පුටින්ට තවත් අවුරුදු 6 ක්
රුසියන් ජනාධිපතිවරණය යනු තනි අශ්වයා දුවන තරඟයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ලොව භූමි ප්‍රමාණයෙන් විශාලතම රට වන්නේ රුසියාවය. රුසියාව කාල කලාප කීපයකට අයත් වෙයි. එහෙයින්, රුසියන් ජනාධිපතිවරණය පසුගිය 15 වැනිදා සිට 17 වැනිදා තෙක් දින තුනක් පැවැත්විණි. රුසියාවේ ජනගහනය මිලියන 143 ක් වන අතර, මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි පිරිස මිලියන 112.3 කි. රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ වසර 6 කට වරකි. පසුගිය 2018 ජනාධිපතිවරණය සමඟ සන්සන්දනය කරමින්, රුසියන් මැතිවරණ බලධාරීන් පැවැසුවේ, මෙවර ජනාධිපතිවරණයේදී සියයට 70 කට වැඩි පිරිසක් ඡන්දය දමනු ඇති බවය. ඒත් සියයට 80 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
පැහැදිලි විපක්ෂ දේශපාලන කණ්ඩායමක් නොමැති බැවින් මෙන්ම, ශක්තිමත් විපක්ෂ නායකයකු නොමැති බැවින්, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට තවත් ධුර කාලයක් හිමිවනු ඇතැයි අනාවැකි පළ විය. ඡන්දය ප්‍රකාශ කිරිම අවසන් වුණු සැණින්, ගණන් කිරීම ඇරැඹුණු අතර අද (18) අලුයම වනවිට මැතිවරණ කොමිසම නිවේදනය කළේ පුටින් සියයට 87.34 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් බවය. ඒ අනුව, 2030 තෙක්, එනම් තවත් වසර 6 ක් ධුරයේ රැඳී සිටීමට 71 හැවිරිදි පුටින්ට හැකිවෙයි. ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ රුසියන් ඉතිහාසයේ (සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ සිට) ජෝසප් ස්ටාලිංගෙන් පසු, වැඩිම කාලයක් රුසියාවට නායකත්වය දුන් නායකයා ලෙස සැලකෙන්නේ පුටින්ය.
ලෝකයේ ප්‍රධාන බලවතුන් තිදෙනෙකි. ඇමෙරිකාව, රුසියාව සහ චීනය එම බලවතුන්ය. ඇමෙරිකාව බටහිර බලවතා වන අතර, රුසියාව සහ චීනය නැගෙනහිර බලවතුන්ය. ඇමෙරිකාවට ශක්තිය කැනඩාව සහ සෙසු බටහිර රටවල්ය. රුසියාව සහ චීනය සමීප මිතුරන්ය. අද ලෝකය බල කඳවුරු දෙකකට වෙන් වී ඇත්තේ ද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක් පැත්තක සිටින නිසාත්, රුසියාව චීනය අනෙක් පැත්තේ සිටින නිසාත්ය. මේ හේතුව නිසා, රුසියාවේ ජනාධිපතිවරණය ඉතා වැදගත්ය.
සුපුරුදු පරිදි මෙවර රුසියන් ජනාධිපතිවරණය ද දූෂිත යැයි බටහිර රටවලින් චෝදනා වෙමින් පවතී. පුටින් හිතවාදීහු 15 වැනිදා උදෑසන සිටන ඡන්දය ප්‍රකාශ කිරීමට මහත් සේ උනන්දු වූහ. 17 දහවල්, පුටින් විරෝධීන් අතලොස්සක්, ඡනද් මධ්‍යස්ථාන කීපයක විරෝධතා පැවැත්වූ බව ද වාර්තා විය. ඔන්ලයින් ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට රුසියන් මැතිවරණ කොමිසම පියවර ගෙන තිබුණි. පුටින් ඡන්දය ප්‍රකාශ කළේ ඔන්ලයින් ක්‍රමයටය. ඒ, මොස්කව් නුවර ජනාධිපති කාර්යාලයේ සිටය. පුටින් පරිගණකයෙන් ඡන්දය ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් ඉදිරියේය.
පුටින් නියෝජනය කරන්නේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. පුටින්, රුසියානු ‘කේ.ජී.බී.’ රහස් ඔත්තු සේවයේ ලුතිනන් කර්නල්වරයෙකි. පුටින් දේශපාලන කරළියට පැමිණියේ 1999 වසරේදීය. ඊට පෙර පුටින් ගැන වැඩි විස්තර නොදනී. 90 දශකයේ, ආර්ථික අපහසුතා හමුවේ, පුටින් ජීවනෝපාය වශයෙන් කුලී රථ රියදුරකු ලෙස ද රැකියාව කර ඇත. දේශපාලනයට පිවිසි පුටින්, පළමුවෙන් රුසියාවේ වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය. ඒ, 1999 වසරේදීය. වැඩ බලන ජනාධිපති ලෙස පුටින් එම ධුරයට පත් කරනු ලැබුවේ එවකට රුසියාවේ බලයේ සිටි බොරිස් යෙල්ට්සිං විසිනි. ඉන්පසු පුටින් රුසියාවේ අග්‍රාමාත්‍ය ලෙසත් එක් ධුර කාලයක් සම්පූර්ණ කළේය. පුටින් රුසියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ 2012 මැයි මාසයේ සිටය. රුසියන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කින් දීර්ඝ කර ගත්තේය. 2020 දී පුටින්ගේ මැදිහත් වීමෙන් රටේ ව්‍යවස්ථාව වෙනස් කෙරුණි. ජනාධිපති ධුරයට ඉදිරිපත් වී, තවත් වසර 6 ක කාලයක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට ඉඩ සලසා ගන්නා ලදී. 2030 පමණක් නොව, ඉන්පසු 2036 වසර තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට පුටින් සූදානම් වෙයි.
මෙවර රුසියන් ජනාධිපතිවරණය පැවැත්වූයේ රුසියාව යුද්ධයක පැටලී සිටින මෙහොතකය. රුසියාව යුද වදින්නේ අසල්වැසි යුක්රේනය සමඟය. අතීතයේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී, යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසකි. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු වෙන්වුණු යුක්රේනය, යුරෝපා බටහිර රටවලට නැඹුරු විය. 2021 වසර වෙද්දී, යුක්රේනයේ ජනාධිපති ධුරයට පත් වූ ව්ලොදිමීර් සෙලෙන්ස්කී බටහිර හිතවාදියෙකි. එහෙයින්, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානඳැය් සාමාජිකත්වය ඉල්ලා සිටියේය. ‘නේටෝ’ යනු රුසියාවේ තර්ජනවලට එරෙහිව, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී, පිහිටුවාගත් යුද සන්ධානයයි. ‘නේටෝ’ සාමාජිකත්වය යුක්රේනයට හිමිවීම යනු රුසියාවට තර්ජනයකි. පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ මේ නිසාය. රුසියානු හමුදාව විසින් අල්ලා ගනු ලැබ ඇති යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපයේත්, යුක්රේනයේ රුසියන් පාලනය යටතේ පවතින සෙසු පළාත්වලත් ජනාධිපතිවරණය පැවැත්විණි. යුද්ධ කරමින් යුක්රේනය අල්ලා ගන්නවාට වඩා දේශපාලනික වශයෙන් යුක්රේන වැසියන්ගේ සිත් දිනා ගනිමින්, යුක්රේනය රුසියාවේ කොටසක් කර ගැනීම පුටින්ගේ අරමුණය. යුක්රේනයේ නැගෙනහිර පළාත්වල සහ ක්‍රිමියා අර්ධ ද්වීපයේ රුසියන් බස කතා කරන යුක්රේන වැසියන් පුටින්ට ඡන්දය දී ඇතැයි මැතිවරණ කොමිසම පවසා ඇත.
රුසියාවේ විපක්ෂ නායක යන නාමයෙන් හැඳින්වූයේ 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නිය. මොහු ගුරුවරයෙකි. දූෂණ විරෝධී ක්‍රියාකිරියෙකි. පුටින් සහ පුටින්ගේ රජයේ දූෂණ වංචා ලොවට හෙළි කළ තැනැත්තෙකි. ප්‍රසිද්ධියේ පුටින් විවේචනය කළේ මොහුය. ඒත් අද ඇලෙක්සි නෙවල්නි ජීවතුන් අතර නැත. නෙවල්නි මියගියේ මීට සති කීපයකට පෙරය. ඒ, රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ, සිර කඳවුරක, සිරදඬුවම් විඳිමින් සිටිද්දීය. නෙවල්නි ඝාතනයට ලක් වුණු බවටත්, එසේ වූයේ පුටින්ගේ අනුදැනුම යටතේ බවටත් චෝදනා එල්ල වී තිබේ. නෙවල්නි සේම, ජනාධිපති පුටින් විවේචනය කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට විරෝධය දක්වන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනකු ලෙස සැලකෙන්නේ 40 හැවිරිදි යෙකත්‍රිනා ඩන්ට්සෝවා සහ 60 හැවිරිදි බොරිස් නදෙෂ්දීන්ය. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට මොවුන් දෙදෙනාට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එහෙයින්, මෙවර ජනාධිපතිවරණයට මොවුන් දෙදෙනා ඉදිරිපත් වන්නේ නැත. යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදා ක්‍රියාමාර්ගය වහා නවත්වන ලෙසත්, යුක්රේන අර්බුදය වහා විසඳා ගත යුතු බවත් ජනපති පුටින්ට සහ රුසියන් රජයට බලපෑම් කරන යෙකත්‍රිනා ඩන්ට්සෝවා, රුසියාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවකි.
පුටින් සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පුටින්ට අභියෝගයක් නොවුණු අපේක්ෂකයන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාගෙන් එක් අයකු 75 හැවිරිදි නිකොලායි කරිටොනෝව්ය. මොහු රුසියන් පාර්ලිමේන්තුව හෙවත් දූමා සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයකි. නියෝජනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂයයි. ජනාධිපති අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු 56 හැවිරිදි ලියොනිඞ් ස්ටල්ස්කී, දූමා සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ලියොනිඞ් ස්ටල්ස්කී, නියෝජනය කරන්නේ ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂයයි. තෙවැනි අපේක්ෂකයා වූයේ 40 හැවිරිදි ව්ලැඩිස්ලෝව් ඩවන්කෝව්ය. රුසියන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ළාබාලතම තැනැත්තා ඩවන්කෝව් වන අතර, ඔහු නියෝජනය කරන්නේ ‘නිව් පීපල් පොලිටිකල් පාටි’ නමැති දේශපාලන පක්ෂයයි. රාජ්‍ය සම්මාන රැසකික් ව්ලැඩිස්ලෝව් පිදුම් ලබා ඇති අතර, පුටින් විසින් ලබා දුන් සම්මානයක් ද ඒ අතර වෙයි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, දෙවැනි ස්ථානයට පත් වූයේ නිකොලායි කරිටොනෝව්ය. ඔහුට දිනා ගැනීම හැකි වූයේ සියයට 4.11 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. තෙවැනි ස්ථානයට පත් වූයේ සියයට 4.01 ක ඡන්ද ප්‍රතිශතයක් දිනූ ව්ලැඩිස්ලෝව් ඩවන්කෝව්ය. ලියොනිඞ් ස්ටල්ස්කී ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 3.11 කි.
විදෙස් මාධ්‍ය ඇසුරිනි