රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2021



‘රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2021‘ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී දිගු හා කෙටි නාට්‍ය සඳහා විවිධ අංශ යටතේ සම්මාන, කුසලතා සහතික හා ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමීමට නියමිතය.

මෙහිදී දිගු නාට්‍ය අංශයේ හොඳම නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය ‘ප්‍රේමයේ නගරය’ නාට්‍යය වෙනුවෙන් අසංක ගුරුසිංහ සහ ගයාන් රන්ධීර ප්‍රනාන්දු දෙපලට හිමිවූ අතර හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ‘ඇන්ටික් කඩයක මරණයක්’ දිගුනාට්‍ය අධ්‍යක්‍ෂණය කළ අශෝක හඳගම මහතාට හිමි විය.

දිගු නාට්‍ය අංශයේ වසරේ හොඳම නළුවා (සිංහල) සම්මානය ‘උරෝ අතර පෝර්ක්’ නාට්‍යයේ මිනිසාගේ චරිතය නිරූපණය කළ සමිත සුධීෂ්වර හිමිකරගත් අතර හොඳම නිළියට හිමි සම්මානය (සිංහල) ‘ඇන්ටික් කඩයක මරණයක්’ නාට්‍යයේ සරළාගේ චරිතය නිරූපණය කළ නිපුනි ශාරදා පතිරගේ වෙත පිරිනැමිණි.

ශ්‍රී ලාංකීය නාට්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නීල් අලස්, ලලිතා සරත්චන්ද්‍ර සහ එෆ්. ජූල්ස් කොලින් යන කලාකරුවන් වෙත ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ‘කලා කීර්ති’ සම්මානය පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණි.

දිගු නාට්‍ය අංශයෙන් වසරේ හොඳම සහය නළුවා ලෙස ‘ඇන්ටික් කඩයක මරණයක්’ නාට්‍යයේ තරුණයාගේ චරිතය නිර්මාණය කළ පසන් රණවීර විසිනුත්, සහය නිළිය ලෙස ‘පුනරාගමනය’ නාට්‍යයේ රෙජිනාගේ චරිතය නිරූපණය කළ තනූජා විජේවික්‍රම විසිනුත් හිමිකරගන්නා ලදී.

මෙවර කෙටි නාට්‍ය අංශය යටතේ වසරේ හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය හා වසරේ හොඳම ස්වීය රචනය යන සම්මාන ත්‍රිත්වයම ‘රත්මල් යහනක සැතපී’ නාට්‍යය අධ්‍යක්‍ෂණය, නිෂ්පාදනය හා රචනය සිදුකළ සචිත්‍ර රාහුබද්ධ මහතාට හිමිවීම විශේෂත්වයකි.

වසරේ හොඳම ස්වීය නොවන රචනයට හිමි සම්මානය ‘කන්තෝරුව කන්තෝරුව’ නාට්‍යය රචනා කළ ඩබ්ලිව්.එස් විජේසිංහ මහතාට හිමිවිය.

කෙටි නාට්‍ය අංශයේ වසරේ හොඳම නළුවා ලෙස ‘රත්මල් යහනක සැතපී’ නාට්‍යයේ පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කළ දේශාන් සේනාරත්න සම්මානය හිමිකරගත් අතර, හොඳම නිළිය ලෙස (සිංහල) සම්මාන ලැබූයේ ෆ්ලේවර්ස් නාට්‍යයේ කැළුම්ගේ චරිතය නිරූපණය කළ තෙරුණි ආශංසා පීරිස්ය.

දිගු නාට්‍ය අංශයේ හොඳම සංගීත නිර්මාණයට හිමි සම්මානය ‘ඌරෝ අතර පෝර්ක්’ නාට්‍යය වෙනුවෙන් පූර්ණිමා විජේසූරිය හිමිකරගත් අතර, කෙටි නාට්‍ය අංශයේ හොඳම සංගීත නිර්මාණයට හිමි සම්මානය ‘රත්මල් යහනක සැතපී’ කෙටි නාට්‍යය වෙනුවෙන් ශාන්ත පීරිස් වෙත හිමිවිය.

වසරේ හොඳම රංගාලෝකය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගභූමි අලංකරණය, අංග රචනය, වේදිකා පරිපාලනය, රංග වින්‍යාසය යන අංශ සඳහා ද මෙහිදී දිගු හා කෙටි නාට්‍ය අංශ යටතේ වෙන වෙනම සම්මාන පිරිනැමිණි.

නාට්‍ය ක්‍ෂේත්‍රයේ නියැලි කලාකරුවන් දිරිගැන්වීමේ සහ ඔවුන්ට උපහාර පිදීමේ අරමුණින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කර ඇත.

ජාතික උරුම, ප්‍රසංග හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂිකා තරණි අනෝජා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS