ටොන් 102 ක මුද්‍රිත ද්‍රව්‍ය උගන්ඩාවට



මෙට්‍රික් ටොන් 102 ක "මුද්‍රිත ද්‍රව්‍ය" උගන්ඩාවේ එන්ටැබේ නුවරට ගුවනින් ප්‍රවාහනය කළ බවත් ඒවා උගන්ඩාවේ මුදල් ඒකකය බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ සතියේ දී ප්‍රකාශ කළේය.

ගෝලීය සුරැකුම් මුද්‍රණය කරන සමාගමක නියෝගයක් මත එලෙස ගුවනින් ප්‍රවාහනය කර ඇත.

මෙම සමාගම ගෝලීය අපනයනකරුවකු වන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ඔවුන්ගේ කර්මාන්නශාලා පිහිටා ඇත.

එන්ටැබේ ගුවන් තොටුපොළ වෙත මෙලෙස ගුවන් භාණ්ඩ තොගයක් ගෙන ගිය බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය වසරේදී වාර්තා කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉකුත් වසරේ (2021) පෙබරවාරි මාසයේ දී මේ සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

එහි මෙසේ දැක්විණි.

"මෙට්‍රික් ටොන් 102 මුද්‍රිත ද්‍රව්‍ය උගන්ඩාවේ එන්ටැබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත විශේෂ ගුවන් යානා (විශේෂ කාර්ය සඳහා වූ ගුවන් යානා) මඟින් අඛණ්ඩව තුන්වතාවක් ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවය අද ඉතිහාස ගත වුණා".

එන්ටැබේ ගුවන් තොටුපොළෙන් සීල් තබන ලද භාණ්ඩ තොගය ගොඩ බස්සවන්න ඡායාරූප ද එහි විය.

ට්විටර් පරිශීලකයන් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අදාළ ‘මුද්‍රිත ද්‍රවය’ මොනවාදැයි විමසා තිබූ අතර එම නිසා ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය අදාළ ට්විටර් පණිවුඩය ඉවත් කරගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ වැඩි විස්තර ඉල්ලා ඉල්ලීමක් කර තිබිණි. “වාණිජ රහස්‍යභාවය” යටත වැටෙන පවසමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

අදාළ භාණ්ඩ තොගය ප්‍රවාහනය කරන ලද එයාර්බස් ඒ 330 වර්ගයේ විශේෂ ගුවන් යානාවල ප්‍රවාහනය කරන ලද අදාළ භාණ්ඩ තොගයේ විශේෂිත තොරතුරු තමන් සතුව නැතැයි ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය එම අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය.

“ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ රිසිට් පතේ (the airway bill) සහ අදාළ ගිවිසුමේ (charter agreement) භාණ්ඩවල ස්වභාවය මුද්‍රිත ද්‍රව්‍ය යනුවෙන් සඳහන් වුව ද ඒවායේ නිශ්චිත හෝ වැඩිදුර හෝ විස්තර සඳහන් නොවීය” යන්න, තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරය ලෙස ලැබී තිබිණි.

“ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනයට හෝ ඒවා ඉදිරියට ගෙන යෑම සඳහා භාණ්ඩ පර්යන්තයට ගෙන ඒමට පෙර ශ්‍රී ලංකා රේගුවේ විමර්ශනයට සහ නිෂ්කාශනයට යටත් වේ.”

උගන්ඩාවට මෙම භාණ්ඩ යැවීමට අවසර ලබාදුන්නේ කවුද, ඒවායේ පිරිවැය සහ යවන්නකු සිටී නම් ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කළේ ය. තොරතුරු දැනගැනීමේ පනතේ (5(1)(d)) අදාළ තොරතුරු දීම ප්‍රතික්ෂේප කළේ ය.

මුදල් විශුද්ධිකරණය (කළු සල්ලි සුදු කිරීම) යනාදී මූල්‍ය අපරාධ වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම හේතුවෙන් උගන්ඩාවේ මූල්‍ය පද්ධතිය අසාදු ලේඛනගත කරන (බ්ලැක් ලිස්ට්) කරන බවට ඉකුත් සතියේ දී ප්‍රවෘත්ති පළ විය.

එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වූ අතර ආණ්ඩුවේ බලවත් දේශපාලනඥයන් ඔවුන් නීති විරෝධීව උපයාගත් වත්කම් සහ ඔවුන්ගේ ධනය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මඟින් උගන්ඩාවට යැවූයේ යැයි ද මත සහ අදහස් පළ විය.

එසේ විවිධ පුවත්, අදහස් සහ මත පළ වෙද්දි ශ්‍රී ලන්කන් ගුවන් සේවය අදාළ “මුද්‍රිත ද්‍රව්‍ය” උගන්ඩාවේ මුදල් නෝට්ටු බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළේ ය. සන්ඩේ ටයිම්ස් පුවත්පත මීට පෙර අවස්ථාවේදී කළ විමසීමේදී ඔවුන් සතුව එම තොරතුරු නැති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ ය. ඒ බව ඉහතින් ද දක්වා ඇත.

බ්‍රිතාන්‍යයේ මුදල් මුද්‍රණය කිරීමේ (අච්චු ගැසීමේ) සමාගමක් වන ඩිලා රූ (De La Rue) සමාගමේ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ බියගම පිහිටා ඇත.

එම සමාගම මේ සම්බන්ධයෙන් කෙටි නිවේදනයක් නිකුත් කර තිබිණි. ට්විටර් පණිවුඩයක් ඔස්සේ එය නිකුත් කර තිබිණි.

“ඩිලා රූ සමාගම ලෝකය පුරා පිහිටි මහ බැංකුවලින් අඩකට අධික සංඛ්‍යාවකට බැංකු නෝට්ටු (මුදල්) සපයනවා. අපි මෙය කරන්නේ ශ්‍රී ලංකාවේ, කෙන්යාවේ, මෝලටාවේ සහ එක්සත් රාජධානියේ අපේ තිබෙන මුද්‍රණ ස්ථානවල සිටියි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සහ කෙන්යාවේ අපගේ බද්ධ ව්‍යාපාර හරහා ද එය සිදු කෙරෙනවා. ඒවා හරහා එම රටවල ආර්ථිකවලට ද දායකත්වය සපයනවා. අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් අප අදහස් දක්වන්නේ නැහැ”.

එස්. රුබතීසන්
සන්ඩේ ටයිම්ස්

RECOMMEND POSTS