මොනවද මේ LNG



මේ දිනවල කෙරවලපිටිය යුගදනවි බලාගාරය පුවත් මවයි. ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක් වැය කර, අදියර කීපයක් යටතේ ඉදිවුණු යුගදනවි බලාගාරයේ වැඩ නිමා වූයේ 2010 දීය. මෙය, විදුලිය නිපදවීමට ඩීසල් මෙන්ම 'එල්.එන්.ජී.' ද භාවිතයට ගත හැකි බලාගාරයක් වීම විශේෂත්වයකි. 'එල්.එන්.ජී.' භාවිතය සම්බන්ධයෙන් ඇති අභියෝග හේතුවෙන් මෙම බලාගාරයේ විදුලිය නිපදවීම තවමත් සිදුවන්නේ ඩීසල් භාවිතයෙනි. 'එල්.එන්.ජී.' යනු කුමක්ද? 'එල්.එන්.ජී.' භාවිතයේ ඇති ගැටලු මොනවාද? 'එල්.එන්.ජී. පරිසරයට හිතකරද?

අප ජාතික විදුලි බල සැලැස්මට ඇතුළත් ගල් අඟුරු බලාගාර ඉවත් කර, ස්වභාවික වායු බලාගාර විදුලිය නිපදවීමේ සැලැසුම් සකස් කරද්දී පටන්, 'එල්.එන්.ජී.' (LNG) යන අකුරු 3 අසන්න ලැබුණි. 'එල්.එන්.ජී.' යනු ස්වභාවික වායු ද්‍රවමය තත්ත්වයකට පත් කිරීමය. 'එල්.එන්.ජී.' ගැන පැහැදිලි කිරීමට නම් පළමුවෙන් ස්වභාවික වායු ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි.

ස්වභාවික යනු පොළොව ගැඹුරේ එක්රැස් වී තැම්පත් වී ඇති වායුය. ප්‍රධාන වශයෙන් මේවායේ ඇති සංඝටකය වන්නේ, අප බොහොම හොඳින් දන්නා මීතේන් ය. ස්වභාවික වායු යනු ගඳක් සුවඳක් හෝ පැහැයක් හේ නොමැති දෙයකි. එහෙත්, මෙම වායු භාවිතයට ගැනීමේදී ඒවාට කෘත්‍රිම රසායනයක් එක් කරමින් ගඳක් නිර්මාණය කරයි. ඒ, වායු කාන්දුවකදී ඒ බව පහසුවෙන් දැනගැනීමට හැකිවන ආකාරයටය. එසේ රසායනයක් එක් කළ විට ස්වභාවික වායුවලින් නිකුත් වෙන්නේ කුණු බිත්තර ගඳකි.

ස්වභාවික වායු අරුමයක් නොවෙයි. මිනිසා ස්වභාවික වායු භාවිතයට ගැනීම සම්බන්ධ ඉතිහාසය වසර සිය ගණනක් ඈතට දිවයයි. පළමුවෙන් ස්වභාවික වායු සම්බන්ධයෙන් විස්තර වාර්තා වන්නේ පුරාණ ග්‍රීසියෙනි. එය මෙසේය. මීට වසර තුන්දහසකට පෙර, බැටලුවන් බලා ගනිමින් සිටි ග්‍රීක ගොපල්ලකුට මහ අමුතු දෙයක් දකින්න ලැබුණි. මේ අමුතු දෙය පොලොවෙන් මතුවෙන්න වූ ගිනි දැල්ලකි.

ගිනි දැල්ල දකින්න ලැබුණේ පැර්නසස් කන්ද ආශ්‍රිත ප්‍රදේශයේය. දෙවි දේවතාවුන් වන්දනාමාන කළ මෙන්ම දෙවි දේවතාවුන් වීරයන් ලෙස සැලකූ පුරාණ ග්‍රීක වැසියෝ හිටිහැටියේ පහළ වුණු මෙම ගිනි දැල්ල ඇපලෝ දෙවියන් හා සම්බන්ධ හාස්කමක් ලෙස සලකන්න වූහ. (ඇපලෝ යනු සූර්යයා ඇතුළු හැමදේමට දෙවි වූ ග්‍රීක දේව පුරාණයේ සඳහන් දෙවියෙකි.) ඉතිහාස වාර්තාවල සඳහන් වන අන්දමට මෙම ගිනි දැල්ල ඇති ස්ථානයේ දෙවොලක් ඉදිකරමින් ඊට වන්දනාමාන කිරීමට ග්‍රීක වැසියෝ තීරණය කළහ. මෙම දේවාලය පිහිටි භූමිය කේන්ද්‍රකොට ගනිමින් බිහිවුණු නගරය 'ඩෙල්පි' ය. 'ඩෙල්පි' දේවාලට හරහා අනාවැකි කීම ඇරැඹිණි. එහි ප්‍රධාන පූජකවරිය ඇපෙලෝ දෙවියන් සමඟ සන්නිවේදනය කරන්න වූ බව පැවැසෙයි. ග්‍රීක රජවරුන් පවා උපදෙස් ලබා ගැනීමට පැමිණියේ මෙම දේවාලයටය. යුද්ධ කරනවාද නැද්ද තීරණය කෙරුණේ ඒ අනුවය.

දෙවියන් පැත්තකට කර, විද්‍යාවේ නාමයෙන් ලොව දෙස බලමින්, ඓතිහාසික වාර්තා, පුරාවිද්‍යාත්මක තොරතුරු සහ භූ ගෝලීය විශ්ලේෂණය කරද්දී තහවුරු වූයේ ගොපල්ලා දුටු ඒ ඉඹේ පහළ වුණු ගිනි දැල්ල පෘථිවි අභ්‍යන්තරයේ සිට විහිදී ආ ස්වභාවික වායු ධාරාවකි. එම වායු ධාරාව පොළොව මතුපිටට කාන්දු වූ අවස්ථාවේදී ඊට අකුණක් වැදීමෙන් ගිනි දැල්ලක් නිර්මාණය වී ඇත.

වසර 2500 කට පෙර චීන ජාතිකයන් උණ බම්බු ආධාරයෙන් ස්වභාවික වායු පෘථිවි අභ්‍යන්තරයෙන් ඉවතට ගෙන, ඒවා දහනය කොට එයින් නිපදවා ගත් තාපයෙන් මුහුදු ජලය වාෂ්ප කළ බව පැවැසෙයි. මෙසේ මුහුදු ජලය වාෂ්ප කර ඇත්තේ ලුණු නිපදවීමටය. චීන වැසියන් කාලයක සිටම ලුණු ලබාගැනීමට ළිං කැපීමට පුරුදු වී සිටි බවත්, එසේ ළිං කැපීමේ දී ස්වභාවික වායු ගැන දැනගෙන, ස්වභාවික වායු පොළොව මතුපිටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේද සකස් කර තිබේ. 1700 ගණන්වල බ්‍රිතාන්‍ය ජාතිකයින් වාණිජ වශයෙන් වීදි ලාම්පු සහ නිවෙස්වල භාවිතයට ස්වභාවික වායු භාවිතා කළ බව පැවැසෙයි. ස්වභාවික වායු සම්බන්ධයෙන් ඇති අතීත වාර්තා ලෙස විකිපීඩියා සහ බ්‍රියැනිකා විශ්වකෝෂයේ සඳහන් වන්නේ මෙම තොරතුරුය.

ස්වභාවික වායු ස්වභාවික ආයුරින්ම වායුවක් ලෙස පවතී. ස්වභාවික වායු ලබා ගැනීම පහසු ක්‍රියාවලියක් නොවෙයි. පොළොව අභ්‍යන්තරයේ ස්වභාවික වාතය එක් රැස් වීම සිදුවන්නේ අධික තාපය සහ පීඩනය හේතුවෙන් කාබනික ද්‍රව්‍ය ජීර්ණයත් සමඟ ස්වභාවික ක්‍රියාවලීන් හරහාය. එසේ ස්වභාවික වායු එක්රැස්වීමට වසර මිලියන ගණනක් ගතවෙයි. මෙම වායු පෘථිවි අභ්‍යන්තරයෙන් උරා ගැනීම සිදුවන්නේ 'හයිඩ්‍රොලික් ෆ්‍රැක්ෂනින්' Hydraulic fracturing, හෙවත් 'ෆ්‍රැකින්' Fracking යනුවෙන් හැඳින්වෙන කැණීම් ක්‍රමය භාවිතයෙනි. අද රටවල් බොහොමයක් ඔවුන්ගේ ඉදිරි දශකයේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ස්වභාවික වායු එක් රැස් කර ගන්නේ මෙම 'ෆ්‍රැකින්' කැණීම් හරහාය.

ස්වභාවික වායු නිධි ඇති බවට තහවුරු ස්ථානවල 'ෆ්‍රැකින්' කැණීම් වැඩබිම් ඇරැඹේ. එය කාන්තාරයක් මැද හෝ ඔපේ ගෙවත්ත පිටුපස තැනක් හෝ විය හැකිය. පළමුවෙන් කෙළින්ම පෘථිවි අභ්‍යන්තරයට කැණීම් කරයි. ඒ විවිධ පාෂාණ ස්ථර හරහා ඒවා පසු කරමින් පහළට යමිනි. මීටර් 2500 ක් හෝ 3000 ක් ගැඹුරට කැණීම් කළ පසු සිරස් අතට කළ කැණීම් අවසන් වන අතර ඉන්පසු කැණීම් සිදුවන්නේ තිරස් අතටය. තිරස් අතට කැණීම කිලෝ මීටර් 1.5 ක් පමණ දුරට සිදු කරයි. කැණීම් අවසන් කළ පසු පාෂාණ ස්ථරය දිගු උල් කටුවලින් සිදුරු කර තුවාල කිරීම අරඹයි. මාස 3 ක් හෝ 4 ක් ගතවීමෙන් අනතුරුව 'ෆ්‍රැකින්' කැණීම් ආරම්භ වෙයි. තවත් සංකීර්ණ ක්‍රියාවලියකින් පසු පාෂාණ ස්ථරය තුවාල කළ සිදුරු හරහා පාෂාණ ස්ථරයේ සිරවී ඇති වායු උරා ගැනීමක් සිදු කරයි‍. 'ෆ්‍රැකින්' කැණීමේ සරල පැහැදිලි කිරීම මෙයයි.

දැන් 'එල්.එන්.ජී.' (LNG) කුමක්දැයි පැහැදිලි කළ හැකිය. ස්වභාවික වායු ඒවා පවතින ආකාරයටම එසේත් නැතිනම් වායු තත්ත්වයෙන් ම ප්‍රවාහනය හෝ ගබඩා කිරීම වියදම් අධිකය. වායුවක් ලෙස තිබියදී මෙහි පරිමාව වැඩිය. විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. ඊට විසඳුමක් ලෙස, වායුව පොළොවෙන් ඉවතට ගෙන සෙන්ටිග්‍රේඩ් රින 162 කට ශීත කිරීම කරයි. එවිට මේ ස්වභාවික වායුව, ද්‍රව බවට පත් වෙයි. ද්‍රවමය ස්වභාවික වායු (Liquefied Natural Gas) එසේත් නැනනම් 'එල්.එන්.ජී.' නිර්මාණය සිදුවන්නේ එලෙසිනි. ද්‍රව බවට එසේත් නැතිනම් 'එල්.එන්.ජී.' බවට පත් කරද්දී, පරිමාව 600න් එකකට අඩු වෙයි. ඒ අනුව එය ප්‍රවාහනය මෙන්ම ගබඩා කිරීම ද පහසුවක් වෙයි. අඩු වියදමකින් එය කළ හැකිය. වාණිජ වශයෙන් සිදුවන්නේ මෙයයි. කෙසේ නමුත්, ස්වභාවික වායු 'එල්.එන්.ජී.' වලට පරිවර්තනය කරද්දී, ඊට ද අධික ශක්තියක් වැය වෙයි.

මිල අධික ක්‍රමවේදයක් වුවත්, ගල් අඟුරු වෙනුවට ආදේශකයක් ලෙස 'එල්.එන්.ජී.' භාවිත කරන්නැයි ජගත් පරිසරවේදීහු නිරන්තරයෙන් පවසති. ඊට හේතුව දහනයේදී ස්වභාවික වායු මගින් විමෝචනය වන වායු සාපේක්ෂව පරිසර හානිය අඩු වීමය. විමෝචනය වන වෙනත් හරිතාගාර ආචරණ වායු වන මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩවලට ආදාල ගෝලීය උණුසුම් සාධකය ද සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. ගල් අඟුරු සහ ඛනිජ තෙල් දහනය කළ විට එම ඉන්ධනවල ඇති නොයෙකුත් අපද්‍රව්‍ය, නයිට්‍රජන්, රසදිය, විකිරණශීලී ද්‍රව්‍ය ආදිය විමෝචනය වුවත්, එවැනි අහිතකර තත්ත්වයක් ස්වභාවික වායු දහනයෙන් සිදු නොවෙයි. පිරිසුදු ස්වභාවික වායු දහනයෙන් පිටවන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පමණි.

දහනයේදී පරිසර හිතකාමී වුවත්, ස්වභාවික වායු කැණීමේදී මෙන්ම වායු කාන්දුවකදී සිදුවන පරිසර හානිය අතිමහත්ය. 2015 ඔක්තෝබර් 23 වැනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා සුසානා කඳුකරයේ ඇලිසෝ කැනියොන් ස්වභාවික වායු කාන්දුව ඊට හොඳම උදාහරණයක්. මෙම කාන්දුව නතර කිරීමට දින 112 ගතවූ අතර ඒ අතරතුර පිටවූ වායු ප්‍රමාණය ටොන් 97,100 ක් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය සමාන කළ හැකිවන්නේ මෝටර් රථ ලක්ෂ 6 ක් අවුරුද්දක් පුරා සිදු කරන පරිසර දූෂණයට යැයි පරිසරවේදීහු පෙන්වා දෙති. 'එල්.එන්.ජී.' භාවිතයට ගැනීමේ දී ඊට ප්‍රමාණවත් යටිතල පහසුකම් තිබිය යුතුය. විදේශවල 'එල්.එන්.ජී.'  භාවිතය සිදුනන්නේ, විදුලි බලය නිපදවීමට පමණක් නොවෙයි. විදුලි බලය නිපදවීමට සමගාමීව, වෙනත් ක්ෂේත්‍රවල 'එල්.එන්.ජී.' භාවිතය සුදුසු ලෙස වැඩි දියුණු කර ඇත. ඒ, දිගු කාලීන සැලසුම්වලට අනුවය. හොඳම උදාහරණය දකුණු කොරියාවය. දකුණු කොරියාවේ බස් රථ වලින් 86% ධාවනය සිදු කෙරෙන්නේ 'එල්.එන්.ජී.' භාවිතයට ගනිමිනි.

(විකිපීඩියා ඇසුරිනි)

 


RECOMMEND POSTS

RELATED POSTS