වකුගඩු ලෙඩ වෙන හැටි



වකුගඩු අකර්මණ්‍යතාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?
වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මාස හෝ අවුරුදු කිහිපයක් මුළුල්ලේ සිට ක්‍රමයෙන් අඩු වීම මේ නමින් හැඳින්වේ. රසායනාගාර පරීක්ෂණ මගින් මෙය අනාවරණය කර ගත හැකි වනුයේ තත්ත්වය උග්‍ර වූ පසුවයි. සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් 01 අයෙක් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඕනෑම වයසකදී වැළඳිය හැකිය. 


රෝගී ලක්ෂණ -
මහන්සිය, උග්‍ර රක්තහීනතාව, සිරුර - දෙපා ඉදිමීම, ඇඟ කැසීම, කෑම අරුචිය, වමනය, ස්වසන සංකූලතා, දෙපා හිරිවැටීම්
වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම


මේ සඳහා යොදා ගැනෙන්නේ 'සීරිම් ක්‍රියැටිනැන්' පරීක්ෂණයයි. නිරෝගි පුද්ගලයකුගේ වකුගඩුවෙන් රුධිරය පෙරෙන ප්‍රමාණය 90 ත් 120ත් අතර වේ. එය 90 ට වඩා අඩු නම් අවධානම් තත්ත්වයකි. 60 ට වඩා අඩු නම් වකුගඩු රෝගීන් ලෙසත් 10 ට වඩා අඩු නම් රුධිර කාන්දුකරණය ලබා දේ. 


වකුගඩු අකර්මණ්‍යතාවට හේතු -
අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වකුගඩු අකර්මණ්‍යතාවට හේතු වේ. ලොව පුරා වකුගඩු අකර්මණ්‍යතා අතුරින්  1/4 ට අධි රුධිර පීඩනයද, 1/3 ට දියවැඩියාවද වේ. 

මීට අමතරව වකුගඩුවේ නිතර ඇතිවන ප්‍රදාහ, නිරන්තරයෙන් සෑදෙන වකුගඩු ආසාදන, ඇතැම්   නිදන්ගත රෝග, ( පොලිසිස්ටික් වකුගඩු)  දීර්ඝකාලීනව  ඇතිවන මුත්‍ර ගල්, මුත්‍ර මාර්ගයේ විවිධ අවහිරතාද හේතු ලෙස දැක්වේ. 

එසේම ඇතැම් වේදනා නාශක ඖෂධ දිගු කලක් පුරා කිසිදු වෛද්‍ය උපදෙසකින් තොරව භාවිත තිරීමද  වකුගඩුවලට බලපෑම් කළ හැකි තත්ත්වයකි. 


කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය -
වකුගඩු අකර්මණ්‍යතාව කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය ලෙස කොටස් 02කි. කාලීන වකුගඩු අකර්ණිය යනු  පරීක්ෂණවලින් සනාථ වූ ඉහත රෝගී තත්ත්වය මත වකුගඩු රෝගය වැළඳීමයි. 

තීව්‍ර වකුගඩු අකර්ණිය යනු මී උණ සහ වෙනත් ආසාදන, සර්ප දෂ්ටනය වැනි හේතු මත තාවකාලිකව වකුගඩුවට බලපෑම් ඇති වීමයි.


ප්‍රතිකාර -
වකුගඩු අකර්මණ්‍යතාව සුව කළ නොහැකි රෝගයකි. එහෙත් එය උත්සන්න වීම සහ ඇතිවන සංකූලතා පහසුවෙන් මග හරවා ගත හැකියි. මුල් අවදියේම ඖෂධ ගැනීම, ආහාර පාලනය සහ ජීවන රටාව වෙනස් කර ගැනීමෙන් ශරීරයේ සමතුලිතතාව රැක ගත හැකියි. පසුකාලීනව රුධිර කාන්දුකරණය හෝ වකුගඩු බද්ධ කිරීම මගින් ජීවිත රැක ගත හැකියි.

 

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් ඇන්ඩ් ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල


සටහන -මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS