පොලිස් නිල සුනඛ වෙන්දේසි ආයේ නෑ
වෙනත් සතුන්ට සාපේක්ෂව සුනඛයින් යනු මිනිසාට වඩාත් හිතවත්, සමීප මෙන්ම වෙන් කළ නොහැකි තරමේ සබඳතා ගොඩනගා ගන්නා සත්වයෙකි. තම ස්වාමියාගෙන් වෙන්වීම සුනඛයෙකුට මෙන්ම එම සුරතලාගෙන් වෙන්වීම සත්වයාගේ හිමිකරුටද ලේසි පහසු කටයුත්තක් නොවේ.
පසුගියදා පොලිස් නිල සුනඛ වෙන්දේසියක් පැවති අතර එය බොහෝ අමානුෂික කටයුත්තක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ කෙරිණි. දස වසරක් හෝ ඊට කිට්ටු කාලයක් සුනඛයා හා උගේ ස්වාමියා අතර පැවැති සබඳතාව මුදලකට ලංසු තබා හමාර කිරීම පහසු කටයුත්තක් නොවේ. කඳුළු පිරි දෙනෙතින් ස්වාමියා දෙස අවසන් බැල්ම හෙළන සුනඛයාගේ ගෙල බැඳි කරපටියේ කෙළවර අලුත් ස්වාමියා අතට පත්වන්නේ කෙනකුට සතුටත් තවත් අයකුට වේදනා කන්දකුත් උරුම කරමිනි.
කෙසේ වෙතත් මේ වන විට පොලිස් නිල සුනඛ වෙන්දේසිය නතර කිරීමට තීරණය කර තිබේ.
මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී තිබේ.
එය සුරතල් සතුන්ට සෙනෙහස ලබාදෙන කාටත් ඉතා සතුටුදායී පුවතකි.
මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී පසුගියදා සිදු කෙරුණු සුනඛ වෙන්දේසියේ පිටතට නොපෙණුනු හැඟුම්බර කතාව වටගාගෙන මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට කාගේත් ගෞරවය හිමිවිය යුත්තේමය.
අපරාධ මැඬලීම පිණිස පොලිස් දෙපාර්තුමේන්තුවට විශාල දායකත්වයක් ලබාදුන් පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ සුනඛයන් 25 දෙනෙකු වෙන්දේසි කිරීම සමාජය තුළ දැඩි කතිකාවක් ඇති කිරීමට හේතු දෙකක් බලපෑවේය. එකක් නම් මෙම සතුන් ඔවුන්ගේ ස්වාමින්ගෙන් වෙන්කර වෙන්දේසි කිරීමයි. අනෙක නම්, 1948 වසරේ පොලිස් නිල සුනඛ අංශය ඇති කළදා පටන් පැවැති කිසිදු වෙන්දේසියකදී නොවිකුණුනු මිලකට මෙහිදී සුනඛයකු අලෙවි වීමයි. සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකම රුපියල් 40,000ක් පමණ වන ලැබ්රඩෝර් (Labrador) වර්ගයේ සුනඛයකු මෙම වෙන්දේසියේදී අලෙවි වූයේ රුපියල් 10,1000ටය. බ්‍රීත් නැමැති මෙම සුනඛයා මීට මාස හයකට පමණ ඉහතදී පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ලැබුණේ මහජන පරිත්‍යාගයක් ලෙසය.
වයස අවුරුදු දෙකක් පමණ වන බ්‍රීත් පොලිස් රාජකාරි සඳහා පුහුණු කිරීමට අසීරු වීම නිසා වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ. සිම්බා නැමැති ලැබ්රඩෝර් වර්ගයේම සුනඛයකු රුපියල් 50,000ටත් රෙක්ස් නැමැති බෙල්ජියම් මැලනොයින් සුනඛයා රුපියල් 23,000ටත් රෙජී නැමැති රොට්වයලර් සුනඛයා රුපියල් 17,500ටත් ලිලී නැමැති ඩැල්මේෂන් සුනඛයා රුපියල් 16,000ටත් මෙහිදී වෙන්දේසි විය. අඩුම මිලකට වෙන්දේසි වූයේ රෝසි නැමැති ලැබ්රඩෝර් වර්ගයේ බැල්ලය. වයස අවුරුදු 10 ඉක්මවා සිටි ඇයට නියම වූ මිල වූයේ රුපියල් 1,100කි. මොවුන් ඇතුළු සුනඛයන් 25 දෙනා වෙන්දේසි කිරීමෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු මුදල රුපියල් 3,15,800කි.
මෙම සුනඛයින් පුහුණු කිරීම ද පහසු කටයුත්තක් නොවේ. පුහුණුව සඳහා සුනඛයකු වයස අවුරුද්දක් සම්පූර්ණ වීමට ප්‍රථම යොමු කළ යුතුය. මාස හයක පමණ කාලයක් මූලික පුහුණුව ලබා දීමෙන් පසු බල්ලාගේ විශේෂ දක්ෂතා හඳුනා ගැනීමක් සිදුකරයි. ඒ ඔස්සේ නිල සුනඛයා මත්ද්‍රව්‍ය සෙවීමේ රාජකාරිවලද අපරාධ මැඬලීමේ රාජකාරිවලද නැතහොත් ප්‍රභූ ආරක්ෂක රාජකාරිවලද යොදවන්නේ යන්න තීරණය කෙරෙයි. පුහුණුව ආරම්භයේ සිට රාජකාරි දිවිය අවසන් වනතුරු සුනඛයා රැක බලා ගැනීම පැවරෙන්නේ එකම නිලධාරියකුටය.
මේ නිසාම වෙන්දේසියේදී හිතවතකු යොදවා තමන් පුහුණු කළ බල්ලා කීයකට හෝ මිලට ගැනීමට පසුබට නොවන නිලධාරියෝද සිටිති. බල්ලාගේ ලන්සු මුදල ඉහළ යනවිට ඒ සඳහා මුදල ගැන නොසිතා බිට් කරමින් මෙවරද නිලධාරීන් සිවු දෙනෙකුම තමන්ගේ බල්ලා තමන් ළඟම තියා ගන්නට කටයුතු කර තිබීම ද ඉතා සංවේදී කරුණකි.
එවන් තත්ත්වයක් යටතේ යළිත් මෙවන් වෙන්දේසි නොපැවැත්වීමට ගත් තීරණය ඉතා මානූෂීය එකකි. රටේ අපරාධ මැඩලීමට උරදුන් මෙම සුනඛයින්ට තම ස්වාමියා සමඟ අවසන් මොහොත දක්වාට එකට ජීවත්වීමට අවස්ථාව සලසාදීම එම සත්වයින් රට වෙනුවෙන් ලබාදුන් අමිල මෙහෙවරට කෘතගුණ සැලකීමක්ද වන්නේය.
සටහන - ඩයනා උදයංගනී