සිහිනයට අරුතක්



සිහින වලට අර්ථයක් තිබේද නැද්ද යන්න පිළිබඳව තවමත් විද්‍යාවෙන් පවා සොයාගත නොහැකිව ඇත. නමුත් විවිධ ආකාරයේ සිහින මගින් ඔබේ මානසික සෞඛ්‍යය, ශාරීරික සෞඛ්‍යය සහ නින්දේ ගුණාත්මකභාවය පිළිබඳව ද හෙලි කිරීමට සමත් වේ.

සිහින පිළිබඳ පර්‍යේෂකයින් සිහින එක් එක් වර්ගවලට වෙන්කර තිබේ. විවිධ වර්ගයේ සිහින පහක් සහ ඒවායේ ලක්ෂණ මෙසේයි.

සම්මත / නිත්‍ය සිහින ( Standard / Regular Dreams)

ඔබට දිනපතාම සිහින පෙනෙන්නේ නම් එයින් ඔබේ නින්දේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය යහපත් මට්ටමක ඇති බව කිව හැකියි. අප සම්මත සිහිනයක් හඳුනාගන්නේ කෙසේද ? ඒවායේ ලක්ෂණ මෙසේය,

බොහෝ විට ප්‍රසන්න සිහින හෝ ඉඳහිට අමුතු ආකාරයේ සිහින.

ඔබේ සිහිනවලට ස්පර්ශය , සුවඳට වඩා රූප කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඉතා ආකර්ශනීයව ද්ෘෂ්‍යමාන වේ.

ඔබ සාමාන්‍යයෙන් දකින සිහින නොපැහැදිලි ලෙස මතක තබා ගන්නා අතර බොහෝවිට ඔබ සිහින මැවූ දේ ඔබට සම්පූර්ණයෙන්ම අමතක විය හැක.

ඔබ දකින සිහින ආකර්ෂණීය හෝ අමුතු වූවත් ඒවා මගින් ඔබව අවදි කිරීමට හෝ ඔබව ආතතියට පත් කිරීමට තරම් හැකියාවක් නොපවතී.

සම්මත සිහින දැකීමෙන් පෙන්නුම් කරනු ලබන්නේ ඔබ හොඳින් නිදාගෙන සිටින බවත් ඔබ අධික ආතතියෙන් හෝ කනස්සල්ලෙන් නොසිටින බවත්ය.

පුනරාවර්තන සිහින ( Recurring Dreams)

බොහෝ දෙනාට සමහර සිහින නැවත නැවතත් පෙනෙන අවස්ථාවන් තිබේ. නමුත් ඔබ රාත්‍රියේ නිදාගත් පසු ඔබට අසාමාන්‍ය ලෙස එකම සිහිනය නැවත නැවතත් පෙනේ නම් , එය ඔබ ආතතියෙන් හෝ කනස්සල්ලෙන් සිටින බවට ලකුණකි. බොහෝ පුනරාවර්තන සිහින ප්‍රසන්න නොවේ. ලුහුබැඳීම , වැටීම හෝ පහරදීම වැනි සිද්ධීන් දිගටම දිස්වේ. මෙම සිහින කම්පනය , ශෝකය, ආතති සහගත සම්බන්ධතාවයක් හෝ නව රැකියාවකට හෝ ස්ථානයකට මාරුවීමේදී ඇතිවන ආතති තත්වයන් නිසා මෙවැනි සිහින පෙන්නුම් කරනු ලබයි. දරුණු අවස්ථාවන් වලදී පුනරාවර්තන සිහින පුනරාවර්තන බියකරු සිහින (Recurring Nightmares) බවට පත්විය හැකි අතර , ඔබේ නින්දේ ගුණාත්මකභාවය හා ආතතිය එමගින් නරක අතට පෙරලී ඇති බව පෙන්නුම් කරයි.

මෙයට හොඳම විසඳුමවන්නේ නැවත නැවත සිහින ඇතිවීමට හේතුව පිළිබඳ සොයා බැලීමයි. ඔබේ ආතතිය හෝ කාංසාව කළමනාකරණය කිරීම සඳහා ඔබට මනෝ චිකිත්සාව සඳහා යොමු විය හැක. නැතහොත් ඔබගේ මිතුරෙකු , සහකරුවා හෝ ආගමික නායකයෙකු සමඟ කතාබහ කර ඔබගේ ආතති තත්වය මගහරවා ගැනීම සිදු කල හැකිය.

නපුරු සිහින ( Nightmares)

නපුරු සිහින ‍යනු ඔබට දැකිය හැකි නරකම ආකාරයේ සිහින අතර නිරන්තර බියකරු සිහින ඔබේ නින්දේ ගුණාත්මකභාවයට බලපෑම් ඇති කරනු ලබයි. එමගින් නින්ද නොයාම සහ නින්ද නොලැබීම , නපුරු සිහින සමඟ මනස දැඩිව සම්බන්ධ වීම සිදුවිය හැකිය. බියකරු සිහින ඔබේ මානසික සෞඛ්‍යටද බලපානු ලබයි.

ඉඳහිට බියකරු සිහිනයක් දැකීම සාමාන්‍යයෙන් බරපතල නොවේ. ඔබ බිය උපදවන සුළු යමක් නරඹා, සවන් දී හෝ කියවීමෙන් එවැනි සිහින දැකිය හැක. ඊට අමතරව ඔබ කිසියම් හෝ රෝගයකට ලබා ගන්නා ඇඋශධ වර්ගයන් නිසාද ඔබට බියකරු සිහින දැකීමට හේතුවක් විය හැකිය. නමුත් නිරන්තර බියකරු සිහින මානසික ආතතිය ,කාංසාව සහ වෙනත් මානසික සෞඛ්‍ය  ආබාධ නිසා දැකිය හැකිය. නිදසුනක් ලෙස PTSD සහිත පුද්ගලයන්ගෙන් බහුතරයකට නිතර බියකරු සිහින පෙනෙයි. ඔබේ නින්දට බාධා වන බියකරු සිහින ඔබ නිතර දකිනවා නම්, ඔබට මානසික වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති නම් බියකරු සිහින දිගින් දිගටම පෙනීමෙන් ඔබට මානසික ආබාධ ඇති විය හැකියි. බියකරු සිහින දැකීමට හේතුව සොයා එයට පිළියම් යෙදීම සිදුකල යුතුය. ඔබගේ මානසික සෞඛ්‍ය යහපත් නම් බියකරු සිහින ඇතිවීමට හේතු සාධක වශයෙන් මත්පැන් , මත්ද්‍රව්‍ය, ‍ඖෂධ අනිසි භාවිතය , නින්ද නොයෑමේ ආබාධ (Sleep apnea) අධික තෙහෙට්ටුව ආදී හේතු නිසාද නපුරු සිහින පෙනිය හැකිය.

රාත්‍රී භීෂණය ( Night Terrors)

රාත්‍රී භීෂණ ගණයට අයත්වන සිහින නපුරු සිහිනවලට වඩා බෙහෙවින් වෙනස් වේ. රාත්‍රී භීෂණ වැඩිහිටියන්ට සාපේක්ෂව ළමුන්ට පෙනෙයි. රාත්‍රී භීෂණය නපුරු සිහින මෙන් මතක තබාගත නොහැකියි. බොහෝ අය රාත්‍රී භීෂණයක් දුටුබව දැනගන්නේ තමන් සමඟ නින්දට යන අනෙක් පුද්ගලයා මඟිනි. නොදැනුවත්වම කෑ ගැසීම , පයින් ගැසීම, පහර දීම හෝ ඇදෙන් නැගිටීම වැනි ක්‍රීයාකාරකම් මොවුන් විසින් සිදු කරනු ලබයි. මානසික ආතතිය , මානසික අවපීඩනය , කාංසාව වැනි මානසික සෞඛ්‍යයේ ඇති ආබාධයන් නිසා රාත්‍රී භීෂණ ඇතිවෙයි. නපුරු සිහිනවලදී මෙන්ම මධ්‍යසාර භාවිතය , මත්ද්‍රව්‍ය භාවිතය, නින්ද නොයාම වැනි දේ නිසා ද මෙවැනි සිහින පෙනෙයි.

පැහැදිලි සිහින (Lucid Dreams)

බහුතර මිනිසුන් හිතාමතාම අත්විඳීමට උත්සහා කරන එකම  සිහිනය පැහැදිලි සිහින ලෙස නම් කල හැකිය. එයට හේතුව වන්නේ තමන්ට රිසි සේ සිහිනය තුළ සිදුවන දේ පාලනය කලහැකි වීමයි. පැහැදිලිවම සිහිනයක සිටින බව මෙහිදී හඳුනාගත හැකිය. මෙමගින් පුද්ගලයන්ගේ කනස්සල්ල ,කම්පන සහ වෙනත් මානසික ගැටළු සමඟ  ආරක්ෂිතව කටයුතු කිරීමට මාර්ගයක් ලෙස හුවා දක්වයි. පැහැදිලි සිහිනවල ඇති අවාසිදායක තත්වය වන්නේ, පර්යේෂකයන් පවසන අන්දමට සිහින දැකීම තමන් විසින් නිර්මාණය කරන නිසා මෙමගින් ගැඹුරු සන්සුන් නින්දක් නොලැබීමයි. එමගින් සුව නින්දට බාධා පැමිණිය හැකියි. මෙය දිගින් දිගටම පුරුද්දක් වශයෙන් සිදු කිරීමෙන් මානසික තත්වයටද බාධා ඇතිවිය හැකිය.

ඔබ දකින සිහින කම්මැලි නම් ඔබට එ්වා පෙන්නමින් මතක තිබේ. ඉඳ හිට අමුතු සිහින හෝ බියකරු සිහින දකිනනේ නම් එය සාමාන්‍ය තත්වයකි. ඔබේ සිහින මගින් ඔබව අවදි කරවන්නේ නම් හෝ ඔබව ආතතියට පත්වන්නේ නම් එය කනස්සල්ලට හේතුවකි. බොහෝ විට මානසික ව්‍යාබාධයන් හෝ සෞඛ්‍යමත් නොවන ආහාර රටාවන් , චර්යාවන් ඊට හේතුවිය හැකියි.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS