නසරැල්ලා ඝාතනය
හිස්බුල්ලා නායකයා ලෙස කටයුතු කළ තිස් වසරක කාලයේ, ඊශ්‍රායලයෙන් බේරී, නසරැල්ලා හැකිතාක් සැඟවී සිටියේය. අවස්ථා ගණනාවකදී නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය උත්සාහ කළත්, සාර්ථක වූයේ නැත. කෙසේ නමුත්, ඊශ්‍රායලයේ ‘මොසාඩ්’, ‘අමාන්’ සහ ‘ෂින් බෙට්’ යන බුද්ධි අංශ එසේ මෙසේ බුද්ධි අංශ නොවෙයි. ඔවුන් කිසිම අවස්ථාවක සතුරකුට නිදැල්ලේ සිටීමට ඉඩ දෙන්නේ නැත.
ප්‍රහාරයෙන්, හිස්බුල්ලා මූලස්ථානය විනාශ වූයේ, අවට පිහිටි මහල් නිවාස ගොඩනැගිලි 6 ක් ද බිමට සමතලා කරමිනි. ප්‍රහාරයෙන් ෂෙයික් හසන් නසරැල්ලා ජීවිතක්ෂයට පත්විය. මෙය ඉතාමත් බරපතල තත්ත්වයකි. හිස්බුල්ලා සංවිධානයට ඇත්තේ එක අරමුණකි. ඒ, පලස්තීනුවන් ඊශ්‍රායල යුදෙව්වන්ගෙන් ආරක්ෂා කිරීමය. හසන් නසරැල්ලා මියගිය බව තහවුරු කරමින්, හිස්බුල්ලා සංවිධානය නිවේදනයක් නිකුත් කළේ ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොදෙන බව කියමිනි. ඒ අනුව, මැදපෙරදිග කලාපය යළිත් වරක් උණුසුම් වී ඇත. එය ලෝක යුද්ධයක් දක්වා එසේත් නැතිනම් තෙවැනි ලෝක යුද්ධයක් දක්වා දුරදිග ගියහොත් කුමකින් කුමක් වේවිදැයි සිතාගත නොහැකිය.
සෙවණැලි අතරේ සැඟව සිටි නසරැල්ලා, ඉරානය සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකි. ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය ඉරානයයි. ඉරානයේ සහාය ලබමින්, හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ශක්තිමත් කිරීමේ පුරෝගාමියා වූයේ නසරැල්ලාය.ගාසා තීරයේ හමාස් පලස්තීන සංවිධානය බිහිවූයේත්, හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය බිහිවූයේත්, නසරැල්ලගේ නායකත්වය යටතේය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පමණක් නොව, ඉරාකයේ ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්වලට මෙන්ම යේමනයේ හවුති ඇතුළු සෙසු සන්නද්ධ කණ්ඩායම්වලට ද අවි ආයුධ සහ අවි පුහුණුව ද ලබා දීම සිදුවූයේ නසරැල්ලගේ නායකත්වය යටතේය. බටහිර මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ඊශ්‍රායලයට එරෙහිව පහර දීමට හමාස් සටන්කාමීන් ‘උසි ගැන්නුවේත්’, ඉරාකයේ සහ යේමනයේ හවුති සටන්කාමීන්ට ඊශ්‍රායලයට පහර දීමට මිසයිල සහ ඩ්‍රෝන යානා ලබා දීම සිදු වුයේත් නසරැල්ලගේ නායකත්වය යටතේය.
‘හිස්බුල්ලා’ යනු අරාබි බසින්, ‘දෙවියන්ගේ කණ්ඩායම’ යන අර්ථයයි. හිස්බුල්ලා සංවිධානයේ ආරම්භය සිදුවන්නේ ලෙබනන් සිවිල් යුද සමයේදීය. ඒ, 1982 වසරේ දී ඊශ්‍රායලයට ලෙබනනය කළ ආක්‍රමණයත් සමඟය. සටන්කාමීන් කීප දෙනකුගෙන් ආරම්භ වූ ‘හිස්බුල්ලා’ සන්ද්ධ අංශය අද වන විට ලෙබනන හමුදාවට වඩා ශක්තිමත්ය. ඒ සියල්ල පසුපස සිටියේ නසරැල්ලාය. ලෙබනනයේ දේශපාලනය අස්ථාවරය. රටේ ආර්ථිකය ද දුර්වලය. ලෙබනන් දේශපාලනයේ ද පෙරැළිකාර චරිතයක් ලෙස පසුගිය වසර ගණනාව පුරා කටයුතු කළේ නසරැල්ලාය. කලාපීය වශයෙන් නසරැල්ලාට සහාය දක්වන ෂියා මුස්ලිම්වරුන් බොහෝය. සන්නද්ධ කණ්ඩායම් බොහෝය. ඉරානයට ද කලාපීය වශයෙන් ප්‍රබලයකු වීමට නසරැල්ලාගේ සහාය නොඅඩුව හිමිවී ඇත.
අද ඉරානයේ ජනාධිපති ධුරය හොබවන්නේ මධ්‍යස්ථමතධාරියෙකු වන මසූඩ් පෙසෙෂේකියන්ය. පසුගිය දා මසූඩ් පෙසෙෂේකියනa පළමු වරට ඉරාන ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. එහිදී මසූඩ් පෙසෙෂේකියන් පැහැදිලි කළේ ඊශ්‍රායලය සමඟ හෝ වෙනත් රටක් සමඟ හෝ ගැටෙන්න ඉරානය සූදානම් නොවුණත්, ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනන් හිස්බුල්ලා සාමාජිකයන්ට පහර දෙන්නේ නම්, ලෙබනන සිවිල් වැසියන් ඝාතනය කරන්නේ නම්, ලොව බලවත් බටහිර රටවල් නිහඬව බලා සිටින්නේ නම්, අකමැත්තෙන් වුවත් ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කර ගැනීමට ඉරානයට සිදුවනු ඇති බවය.
කෙසේ නමුත් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් වැනිය. ‘නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සමාවක් දිය නොහැකියි. නසරැල්ලා ඝාතනය ඊශ්‍රායලය සමඟ ඇති විරසකය තවත් ඉදිරියට ගෙන යෑමක්. ඊශ්‍රායලයට එරෙහිව මුස්ලිම් සියලු දෙනා එක් විය යුතුයි’ යැයි නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත. ඉරාන ජනාධිපතිවරයාට වඩා බලවතකු වන්නේ එරට උත්තරීතර නායකයාය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායලය පහර දෙද්දීත්, ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහර දෙද්දීත්, තව දුරටත් නිහඬව බලා සිටීමට නොහැකි බව කමේනී අවස්ථා ගණනාවකදී පැවැසීය. දැන්, නසරැල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් කමේනී හෝ ඉරානය හෝ නිහඬව බලා නොසිටිනු ඇත. නසරැල්ලා ඝාතනය මැදපෙරදිග කලාපය දිනෙන් දින උණුසුම් කරන ගිනිදැල් ළැව් ගින්නක් සේ පැතිර යෑමට ද හේතුවක් වනු ඇත.
මේ අතර, හමාස් සංවිධානයෙන් හෝ හිස්බුල්ලා සංවිධානයෙන් හෝ ඉරාකයේ සහ යේමනයේ සන්නද්ධ කණ්ඩායම්වලින් හෝ ඉරානයෙන් හෝ එල්ල වන ප්‍රහාරයක් ගැන ඊශ්‍රායලය කිසිදු තැනීමක් කරන්නේ නැත. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ඊශ්‍රායලයට පහර දුන්නේත්, ඊශ්‍රායලයේ සිටි එරට වැසියන් සහ විදේශිකයන් ද ඇතුළු සිය ගණනක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගියේත් හිස්බුල්ලා සහාය ඇතිවය. මේ සියල්ල ආරම්භ වූයේ එම සිද්ධියෙනි.
නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රායලයට අප්‍රසාදය පළ කර තිබේ. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ජර්මන් විදේශ අමාත්‍ය ඇනෙලීනා බෙර්බොක්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශය පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇත.
අද ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙන අතරතුරේ එහි දිගුවක් ලෙස ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙයි. එය ආරම්භ වූයේ හිස්බුල්ලා සටන්කාමීන් පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා පේජර් යන්ත්‍ර සහ වෝකිටෝකි පුපුරුවා හැරීමෙන් අනතුරුවය. එම ප්‍රහාර පසුපස තම ඊශ්‍රායල බුද්ධි අංශ සිටින බව ඊශ්‍රායලය කිසිම අවස්ථාවක පිළිගෙන නැත. එහෙත්, වැනි සූක්ෂම ප්‍රහාරයක්, ඉතා සැලැසුම් සහගතව කළ හැක්කේ ඊශ්‍රායලය බුද්ධි අංශවලටම පමණි.
හමාස් සංවිධානය සේම, ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ද ත්‍රස්තවාදීන් ලෙස ඊශ්‍රායලයත් ඇමෙරිකාවත් සලකයි. “අපි අපේ සතුරන්ට සමාව දෙන්නේ නැහැ. අපට තර්ජනයක් තියෙනවා නම්, සතුරකු අපට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා නම්, ඒ ප්‍රහාරය එල්ල වෙනකල් අප බලා සිටින්නේ නැහැ. අප ඊට කලින් ඒ සතුරා විනාශ කරනවා. මෙයයි අපගේ ප්‍රතිපත්තිය. ලෝකය ඒක වටහා ගත්තොත් හොඳයි” මේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ වදන්ය.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් ඝාතනය වූ ෂෙයික් හසන් නසරැල්ලා උපන්නේ 1960 වසරේ බීරූට් හි නැගෙනහිරින් පිහිටා ඇති බෝර්ජ් හම්මුද් පළාතේය. නව දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා නසරැල්ලාය. ඔහුගේ පියා එළවලු වෙළෙන්දෙකි. 1975 දී ලෙබනනය සිවිල් යුද්ධයකට ඇද වැටුණි. නසරැල්ලා ‘අමාල්’ නැමැති ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම සමඟ එක් විය. ලෙබනන් සිවිල් යුද්ධය 1975 සිට 1990 තෙක් පැවැතිණි. මියගිය ගණන 150,000 කි. මිලියනයකට වැඩි ලෙබනන් වැසියන් පිරිසකට සරණාගතයන් ලෙස ලෙබනනය හැර යෑමට සිදුවිය. සිවිල් යුද්ධයට හේතු වූයේ ලෙබනනයේ පැවැති සුන්නි ෂියා ආගමික බෙදීමය. සිවිල් යුද්ධය අතරතුරේ 1982 වසරේ දී, ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කළේය. ඊශ්‍රායලයත් ලෙබනනයත් අසල්වැසි රටවල්ය. ඊශ්‍රායලයට ලෙබනනය ආක්‍රමණය කළේ ද පලස්තීන සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට එල්ල වුණ්‍ර ප්‍රහාර හේතුවෙනි.
ෂියා මුස්ලිම් ‘අමාල්’ සන්නද්ධ කණ්ඩායමට, ඉරාන විප්ලවීය හමුදාවේ සහාය, ආවි ආයුධ සහ අනුග්‍රහය හිමි විය. ඒ අනුව, ‘අමාල්’ සන්නද්ධ කණ්ඩායම පරිවර්තනය වී, ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ‘හිස්බුල්ලා’ යන නමිනි. ‘හිස්බුල්ලා’ ආරම්භය සිදුවූයේ බෙකා පළාතෙනි. 1985 වසරේ දී ‘හිස්බුල්ලා’ සංවිධානය නිල වශයෙන් ආරම්භ විය. ඒ, ඇමෙරිකාවටත් එදා සෝවියට් දේශයටත් විවෘත ලිපියක් යවමිනි. ඉස්ලාම් දහමට එරෙහි වන්නන් තම සතුරන් බවත්, මුස්ලිම් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් යුදෙව් ඊශ්‍රායලය විනාශ කිරීම තම එකම අරමුණ බවත්, හිස්බුල්ලා යැවූ එම ලිපියෙහි සඳහන් විය. හිස්බුල්ලා සංවිධානය දිනෙන් දින ශක්තිමත් වෙද්දී, සාමාන්‍ය සටන්කාමියකු ලෙස ඊට එක් වී සිටි නසරැල්ලා ද ටිකෙන් ටික ඉහළට පැමිණියේය. බෙකා පළාත අයත් බ්ලබෙක් දිස්ත්‍රික්කයේ ප්‍රධානියා බවට නසරැල්ලා තෝරා ගැනුණි. ඉන්පසුව, වයස අවුරුදු 32 දී, නසරැල්ලා හිස්බුල්ලා සංවිධානයේ නායකයා බවට තෝරා ගැනුණි. එ්, ඔහුට පෙර හිස්බුල්ලා නායකයා ලෙස කටයුතු කළ අබ්බාස් අල් මුස්වි ඊශ්‍රායල හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් ප්‍රහාරයකින් ඝාතනය කිරීමෙන් පසුවය.
හිස්බුල්ලා නායකයා ලෙස නසරැල්ලා, අබ්බාස් අල් මුස්වි ඝාතනය වෙනුවෙන් පළිගනිමින්, උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන්නැයි නියෝග කළේය. අද ඊශ්‍රායලය සතුව ඕනෑම රොකට්, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් සැණින් අඩපණ කළ හැකි ‘අයන් ඩෝම්’ යන නමින් ගුවන් ආරක්ෂක පද්ධතියක් ඇත. එහෙත්, එදා එල්ල වුණු රොකට් ප්‍රහාරයෙන් ඊශ්‍රායල දැරියක් ජීවිතක්ෂයට පත්වූවාය. ඊට අමතරව, තුර්කියේ ඊශ්‍රායල තානාපති කාර්යාලය නිලධාරීන් ඉලක්ක කර ගනිමින් කාර් බෝම්බයක් පුපුරුවා හැරියේය. එයින් එක් ආරක්ෂක අංශ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. ඊට අමතරව, ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 29 කි.
2000 වසරේ දී දකුණු ලෙබනනයෙන් ඊශ්‍රායල හමුදා පිටව යද්දී, ඊශ්‍රායල හමුදා සෙබළුන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වී නසරැල්ලාට ඔහුගේ වැඩිමල් පුතු හාදී අහිමි වී තිබුණි. ඊශ්‍රායල හමුදා ලෙබනනයෙන් පිටව ගියේ ජාත්‍යන්තරයේ ද මැදිහත් වීමෙන් පසුවය. කෙසේ නමුත්, එය තමන් ලැබූ ජයග්‍රණයක් බව නසරැල්ලා ප්‍රමුඛ හිස්බුල්ලා සංවිධානයේ අදහස විය. හිස්බුල්ලා නිරායුධ කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව උත්සාහ කළත් ලෙබනනයේ පළාත් ඊශ්‍රායලයෙන් ආරක්ෂා කරගත යුතු බව අවධාරණය කරමින්, අවි බිම තැබීමට නසරැල්ලා ප්‍රමුඛ හිස්බුල්ලා සංවිධානය අකමැති විය. එදා පටන් පසුගිය 27 වැනිදා දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් බේරී සැඟවී, තම සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහිව මෙහෙයවීමට නසරැල්ලා සමත් විය.
අල් ජසීරා ඇසුරිනි