බ්‍රිතාන්‍ය අගමැති වරදකරු වෙයි
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දමා තිබියදී, සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින්, සාද පැවැත්වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වරදකරු විය.
ඒ අනුව, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරමින් වගකීම් විරහිත ලෙස හැසිරීම සම්බන්ධයෙන් බොරිස් ජොන්සන්ට පක්ෂ නායකත්වයත්, අග්‍රාමාත්‍ය ධුරයත් අහිමි වීමට ඉඩ ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙයි.
2020 වසරේත් ‘කොවිඩ් 19’ වසංගතය හේතුවන් ‘ලොක්ඩවුන් රෙගුලාසි’ පනවා රට වසා දමා තිබියදී, රටේ ජනතාවට ඔවුන්ගේ සියලු කටයුතු තහනම් වී තිබියදී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් සිය කාර්ය මණ්ඩල හිතවතුන් සමඟ එක් වී මධුවිත සාද පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබුණි.
පසුගිය 2021 වසරේ පිලිප් කුමරුන්ගේ අවමංගල්‍යය සිදුවී, දෙවැනි එලිසබත් මහ රැජින සොවෙන් පසුවන අවස්ථාවේදී පවා අග්‍රාමාත්‍යවරයා අංක 10 ඩවුනින් වීදියේ පිහිටි සිය නිල නිවසේ සාදයක් පවත්වා ඇති බවට ද චෝදනා එල්ල වී තිබුණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විමර්ශනයක් පැවැත්විණි. ඒ, ලන්ඩන් මෙට්‍රෝපොලිස් පොලිසියේ ද මැදිහත් වීමෙනි. එම විමර්ශනයට නායකත්වය දුන්නේ ජ්‍යෙෂ්ට සිවිල් සේවා නිලධාරිනියක වන සූ ග්‍රේ ය.
එම විමර්ශනයේ වාර්තාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. එල්ල වන සියලු චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වරදකරු වූයේ ඒ අනුවය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ මැදිහත් වීමෙන්, අංක 10 ඩවුනින් වීදියේ පිහිටි අගමැති නිල නිවසේත් වෙනත් ස්ථානවලත් මෙවැනි මධුවිත සාද 16 ක් පැවැත් වූ බව සූ ග්‍රේ මැදිහත් වී සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව පැවැසෙයි.
ඊට අමතරව, ලන්ඩන් මෙට්‍රොපොලිස් පොලිසිය, අග්‍රාමාත්‍යවරයා ලොක්ඩවුන් රෙගුලාසි කඩමින් පැවැත්වූ මධුවිත සාද සම්බන්ධයෙන් වීඩියෝ දසුන් සහ ඡායාරූප 300 ක් සාක්ෂි වශයෙන් ඔවුන් ඉදිරිපත් කර ඇත. ඒ, පිටු 500 ක වාර්තාවක් ද ප්‍රධාන විමර්ශන වාර්තාවට ඇතුළත් කරමිණි.
ඒ අනුව, බි්රතාන්ය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ කැබිනට් මණ්ඩලය විසින් ම අනුමත කළ සෞඛ්‍ය නීති රෙගුලාසි ඉතාමත් බරපතල ලෙස උල්ලංගනය කළේ යැයි සූ ග්‍රේ පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය ජොන්සන් සෞඛ්‍ය නීති කඩමින්, මධුවිත සාද පවත්වමින්, වගකීම් විරහිත ලෙස හැසිරුණු බවට පළමුවෙන් චෝදනා කළේ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයයි. ඒ මීට සති කීපයකට පෙරය. කම්කරු පක්ෂ මන්ත්‍රීන්වරුන් දිගින් දිගටම චෝදනා එල්ල කළ අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය ජොන්සන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
කෙසේ නමුත්, චෝදනා එල්ල වෙද්දී, අග්‍රාමාත්‍යවරයාට සිය කොන්සවර්ටිව් පක්ෂයෙන් ද පීඩනයක් එල්ල වීමට පටන් ගැණුනි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම සාද ගැන කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් පවා නොදැන සිටි බව අනාවරණය වී තිබේ.
තමන් වරදක් නොකළ බව දිගින් දිගටම කී අග්‍රාමාත්‍ය ජොන්සන් එම අවස්ථාවේදී වරදක් සිදුවුණු බවත් සාද පැවැත්වූ බවත් පිළිගත්තේය. ඔහු බ්‍රිතාන්‍ය ජනතාවගෙන්, සිය කොන්සවර්ටිව් පක්ෂයෙන්, විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් පමණක් නොව දෙවැනි එලිසබත් මහ රැජිනගෙන් ද සමාව ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව, අග්‍රාමාත්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සූ ග්‍රේගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වීම සිදුවූයේ ඒ අනුවය. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට නිකුත් වූ අවස්ථාවේ පටන් විපක්ෂය වන කම්කරු පක්ෂය දිගින් දිගටම බොරිස් ජොන්සන්ට බල කර ඇත්තේ වහා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසටය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ බලයේ සිටින පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත්, ‘බ්‍රික්සිට්’ ක්‍රියාවලිය හමුවේ බ්‍රිතාන්‍යය අර්බුදයකට මුහුණ දී සිටිද්දී, ‘බ්‍රික්සිට්’ ක්‍රියාවලිය හා සම්බන්ධ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ජොන්සන් කොන්සවර්ටිව් පක්ෂ නායකයා බවට පත් විය. ඒ අනුව, එවකට පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තෙරේසා මේ බලයෙන් ඉවත් විය.
බොරිස් ජොන්සන් ‘කොන්වසර්ටිව්’ පක්ෂය පමණක් නොව බ්‍රිතාන්‍යයට ද පැහැදිලි දැක්මක් ඇති නායකයකු වූ අතර ‘කොන්සවර්ටිව්’ පක්ෂයට දිගටම බලයේ රැඳී සිටීමට ශක්තියක් විය. බොරිස් ජොන්සන් ‘කොවිඩ් 19’ ආසාදනය වී දැඩි ලෙස රෝගී වී සුවය ලැබූවෙකි.
ලන්ඩනයේදීය (රොයිටර්)