ප්‍රබල රටවල් පහක නියෝජිතයන් සමඟ සාකච්ඡා



ලොව ප්‍රබල රටවල් පහක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ  සිටින තානාපතිවරුන් පස් දෙනෙකු හා ‌මෙරට සිටින යුරෝපා සංගම් තානාපතිවරයා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙනම වෙනම හමුවී සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මෙලෙස නව විදේශ අමාත්‍යවරයා හමුවී  සාකච්ඡා පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති  යූරි බී. මැටරී, චීන තානාපති චී ෂෙන්හොන්ග්, ජපාන තානාපති අකිරා සුගයාමා  ,ඉන්දියාව මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් ඛට්ටක්  සහ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිස් චයිබි යන මහත්වරුන්ය.

එම රටවල් සමග ශ්‍රි ලංකාව පවත්න ද්විපාර්ශිවික සබදතා වර්ධන කර ගැනීම සහ  යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී ප්ලස් බදු සහනය හා එම සංගමය සාමාජික රටවල් සමග පවතින සබදතා සම්බන්ධයෙන් මෙම තානාපතිවරු දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුසියාව, චිනය, ජපානය, ඉන්දියාව, පකිස්ථානය යන රටවල් සහ යුරෝපා සංගමය මෙරට කොවිඩ් එන්නත්කරණය සදහා සෞඛ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රධානය කිරීම ඇතුළු ආර්ථික, සමාජීය  සහයෝගය සම්බන්ධයෙන් නව විදේශ අමාත්‍යවරයා මෙම තානාපතිවරුන් හමුවේ වෙන වෙනම ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පළ කර සිටියේය.

සෑම අසීරු අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහයෝගයක් ලබා දීම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මහතා ඒ ඒ රටවල් හි පවතින රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකාවේ වෙළඳාම, ආයෝජනය සහ සංචාරක කටයුතු, බලශක්තිය, විද්‍යාව හා තාක්‍ෂණය, ආරක්‍ෂාව සහ ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු බහුවිධ අංශයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා රුසියාව දක්වන උනන්දුව ගැන රුසියානු තානාපති යූරී  බී.මැටරි මහතා විදේශ අමාත්‍යවරයා හමුවේ පැහැදිලි කර දුන්නේය.

විදේශ අමාත්‍යවරයා හමුවී අවස්ථාවේදී මෙරට චීන තානාපති ෂෙන්හොන්ග් මහාතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්‍ධනයට සහ රජයේ කොවිඩ්-19 අවම කිරීමේ ප්‍රයත්නවලට සහාය වීම සඳහා චීනය අඛණ්ඩ කැපවන බවට යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවේ දැනුම් දි සිටියේ ජපන් ආධාර යටතේ මෙරට දැනට ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමටත්, එසේම වසංගතය හේතුවෙන් අභියෝග නොතකා ඉදිරියට ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහාද ජපානය  කැපවී සිටින බවය.

මෙරට සිටින ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී   ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහි හා ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික ස්ථාන සංරක්‍ෂණය කර ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පිරිනැමීම ද සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතාව දැනුවත් කළේය.

දෙරට අතර ධීවර කටයුතු සම්බන්ධ කරුණු පවතින ගැටලුවලට අර්ථවත්, ප්‍රායෝගික විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ද ඉන්දිය මහකොමාසාරිස්වරයා කරුණු සකාච්ඡා කර ඇත.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කරන බවත්   ඉන්දියානු නාවික හමුදාවේ නෞකා පවා භාවිත කරමින්, නැගෙනහිර ඉන්දියානු වරායන්ගෙන් දියර ඔක්සිජන් තොග සැපයීම පිළිබඳව විදේශ  අමාත්‍යවරයා ඉන්දීය රජයට ස්තූතිය පළ කළේය.

පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් ඛට්ටක් ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව විදේශ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.. ඇෆ්ගනිස්ථානය ඉතා ඉක්මනින් සාමකාමී රාජ්‍ය ව්‍යුහයක් ස්ථාපිත කොට, සෙසු ලෝකය සමඟ ඒකාබද්ධ වනු ඇතැයි පාකිස්ථානය අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා  මෙහිදී වැඩිදුරටත් පැවසීය.

විදේශ අමාත්‍යවරයා ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා පකිස්තාන රජයේ සහාය ඉල්ලා සිටි අතර, ඒ සම්බන්ධයෙන් තම රජය විසින් උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වෙමින් මහ කොමසාරිස්වරයා  ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

කොළඹ සිටින යුරෝපා සංගම් තානපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේදී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රාමුව තුළ ශ්‍රී ලංකාවේ නිත්‍ය මැදිහත් වීම, යුරෝපා සංගම් ජීඑස්පී ප්ලස්  බදු සහනය අධීක්ෂණ ක්‍රියාවලිය යටතේ පවතින ඵලදායී සහයෝගීතාවය සහ අදාළ කරුණු පිළිබඳව රජය ගෙන යන පියවර ඇතුළුව සාකච්ඡා කෙරිණි.

යුරෝපා සංගම්-ශ්‍රී ලංකා වෙළඳ සබඳතාවල වැදගත්කම විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා යළි අවධාරණය කළේය. ධීවර ක්ෂේත්‍රයේ සහයෝගීතාවයට අදාළ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම හමු විම්  සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගී වූහ.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS