ඉවසීමෙන් කටයුතු කරන්න - අර්බුදය අවසන් කරනවා



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ඔහුගේ දේශපාලන ජීවිතයේ ප්‍රබලතම අභියෝගයට මුහුණ දී සිටී. වත්මන් අර්බුද හමුවේ ධුරයෙන් ඉවත් වෙන්නැයි ඔහුට බලපෑම් එල්ල වෙයි. 'ඩේලි මිරර්' පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ඉවසීමෙන් කටයුතු කරන ලෙසය. තමන් සහ ජනාධිපතිවරයා ජනවරමකින් තේරී පත්වූ බැවින්, ඉල්ලා අස්වීම ප්‍රායෝගික නොවන බවත්, තමන් සහ තම සහෝදරයා අතරේ කිසිදු භේදයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය. පවතින ගැටලු ඉක්මනින් විසඳා අර්බුද අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රශ්නය - අගමැතිතුමනි, අද මා ඔබ හමුවන්නේ, ඉල්ලා අස්වී ගෙදර යන්නැයි ඇතැම් ජන කොටස් ඔබට බල කරමින් සිටින අවස්ථාවක. හරියටම වසරකට කලින් කිසිම කෙනකු හිතුවේ නැහැ, මෙවැනි විරෝධයක් එල්ල වේවි කියා. මේ ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?

පිළිතුර - ඒක මට විශේෂ දෙයක් සේ හැගෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මට කැමැති සහ අකමැති පිරිස් ඉන්නවා. ජනතාවට රිසි පරිදි ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. එසේ කරන්න ඔවුන්ට අයිතිය තිබෙනවා. එදා මා ජනතාවට අවශ්‍ය දේ ඉටු කළා; යුද්ධය අවසන් කළා; සංවර්ධන කටයුතු සිදු කළා; ආයෝජන ගෙනාවා; ආර්ථිකය ශක්තිමත් කළා; එදා ඔවුන්ට මාව ඕනෑ වුණා. ඒත් අද ඇතැම් කණ්ඩායම් ඉන්නවා, මා ප්‍රතික්ෂේප කරන. ඔවුන්ට මට යන්න කියනවා. ඒකට කමක් නැහැ. ජනතාව වෙනුවෙන් කළ දේ අමතක කිරීම මේ රටේ මනුෂ්‍යයන්ගේ ස්වභාවයයි. ඒ අය නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නේ, අප ඔවුන් ට ආරක්ෂා කර දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නිසයි.

ඔබ 2020 මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගත්තා. නමුත් අද ජනතාව ඔබටත් ජනාධිපතිතුමාටත් විරුද්ධව පාරට බැහැලා. ඒ ගැන ඔබට කුමක් කිව හැකිද?

ජනතාවගෙන් යම් කොටසක් විතරයි ඒහෙම කියන්න‍ේ. ඒ අතරේ අපට හැමදාමත් විරුද්ධ වුණු අයත් ඉන්නවා. ඒ අය තමයි අපට යන්න කියන්නේ. එය ප්‍රායෝගික නැහැ. අප ලක්ෂ සංඛ්‍යාත ජනවරමක් හරහා ආවා. එක් කණ්ඩායමකට ඕනෑ නිසා අපට යන්න බැහැ. අපට ජනවරමක් ලැබී තිබෙනවා. වෙනසක් සිදු කළ යුතු නම් එය කළ යුත්තේ මැතිවරණයකින්.

ඒත්, මේ වන විටත් ඔබේ ඡන්ද පදනම නොවෙනස්ව ඇතැයි ඔබ සිතනවාද?

අපොයි ඔව්. මේ ඡන්දදායකයන්, ඊළඟ මැතිවරණයේ දී මට ඡන්දය දෙන බව විශ්වාසයි. මට ඔවුන් ගැන විශ්වාසයි. ඒ ජනතාව මට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඇතැම් කොටස් මට යන්න  කීවත්, අපට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අපි යනවාට කැමති නැහැ. මේ විරෝධතාකරුවන් සමස්ත ජනගහනයම නියෝජනය කරන්නේ නැහැ. එසේ වුනත් අප ඔවුන්ගේ අදහස්වලට ද ගරු කළ යුතුයි.

අගමැතිතුමනි, වත්මන් ප්‍රශ්න නිසා රාජපක්ෂ නාමයට බරපතළ කැළැලක් ඇති වී තිබෙනවා. ජනතාව ‘GoHomeRajapaksa’ ව්‍යාපාරය දිනෙන් දින ඉදිරියට කරගෙන යනවා. මේ ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

මේක අපට අලුත් දෙයක් නොවේ. වසර ගණනාවක් තිස්සේ සිදුවෙන්නක්. ඒත් තවමත් අප මෙහෙම ඉන්නවා. අප ජනවරමකින් ආවේ ජනතා තේරීම එය වූ නිසයි. අප ඉන්නේ ජනතාව සමඟ. අප වැඩ කරන්නේ ජනතාවට. ජනතාව සමඟ සිටින විට අපට විශ්වාසයක් ඇති වෙනවා. අප ඒ අනුව ක්‍රියා කරනවා. අප මෙතැන ඉන්නේ ජනතාවට අප ඕනෑ නිසා. ජනතාව යන්න කී දවසට අප යනවා. 2015 මැතිවරණයෙන් අප පැරදුණා. ඊට පස්සේ 2019 අප ආපසු ආවා. බහුතරය අප සමග ඉන්නවා.

මේ වනවිට ඔබගේ සහෝදරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔබ අතර මත ගැටුම් හටගෙන ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. සොහොයුරන් දෙදෙනා අතර අමනාපකම් ඇතැයි වාර්තා වීම හේතුවෙන් රට තුළ දැඩි දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වෙලා. මේ ගැන අදහස දැනගන්න කැමතියි

ඒ සියල්ල අසත්‍යයි. ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපති. ඒ නිසා ජනාධිපතිතුමා විදියට මා ඔහුට හැමදාමත් ගරු කළ යුතුයි. ඔහු සමහර විට මගේ බාල සහෝදරයා වෙන්න පුළුවන්, ඒක වෙනම කාරණයක්. ඒක පුද්ගලික සම්බන්ධයක්. නමුත් ඔහු ජනාධිපතිතුමා නිසා මා ඔහුට ගරු කරනවා. අනිත් හැමෝටම වගේ අපටත් විතර්ක තියෙනවා, කැබිනට් හමුවේදී පවා අප වාද කරනවා. නමුත් අපේ තර්ක, වාද විවාද එතැනින් එහාට යන්නේ නැහැ. ඔහු ජනාධිපති. මා අගමැති. අප සැමවිටම ගන්නේ එකම තීරණය. අප අතර වාද විවාද හෝ මත ගැටුම් හෝ ඇති වුණොත් තවදුරටත් අපට ජනාධිපති හෝ අගමැති විදියට කටයුතු කරන්න බැහැ. ඒක රටට හොඳ නැහැ. ඒ නිසා ඔබ ඇසූ ප්‍රශ්නයට අදාළව කියන්න ඕනෑ එහෙම කිසිම අර්බුදයක් නැහැ. පවතින සියලු ගැටලු සාකච්ඡා කරමින්, ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ එකඟතාවන්ට පැමිණීමට අප එක් වී කටයුතු කරනවා.

අගමැතිතුමනි, ඔබ 2019 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළා. ඔහුට ඡන්දය දෙන ලෙස ඔබ ජනතාවට ඒත්තු ගැන්වුවා. ඒ තීරණය ගැන ඔබට පසුතැවීමක් තිබෙනවාද?

කොහෙත්ම නැහැ. මට පුද්ගලිකව හැඟෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා හොඳින් ක්‍රියාකරමින් විශිෂ්ට කාර්යයක් ඉටු කර ඇති බවයි. අද අප ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව ඇත්ත, නමුත් හැකි ඉක්මනින් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අප වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. අපට දැන් අවශ්‍ය වන්නේ ජනතාවට සහන සැලසීම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ හැකි ක්‍රමවේද හඳුනා ගැනීමයි. ගෝඨාභය ජනාධිපති ධූරයට පත්වන විට, අපට කොවිඩ්-19 වසංගතය ඇති වූ බවත් එහි බලපෑමට අප මුහුණ දුන් බවත් අවබෝධ කර ගන්න ඕනෑ. වසංගතය අපේ විදේශ විනිමය ගලා ඒමට දැඩි ලෙස බලපෑවා. සමහර රටවල් වසංගතය සමග අරගල කරද්දී අප ජනතාවට එන්නත් ලබා දීමට කටයුතු කළා. ජනාධිපතිතුමා අසාර්ථකයි යැයි කවුරුන් හෝ කියනවා නම් එය වැරදියි. දැන් අප එක් වී, පවතින ආර්ථික ප්‍රශ්න නිරාකරණය කිරීමට ක්‍රම සහ විධි සොයමින් ඉන්නවා. මේ සියල්ල ඉක්මනින් අවසන් වී ජනතාවට සහන ලබා දිය හැකි යැයි අප විශ්වාස කරනවා.

හටගෙන ඇති ප්‍රශ්න ඔබටත් ජනාධිපතිතුමාටත් එක්ව විසඳගන්න හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

නියත වශයෙන්ම සහ අප දැනටමත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. කැබිනට් මණ්ඩලය සමඟත්, මන්ත්‍රීවරුන් සමඟත්, එක් වී කටයුතු කරනවා. ප්‍රශ්නවලට ඉක්මනින් විසඳුම් ලබා දෙන්න පුළුවන් වේවි.

ඔබ කියනවා ඔබ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන බව. නමුත් අදටත් මිනිසුන්ට ඔවුන්ගේ මූලික දේවල් ලැබෙන්නේ නැහැ. ඉන්ධන හිඟයක් පවතිනවා, විදුලි කප්පාදුව දිගටම, ඖෂධ සහ ආහාර හිඟයක් තියෙනවා. ඔබේ පුරවැසියන්ට මූලික දේ ලබා දීමට ඔබ අසමත් වෙලා. ඉතිං, ඔබ විශ්වාසයෙන් කියන්නේ කොහොමද ඔබට මේ සියල්ල අවසන් කළ හැකිය කියා?

හැම ආණ්ඩුවකටම මෙවැනි ප්‍රශ්නවලට මුහුණ පාන්න වෙනවා. මේ ආණ්ඩුවට පමණක් නොවෙයි. මේ මොහොතේ අපට මුදල් හිඟයි. අප තෙල් මිලදී ගැනීම් සඳහා වෙනත් රටවල් මත යැපෙන බැවින්, අපට තෙල් සඳහා ගෙවීම් කරන්න සිදුවෙනවා. ප්‍රමාදයක් තිබුණත් අප මුදල් ගෙවා ඉන්ධන තොග ලබා ගන්නවා. මූලික මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ හැකිතාක් පුරවැසියන්ට සැපයීමට අප සහතික වෙනවා. අද විදුලිය විසන්ධි කරන කාලසීමාව අඩු කිරීමට හැකිවෙලා. නැවෙන් තොග ගොඩබාන ගමන් ඉන්ධනහල්වලට බෙදා දීමත් සිදු කෙරෙනවා. ලෝක බැංකුව සහ අනෙකුත් ආයතන අපට අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට සහාය පළ කර තියෙනවා. අප ජනතාවට ආහාර ලබා දෙන බවට සහතික වෙනවා. අපට ප්‍රශ්න නැහැයි අප කියන්නේ නැහැ. කෙසේ නමුත් අප රජයක් ලෙස සැපයුම් දිගටම කරගෙන යෑමටත් එය හැකි ඉක්මනින් මහජනතාව වෙත ළඟා කර දීමටත් සහතික වෙනවා. කවුරුත් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. මේ ආර්ථික අර්බුදයෙන් අප ඉක්මනට ගොඩ එනවා. එතෙක් අපට එය කළ හැකි වෙන්නේ, ආණ්ඩුවත්, කැබිනට් මණ්ඩලයත්, මන්ත්‍රීවරුත් ශක්තිමත් නිසයි.

ඔබ කියනවා මේ ආණ්ඩුව ඉක්මනින්ම මේ අර්බුදය විසඳා සියල්ල යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව. ඒත් හරියටම එහෙම කරන්නේ කොහොමද?

ක්ෂණික විසඳුමක් සඳහා අපට උදව් කිරීමට කැමති රටවල් ඉන්නවා. අප ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කළා. ඔවුන් අපට ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මේ වසර අවසන් වෙද්දී, පවතින භාණ්ඩ හිඟයට සහ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට හැකිවේවි යැයි හිතනවාද?

ඔව්. ඒ ගැන අපට විශ්වාසයි. ඒ නිසා අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ඊට හේතුව මේ අර්බුදය විසඳුනාට පස්සේ අප ගොඩක් ආයෝජන සහ සංවර්ධන සැලසුම් කරලා තිබෙනවා. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට මාර්ග සිතියමක් සකස් කර තිබෙනවා. ටිකක් ඉවසන්න වෙනවා. අද මොන රජය හිටියත් මෙවැනි දේකට මුහුණ දෙන්න සිදුවෙනවා. අපට විතරක් නොවෙයි. මේ ආණ්ඩුව ශක්තිමත් නිසා තමයි අපට මේක ඉක්මනින් විසඳගන්න හැකියාව ලැබෙන්නේ. අප එයින් ගොඩ එන බව මට විශ්වාසයි.

ආර්ථික ආධාර ලබාගැනීමට ඔබ සාකච්ඡා කරන රටවල් මොනවාද?

රටවල් කිහිපයක් සමඟ අප සාකච්ඡා කරනවා. අප මෙහෙ තානාපතිවරු නිතර හමුවෙනවා. මුදල් අමාත්‍යවරයා අයි.එම්.එෆ් හමුවට ගිය විටත් නායකයන් කීප දෙනකු හමුවුණා. ඔවුන් සියලු දෙනාම අපට උදව් කිරීමට පොරොන්දු වුණා. ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා.

අගමැතිතුමනි ඔබලාට වැරදුනේ කොතනද? අද අප මෙවැනි තත්ත්වයකට වැටුණේ කොහොමද?

අප මේ ගැන අධ්‍යයනය කරනවා. මේ සම්බන්ධයෙන් අපි දැනටමත් ඉහළ පෙළේ ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙකුගේ උපදෙස් ලබාගෙන තිබෙනවා.

දේශපාලන පෙරමුණේදී ඔබට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබෙනවා. කලක් ඔබට හිතවත් ඔබේ මන්ත්‍රීවරුන් ඔබට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට සහයෝගය එකතු කරනවා. උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ ටිරාන් අලස් උදාහරණ කිහිපයක්. තවත් නම් තිබෙනවා. මේ ගැන ඔබට කියන්න පුළුවන් කුමක්ද?

මට විරුද්ධව ඔවුන් කරන්න යන දේ ඔවුන් කරන්නේ හොඳ හේතුවක් ඇතිව වෙන්න ඕනෑ. ඒ හේතුව මා දන්නේ නැහැ. ඒක දන්නේ ඔවුන්. ඔවුන් මේ ගැන මා සමග කතා කරලා නැහැ. ඒත් අවස්ථාවක් ලැබුණු විට මා ඔවුන් සමග කතා කරනවා. විරුද්ධ වෙලා වැඩ කරනවාට වඩා එක් වෙලා වැඩ කරන්න ලැබෙනවා නම් තමයි, හොඳ. මම ඔවුන් සමඟ සාකච්ඡා කරන්න දැනුත් සූදානම්, ඒ තීරණය ඇත්තේ ඔවුන් අතේ.

සඳුදා ගම්මන්පිල කීවේ මන්ත්‍රීවරුන් 120ක් දැන් ඔබට විරුද්ධව විශ්වාසභංගයේදී ඡන්දය දෙන්න සූදානම් බවයි. ඔබ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ඇතැම් පිරිස් වෙත ද දැනුම් දී ඇති බව ඔහු ද කියනවා. මේක ඇත්තද?

මේ මොහොත වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය මා සතුයි. ඒත් ඒක වෙනස් වෙයිදැයි කියන්න බැහැ. දේශපාලනයේ හැටි එහෙමයි. මන්ත්‍රීවරුන් බහුතරය මට යන්න කියනවා නම් මා යා යුතුයි. ඒ ගැන වාදයක් නැහැ.

ඔබේ ආසන 113 නැති වී බහුතරය අහිමි වුණොත් ඔබ අගමැති ධුරයෙන් ඉවත් වෙනවාද?

ඔව්. මා එහෙම කරනවා. එවිට තවදුරටත් මා ධුරයේ රැඳී සිටීමට හේතුවක් නැහැ. මා එවැනි නායකයෙකු නොවෙයි. 2015 පරාජයෙන් පසු මා නැවත බලයට ආවේ මේ රටේ බහුතර පුරවැසියන්ට මා නැවත අවශ්‍ය වූ නිසයි. මා ආවේ ජනවරමකින්.

ඔබට බහුතරය අහිමි වුවහොත්, ඔබේ සැලසුම් මොනවාද? ඔබ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගන්නවාද?

ඒක තීරණය වෙන්නේ අපිත් එක්ක මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවාද කියන එක මතයි. බහුතරය තියෙනවා නම් අප දිගටම ආණ්ඩුවේ ඉන්නවා. බහුතරය නැති වුණොත් අපිට විපක්ෂයේ වාඩි වෙන්න වෙනවා. විපක්ෂය මට අමුතු තැනක් නොවේ.

මේ වනවිට අරලියගහ මන්දිරයෙන් පිටත උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඔබේ ආණ්ඩුව අසාර්ථකයි කියලා උද්ඝෝෂකයන් කියනවා ඔබට ඇහෙනවාද?

මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මෙය පළමු අවස්ථාව ද නොවේ. මීට පෙරත් මට විරුද්ධව විරෝධතා පැවැත්වුණා. මට විරුද්ධව හඬ නැගීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ඒත් මැතිවරණයක් ආ විට වසර ගණනාවක් කළ සේවය සළකා ජනතාව අපට ඡන්දය දේවි.

ඔබ අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් සිටින බවට ආරංචි පැතිර යනවා. එහි සත්‍යයක් තිබේද?

කොහෙත්ම නැහැ. මා ඔහු සමඟ එවැනි කිසිවක් සාකච්ඡා කර නැහැ. මා සජිත් එක්කවත් සාකච්ඡා කරලා නැහැ, හේතුව සජිත් හිතන් ඉන්නේ අගමැති නොවෙයි; ජනාධිපති වෙන්නයි.

19 වැනි සංශෝධනය ගෙනැවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව ඔබ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒකට මොකද වෙන්නේ?

19 වැනි සහ 20 වැනි සංශෝධනයේ තිබෙන ඇතැම් වගන්ති නැවත 21 වැනි සංශෝධනයට ඇතුළත් කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න අනුකමිටුවක් පත් කරලා තියෙනවා. ඊට අදාළ කටයුතු කෙරීගෙන යනවා. ඒ සඳහා කෙටි කාලයක් ගත වේවි. එතෙක් අපට පිළිගන්න වෙනවා ජනතාව ඡන්දය දුන්නේ විධායක ජනාධිපතිවරයකුට බව.

මගේ අවසන් ප්‍රශ්නය. ඔබට පාර්ලිමේන්තුවේ පුතෙකු ඉන්නවා. වත්මන් තත්ත්වය ඔහුගේ දේශපාලන ගමනට අවසන් කරනු ඇතැයි ඔබ සිතනවාද?

ඒ සියල්ල රඳා පවතින්නේ ඔහු මතයි. ඔහුට (නාමල්ට) ඔහුට ඔහුගේ පියාගේ නම හෝ මාමාගේ නම හෝ සීයාගේ නම හෝ විකුණා දේශපාලනය කරන්න බැහැ. ඔහු ජනතාව සමඟ ඒ ගමන යන්න ඕනෑ. ඔබ ජනතාව සමඟ සිටිනවා නම් ඔබ ඉවත් කරන්න කාටවත් බැහැ. මට සිදුවුණේ එයයි. මම ජනතාව සමඟ සිටියා, මම තවමත් ජනතාව සමඟ සිටිනවා. වසර 55 ක් තිස්සේ මා ජනතාව සමඟ සිටිනවා. ඒක එහෙම නොවෙයි කියන්න කාටවත් බැහැ. 1970 ගණන්වල සිට අද දක්වාම මා ජනතාව වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඉදිරියටත් එසේමයි.

'ඩේලි මිරර්' පුවත්පත වෙනුවෙන්
සාකච්ඡා කළේ - ජමිලා හුසේන්


RECOMMEND POSTS