දර ඔසවා බර එසවූ ක්‍රීඩිකාව



බර එසවීමේ ඉසව්වෙන්, ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ මිරාබී චානූ ආපසු ඉන්දියාවට පැමිණෙද්දී ඇයට ලැබුණේ වීරයකුට ලැබෙන ආකාරයේ පිළිගැනීමකි.

ඔලිම්පික් උළෙලකදී බර ඉසවීමේ ඉසව්වෙන් ඉන්දියාවට පදක්කමක් හිමිවූයේ වසර 21 කට පසුවය. ඒ අනුව මිරාබී චානූගේ ජයග්‍රහණය ඉන්දියානුවන්ට ලොකු අභිමානයකි. ගෞරවයකි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමුවෙන් ම පදක්කමක් දිනූ ක්‍රීඩිකාව ද මිරාබී චානූ ය. ඇගේ සම්පූර්ණ නම ෂයිකොම් මිරාබායි චානු ය.

මිරාබී චානූ බර එසවීම ආරම්භ කළේ අවුරුදු 12 දීය. ඇය බර ලෙස එසවූයේ දර මිටි ය. මව සමඟ එක් වී, නිවස අසල වනයට ගොස් දර කපා මිටි බැඳ ඒවා හිසේ තබාගෙන ඔසවාගෙන කිලෝ මීටර් ගණනක් පයින් යෑම පුංචි මිරාබිගේ දෛනික රාජකාරිය විය. මිරාබී චානූ උපන් නගරය නොන්පොක් කැක්චිං වන අතර, මෙය පිහිටා ඇත්තේ මනිපූර් ප්‍රාන්තයේය. මිරාබී චානූගේ පියා රාජ්‍ය නිලධාරියෙකි. අම්මා සමෝසා වෙළෙන්දියකි.

මුලදී මිරාබී චානූ ක්‍රීඩා ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. ඒත් පාසලේදී ඇය ක්‍රීඩාවට යොමු වූවාය. ක්‍රීඩා ගැන උනන්දුවක් දැක්වීමත් සමඟ මිරාබී චානූ මුලින්ම තෝරා ගත්තේ දුන්නෙන් ඉලක්කයට විදීමේ ක්‍රීඩාවය. කෙසේ නමුත් ඇය සිතූ තරම් එය සාර්ථක වූයේ නැත.

හේතුව ඇය උසින් අඩු තැනැත්තියක වීමය. ඇය බර එසවීමට යොමු වූයේ ඉන්පසුවය. ආරම්භයේ දී ඇය පුහුණුව ලැබීමට එසවූයේ කැළයෙන් කපාගත් උණබට ය. උණබට මිටි බැඳ එය ඔසවමින් ඇය පුහුණු වූවාය.

කුඩා කළ බර ඔසවමින්, මිරාබී චානූ පෙන්නූ හපන්කම් එක් දක්ෂ පුහුණුකරුවකුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ඇය තුළ වූ ධෛර්යය, අධිෂ්ටානය සහ ශක්තිය හඳුනා ගත් ඔහු ඇයට පුහුණුව ලබා දුන්නේය. අදවනවිට චානූ පෙන්නූට පුහුණුව ලබා දීමට බර එසවීමේ පුහුණුකරුවන් සිවු දෙනෙකු සිටින බව පැවැසෙයි. මිරාබී චානූ පෑ දස්කම්, ජාත්‍යන්තර තරග තෙක් දුරදිග ගියේය.

2014 වසරේ දී ඇය ග්ලාස්ගෝව් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ දස්කම් පෙන්වූයේ ඉන්දියාවට අභිමානයක් ගෙන දෙමිනි. ඇය කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ ක්‍රීඩා කරමින් රිදී පදක්කම දිනා ගත්තාය. 2016 රියෝ ඔපිම්පික් උළෙලට සහාගී වීමට ඇයට එම ජයග්‍රහණය සුදුසුකමක් විය.

රියෝ ඔලිම්පික් උළෙලේදී 'ක්ලීන් ඇන්ඩ් ජර්ක්' ක්‍රමයට කිලෝ ග්‍රෑම් 104 ක බරක් එසවීමට ඇය උත්සාහ කළත් අසාර්ථක විය. ඉන්පසු කිලෝ ග්‍රෑම් 106 ක බරක් එසවීමට ද ඇය උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විය.

මිරාබී චානූගේ පළමු ඔලිම්පික් ගමන බලාපොරොත්තු සුන් එකක් විය. ඇය රියෝ නුවර සිට ආපසු පැමිණියේ කඳුලු පිරි දෙනෙතිනි. කෙසේ නමුත්, මිරාබී චානූ පහසුවෙන් පරාජය බාර ගන්නා තැනැත්තියක නොවූවාය. අත්වුණු පරාජය ඇයට ශක්තියක් විය.

2017 දී ඇය සම්පූර්ණයෙන් 194 ක බරක් එසවූවාය. ඇමෙරිකාවේ ඇනාහයිම් තරගාවලිවේ දී ඇය ලෝක ශූරියක බවට පත් වූවාය. 2018 දී ඇය සම්පූර්ණයෙන් කිලෝ ග්‍රෑම් 196 ක බරක් එසවූවාය. ඒ, ඕස්ට්‍රේලියිවේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලයේ රන් පදක්කම දිනා ගනිමිනි.

ලැබූ මෙම ජයග්‍රහණත් සමඟ ඇයට 'රජිව් ගාන්ධි කේල් රත්න' ගෞරවණීය සම්මානය ද ඉන්දීය ජනපති අතින් පිරිනැමුණි. මිරාබී චානූ, ඔලිම්පික් වළලුවලින් නිර්මාණය වුණු කරුඹු ද පැලඳ මෙවර ටෝකියෝ ඔපිම්පික් උලෙළට සහභාගී වූයේ පදක්කමක් ඉලක්ක කර ගනිමිනි.

 26 හැවිරිදි මිරාබී චානූ කිලෝ ග්‍රෑම් 49 බර පංතිය යටතේ තරගයට සහභාගී වූවාය. ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 87 ක් එසවූවාය. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 115 ක් එසවූවාය. ඇය එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 202 කි. එය ඇයට රිදී පදක්කම හිමිවූයේ ඒ අනුවය. 'කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ. අවශ්‍ය වන්නේ උත්සාහය, ධෛර්යය සහ කැපවීම පමණයි' යැයි මිරාබී චානූ මාධ්‍ය හමුවේ කියා සිටියේ මහත් ආඩම්බරයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS