අඟහරු මතුපිට මකුළුවෝ !
අඟහරු ගවේෂණයට යැවූ තවත් එක රොබෝ ගවේෂණ යානයක් වන්නේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ මාර්ස් එක්ස්ප්‍රෙස් යානයයි. මාර්ස් එක්ස්ප්‍රෙස් කක්ෂීය ගවේෂණ යානයක් වන අතර, අඟහරුගේ කක්ෂයේ රැඳී සිටිමින් අඟහරු ගවේෂණය කරයි. දත්ත රැස් කරයි. අඟහරු මතුපිට දසුන් ඡායාරූපයට නගයි. පසුගිය දා මාර්ස් එක්ස්ප්‍රෙස් යානයට, අඟහරු මත විස්මිත දෙයක් දකින්න ලැබුණි. එය බොහෝ දෙනාගේ කතාබහට හේතුවක් විය.
මාර්ස් එක්ස්ප්‍රෙස් දුටුවේ කුමක්ද? මේ සටහන සමඟ පළ වන්නේ මාර්ස් එක්ස්ප්‍රස් යානය ඡායාරූපයට නගා පෘථිවියට එවූ දසුන්ය. මේ ඡායාරූප හොඳින් නිරීක්ෂණය කළොත්, පෙනෙන්නේ මකුළුවන් සිය ගණනක් අඟහරු මත සිටින අයුරු නොවේද? ඒ කියන්නේ අඟහරු ලොවේ මකුළුවන් ඉන්නවාද? පිටසක්වළ මකුළුවන් නේද? ඡායාරූප දැක පුදුමයට පත්වුණු බොහෝ දෙනෙක් අදහස් පළ කරන්න වූහ. මාර්ස් එක්ස්ප්‍රෙස් යානය ඇත්තේ අඟහරු කක්ෂයේය. කක්ෂයේ ඇති යානයට මෙසේ මකුළුවන් දකින්න ලැබුණා නම්, ඒ මකුළුවන් දැවැන්තයන් විය යුතු නොවේද?
පෘථිවියේ මෙන්ම අඟහරු මතුපිට ද සෘතු වෙනස්වීම් හටගනී. අඟහරු යනු වියලි ශුෂ්ක තැනකි. අඟහරු මතුපිට ජීවයට සුදුසු වායු ගෝලයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. අඟහරු මතුපිට වැඩියෙන්ම ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. අප අඟහරු ගියොත්, හුස්ම ගැනීම පහසු නොවන්නේ ඒ නිසයි. අඟහරුගේ සීත කාලයේ, මේ කාබන්ඩයොක්සයිඩ්, අයිස් බවට පත් වී, ස්ථර වශයෙන්, ධ්‍රැව ආසන්න ප්‍රදේශවල මිදෙන්න පටන් ගනී. අයිස් වුණු මෙම කාබන්ඩයොක්සයිඩ් ස්ථර, මේ අයුරින් හැමදාම පවතින්නේ නැත. හිරු එළිය හොඳින් පතිත වී, අඟහරුගේ වසන්ත කාලය උදා වෙද්දී, කාබන්ඩයොක්සයිඩ් යළි වායු බවට පත් වෙයි. මාර්ස් එක්ස්ප්‍රෙස් රොබෝ යානය එවූ ඡායාරූපවල මකුළුවන් මෙන් දකින්න ලැබෙන්නේ, සුර්යාලෝකය කාබන්ඩයොක්සයිඩ් ස්ථවරවලට වැටී, උණුසුම් වී, කාබන්ඩයොක්සයිඩ් යළි යථා තත්ත්වයට පත්වීමේ සන්සිද්ධියයි.
විද්‍යාඥයන් මෙය තවත් පැහැදිලි කරමින් මෙසේ කියයි. අයිස් ස්ථර ලෙස මිදුණු කාබන්ඩයොක්සයිඩ් හිරු එළිය වැටෙද්දී උණුසුම් වෙයි. පහළින් පැමිණෙන වායුවල වැඩි පීඩනය නිසා පැලීම් හට ගනී. කාඩන්ඩයොක්සයිඩ් වායුව මෙම පැලුම් හරහා නිදහස් වෙයි. එසේ නිදහස් වන කාබන්ඩයොක්සයිඩ් සමඟ පහළ ඇති අඳුරු දූවිලි අංශු යම් ප්‍රමාණයක් ඉහළට එයි. ඉන්පසු ඒවා යළි එම පැලීම් අතරින් පහළට ගමන් කරයි. අඳුරු ස්වරූපයක් ඇති පැලුම් මකුලුවන් මෙන් අභ්‍යවකාශට දකින්න ලැබෙන්නේ ඒ නිසයි.
අඟහරු යනු හිරුගේ සිට සිවුවැනි ස්ථානයේ පසුවන ග්‍රහලෝකයයි. හිරු, එසේත් නැතිනම් සූර්යයාගේ සිට අඟහරුට ඇති දුර කිලෝ මීටර් මිලියන 227.9 කි. අඟහරුට චන්ද්‍රයන් දෙදෙනකි. ඒවා නම් කර ඇත්තේ ‘පෝබෝස්’ සහ ‘ඩිමෝස්’ යනුවෙනි. අඟහරු පසෙහි ඇති යකඩ ඛනිජ ඔක්සිකරණය හෝ මලකඩ පස සහ වායුගෝලය රතු පැහැයක් ගනී. අඟහරු රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන්නේ මේ නිසාය. රාත්‍රී අහසේ අඟහරු දිපීතියෙන් දිස්වන්නේ ද රතු පැහැයෙනි.
අඟහරුගේ වායුගෝලය පෘථිවි වායුගෝලයට වඩා සීතලය. ඒ අඟහරු පෘථිවියට වඩා හිරුගෙන් ඈත්වී පිහිටීමය. අඟහරු වායුගෝලයේ සියයට 95 ක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. නයිට්‍රජන් ඇත්තේ සියයට 2.8 කි. ඔක්සිජන් ඇත්තේ සියයට 0.174 කි. ඒ අනුව පැහැදිලියි ජීවය පැවැතීමට සුදුසු වටපිටාවක් අඟහරු මත නැහැ. දැන් අඟහරු මතුපිට ජීවීන් නොසිටියත්, අතීතයේ, එනම් අවුරුදු දහස් ගණනකයට පෙර, අඟහරු ජීවයෙන් පිරුණු තැනක් වන්නට ඇතැයි යන්න විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ විශ්වාසයයි. මනුෂ්‍ය අප අඟහරු ලොව නිසරු තැනක් බවට පත් වෙද්දී, එහි සිට පෘථිවිට පැමිණි පිරිසක් බවටත් ඇතැමුන් අතරේ මතයක් පවතී. අනාගතයේ 2035 වසරේ දී හෝ 2045 වසරේ දී අඟහරු ගවේෂණයට ගගනගාමීන් යැවීමට නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ අඟහරු මතුපිට ජනාවාස පිහිටුවීමේ අරමුණින්ය.
ඩේලිමේල් ඇසුරිනි