩා පැරැණි ක්ෂීරපායීන්ගේ ගති ලක්ෂණ පිහිටි වෙන සතකු විද්‍යාඥයන්ට මෙතෙක් හමුවී නැත. එහෙයින්, ඩයිමෙට්‍රෝඩෝන් අපේ ආදිතමයා යැයි අපට පිළිගන්න සිදුවේවි.

Eons - PBS ඇසුරිනි


RECOMMEND POSTS