2021 ලෝක රූ රැජින



'කොවිඩ් 19' වසංගතය හරස් වීම නිසා ප්‍රමාද වුණු 2021 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින්, පුටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ සැන් යුවාන් නගරයේ 'කොකා කෝලා' සංගීත ශාලාවේදී පැවැත්විණි. මෙය 70 වැනි ලෝක රූ රැජින තරගාවලියයි. රටවල් 97 ක සුරූපිනියන් තරගාවලියට ඉදිරිපත් වූ අතර, ඔවුන් සියලු දෙනා අභිබවා යමින්, අවසන් වටයේ දී, 2021 ලෝක රූ රැජින කිරුළ පැලැඳියේ පෝලන්තය නියෝජනය කළ 23 හැවිරිදි කැරොලිනා බියෙලව්ස්කා ය.

කැරොලිනා ලෝක රූ රැජින කිරුළ දිනා ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, අයිවරි කෝස්ට් ඉන්දුනීසියාව, මෙක්සිකෝව, උතුරු අයර්ලන්තය යන රටවල් හය නියෝජනය කළ සුරූපිනියන් පරදවමිනි. කැරොලිනා 2021 ලෝක රූ රැජින ලෙස කිරුළු පලඳිද්දී, දෙවැනි ස්ථානය දිනා ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ සුරූපිනිය ශ්‍රී ශ්‍රී සයිනි ය. තෙවැනි ස්ථානය දිනා ගත්තේ අයිවරි කෝස්ට් රාජ්‍යය නියෝජනය කරමින් තරගාවලියට එක් වුණු සුරූපිනිය ඔලිවියා යාස් ය. කැරොලිනා, කිරුළු පැලැඳියේ 2019 වසරේ ලෝක රූ රැජින වූ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං අතිනි.

පෝලන්තයට ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට හැකිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර පෝලන්තය ලෝක රූ රැජින කිරැළ දිනුවේ 1989 වසරේදීය. එදා ලෝක රූ රැජින ලෙස කිරුළු පැලැඳියේ ඇනෙටා ක්‍රෙග්ලික්කාය. කැරොලිනා උපත ලබා ඇත්තේ 1999 අප්‍රේල් 11 වැනිදා පෝලන්තයේ ලොඩ්ස් නගරයේය. ඇය නිරූපිකාවක ලෙස රැකියාව කරයි. කැරොලිනා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. ඇය දක්ෂ කිමිදුම්කාරියක බව ද පැවැසෙයි. කැරොලිනා 2021 ලෝක රූ රැජින කිරුළ සඳහා පෝලන්තය නියෝජනය කළේ 2019 දී 'පෝලන්ත සුරූපිනිය' ලෙස කිරැළු පැලඳීමෙන් පසුවය.

පෝලන්තය යුක්රේනයේ අසල්වැසියෙකි. කැරොලිනා කිරුළු පැලැඳීමට පෙර සිටම, පෝලන්තය සම්බන්ධයෙන් පුවත් අසන්න ලැබුණේ රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු යුක්රේන වැසියන් දහස් ගණනින් පලා යෑමට පටන් ගත්තේ පෝලන්තයට වීම නිසාය. ගැටුම් හේතුවෙන් පණ බේරා ගනිමින්, තම රටට ආ සියලුම යුක්රේන වැසියන් වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරන බවට පෝලන්ත රජය ප්‍රතිඥා දී ඇත.රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලෝක රූ රැජින තරගාවලියේ ද අවදානය යොමු විය. මෙවර ලෝක රූ රැජින තරගාවලියට යුක්රේනය නියෝජනය කරමින් සහභාගී වූ සුරූපිනිය ඔලෙක්සැන්ද්‍රා කුෂරෙන්කෝ ය. අවසන් වටයට සුදුසුකම් නොලැබුණු බැවින් ඇය පුටෝ රීකෝ බලා පැමිණ සිටියේ නැත. ඇය යුක්රේනයේ කීව් අගනුවර සිටින බව, ලෝක රූ රැජින තරගාවලිය වෙනුවෙන් එහි ප්‍රධානී ජුලියා මෝර්ලී මාධ්‍ය වෙත දන්වා තිබේ. 2021 ලෝක රූ රැජින ලෙස කිරුළු පැලැඳීමට පෙරත්, කිරැළු පැලඳී‌මෙන් පසුවත්, යුක්රේන වැසියන් වෙනුවෙන් හඩ නැගීමට කැරොලිනා පියවර ගත්තාය.

ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2021 දෙසැම්බරයේය. අවසන් තරගයට ඔන්න මෙන්න කියා තිබියදී, ඊට සහභාගී වුණු සුරූපිනියන් 97 දෙනාගෙන් 23 දෙනකු පමණක් නොව, සංවිධායක මණ්ඩලයේ බොහෝ දෙනකු ද 'කොවිඩ් 19' ආසාදිතයන් වීමත් සමඟ තරගාවලිය නැවැත්වීමට පියවර ගැණුනි. මාස තුනක ප්‍රමාදයකින් පසු පසුගිය මාර්තු 16 වැනිදා සැන් යුවාන් කොකා කෝලා සංගීත ශාලාවේ අවසන් තරගය පැවැත්වෙද්දී ඊට සහභාගී කරවා ගැනුනේ අවසන් වටයට තේරී සිටි සුරූපිනියන් 40 දෙනා පමණි. එම 40 දෙනා අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ සාදී ග්‍රීන්වුඩ් ද සිටියාය.

මෙවර තරගාවලියේ දෙවැනි ස්ථානයට පත් වූ ඇමෙරිකන් සුරූපිනිය ශ්‍රී සයිනි ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තියකි. 2021 ලෝක රූ රැජින නොවුණත්, ශ්‍රී සයිනි ගැන ද මාධ්‍ය අවධානය යොමු වී තිබේ. ඇය උපත ලබා ඇත්තේ පන්ජාබයේ ලුදියානා දිස්ත්‍රික්කයේය. ශ්‍රී සයිනි සහ ඇගේ පවුලේ අය ඇමෙරිකාවේ වොෂින්ටනයේ පදිංචියට පැමිණ ඇත්තේ අවුරුදු පහේදීය. ශ්‍රී සයිනි දුර්ලභ හෘද රෝගයකින් පෙළෙන තැනැත්තියකි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS