’Bayan’ නවකතාවට ජාත්‍යන්තර සම්මානයක්



ශ්‍රී ලාංකික ලේඛක ප්‍රමුදිත් රූපසිංහ විසින් රචිත 'Bayan' නවකතාව 'Golden Aster Books World Literary Prize'(2020) සම්මානය දිනා ගත්තේය. මෙය ප්‍රමුදිත් ට පමණක් නොව, ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමටත් සතුටු විය හැකි කරුණකි. "Bayan" භාෂා රැසකට පරිවර්තනය වී ඇත. එය සිංහල බසට නැගී ඇත්තේ 'සිසිර ගීතය' නමිනි. 'සිසිර ගීතය' රෝහණ කලුආරච්චිගේ පරිවර්තනයකි.

ඉවාන්ගේ සිසිර ගීතය “BAYAN” "හැත්තෑවන වියේදී පවා ඔහු තම ආදරණීය වාද්‍ය භාණ්ඩය තම ශක්තියෙන් වාදනය කරයි. බයනය අතට ගත් ඔහු එය නැවත වාදනය කිරීමට පටන්ගත්තේ ය. එය මෙවර ඉතා මිහිරි සංගීතයක් ඔහුගේ ස්වරයට එකතුකළේ ය. අඳුරු අහසට සඳ මෝදුවන තුරු ඔහු දිගටම වාදනය කළේ ය.

ඊළඟ මොහොතේ නිහඬ වටපිටාවට දවස එකතුකරමින් එදා ඔහු නින්දට ගියේ නැගෙන හිරුත් සමග පළවෙනි ගේ කුරුල්ලාගේ නාදය එකතුවෙන තුරු ය." එකක් පසුපස එකක් වන පරිද්දෙන් නොයෙක් සෘතු ජීවිතය කරා ළඟාවන්නේ සිතාගැනීමටවත් නොහැකි තරම් වේගයකිනි. සෑම මිනිසෙකුම තම දිවි ගමන තුළ තමාට ආවේණික වූ සෘතු පසුකරයි. ඒ සෑම සෘතුවකටම අනන්‍ය වූ ගීතයක් ඇත. මිනිසෙකුගේ සමස්ත ජීවන ගීතය පණ ලබන්නේ ඒ ඒ සෘතූන්වලට අනන්‍ය වූ ගීතයන්හි සාරයන්ගේ සුසංයෝගයෙනි.

"ඉවාන් නිකොලායිවිච්" වසර හැත්තෑවක් පමණ ගෙවී ගොස් ජීවිතයේ සැඳෑ සමය කරා එළැඹිය ද ඔහු හුදෙකලාව ආශිර්වාදයක් කරගනිමින් ස්ව ශක්‍තියෙන් තම ආදරණීය වාද්‍ය භාණ්ඩය දෝතට ගෙන ජීවන ගීතය වාදනය කරයි. ඔහුගේ දිවිය තුළ කොපමණ නම් සිසිර සෘතු ගණනාවක් ඔහු පසුකරන්නට ඇත් ද?

ප්‍රමුදිත් ඩී. රූපසිංහ විසින් "Bayan" යනුවෙන් ඉංග්‍රීසි බසින් රචනාකරන ලදුව රෝහණ කලුආරච්චි විසින් "සිසිර ගීතය" නමින් සිංහල බසට නගා ඇති මෙම අපූරු නවකතාව පුරාම පැතිර යන්නේ ඉවාන් නිකොලායිවිච් සිය ආදරණීය වාද්‍ය භාණ්ඩය දෝතින් ගෙන ඉන් වයන ඔහුගේ හදවත ගැඹුරින්ම නැගී එන ජීවන ගීතයේ මිහිරියාව යි. විටෙක එය හුදෙකලාව මුසු ශෝකී ස්වරයකින් වැයෙ යි.

තවත් විටෙක එය ජීවිතයේ යථාර්ථය රැගත් මනස අවදිකරවනසුලු ස්වරයකින් වැයෙයි. ඒ සියලු ස්වරයන්හි ගීතවත් බව ජීවිතයේ අරුත්බර බව පිළිබඳව සුපහන් හැඟුම් දල්වන්නට සමත්වන්නේ නිතැතින්ම ය. “සාහිත්‍යය වනාහි සත්‍යයත්, කල්පිතයත් අතර අතරමැදි කලාපයක පවතින්නකි.” මෙය ජපන් නාට්‍යකරුවෙකු වන චිකමත්සුගේ ප්‍රකට කියමනකි. ප්‍රමුදිත් රූපසිංහගේ “Bayan” කෘතිය ද මෙම කියමනෙහි අරුත කුලුගන්වන්නකි.

මෙම කෘතිය පෝෂණය වී ඇත්තේ ඉවාන් නිකොලායිවිච් නම් මිනිසාගේ ජීවන අත්දැකීම් ඇසුරිනි. එය සම්පුර්ණ වශයෙන්ම කල්පිත ප්‍රබන්ධයක් නොවේ. ඉවාන් නිකොලායිවිච් යනු අප මෙන්ම මේ මිහිමත ජීවත් වන මිනිසෙකි. නවකතාව රසවිඳීමේදී අප වින්දනය කරන්නේ ඔහුගේ දෑතින් බයනයෙන් වැයෙන ඔහුගේම හදවතේ ගීතය යි. නවකතාවේ පිටකවරය සරසා ඇත්තේ ද ඉවාන්ගේම සේයාරුවකිනි.

ඔබ මේ නවකතාව රසවිඳින මොහොතේදීත් ඔහු යුක්රේනයේ ඈත කෙළවරක තම ආදරණීය සංගීත භාණ්ඩය වාදනය කරමින් සිටිනවා වන්නට හැකි ය. සාහිත්‍ය ලෝකය තුළ රුසියාව පිළිබඳව අත්දැකීම් ශ්‍රී ලාංකීය පාඨකයා වෙත ළංවන්නේ බහුල වශයෙන්ම පරිවර්තන කෘති හරහා ය. නමුත් ශ්‍රීලාංකික ලේඛකයෙකු වන ප්‍රමුදිත් රූපසිංහ සිය ස්වතන්ත්‍ර කෘතියක් ඇසුරින් රුසියාව ලාංකීය පාඨකයා වෙත ළඟාකරවීම සඳහා ගෙන ඇති උත්සහය සැබැවින්ම අගය කළ යුතු ය.

ඔහු සිය කතා අනුභූතිය ගොඩනගන්නේ තමා ඉපදී හැදී වැඩුණු දේශයෙන් බොහෝ ඈතක මින් කලකට පෙර වූ සමාජ පරිසරයක වුව ද එය නවකතාවේ සන්දර්භය තුළ හසුරුවාගැනීමේදී ප්‍රකට කර ඇති කුසලතාවය ප්‍රශංසනීය ය. එහි කිසිදු නුහුරු නුපුරුදු ගතියක් දකින්නට නොමැත. එය පහසු කරුණක් නොවේ. නමුත් කතුවරයා එහි දී එම අභියෝග ජයගෙන ඇත්තේ තම නවකතාව රචනාකිරීමේදී එයට අදාළ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම පිළිබඳව තමා තුළ ඇති හැදෑරීම මැනවින් පිළිබිඹු කරවමිනි. මෙම නවකතාව හුදෙක් ජීවිතය පිළිබඳව ගද්‍යමය ගීතයකට නැගීමක් පමණක්ම නොවේ.
එහි සමකාලීන රුසියාව තුළ වූ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම පිළිබඳව ද අපූරු කියවීමේ අත්දැකීමක් පාඨකයාට ලබාදීමට සමත් කෘතියකි. සෝවියට් ජනරජය තුළ ජනතාවට හිමිව තිබූ තත්වය, සෝවියට් දේශය බිඳවැටීමෙන් අනතුරුව ජනතාවට මුහුණදීමට සිදු වූ නොයෙක් අර්බුදකාරී තත්වයන් පිළිබඳව ද අපූරු කියවීමක් මෙම නවකතාව තුළ දැකිය හැකි ය.

එවන් සංකීර්ණ ප්‍රපංචයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන්කිරීමේදී වුව ද කතුවරයා යොදාගන්නේ අතිශය නිර්මාණාත්මක බස් වහරකි. එහි දී වුව ද නවකතාවේ ආරම්භයේ පටන් තමා රැගෙන ආ රිද්මීය සංයමය කතුවරයා බිඳදමන්නේ නැත. එය ඉතා සුවිශේෂී කරුණකි.

ඔහු සිය නවකතාව තුළින් සමකාලීන දේශපාලන, සමාජ, ආර්ථික පසුබිම පිළිබඳව විවරණයක යෙදෙන්නේ නිර්දය විවේචකයෙකු ලෙස නොවේ. ඔහු ඒ වෙත හෙළන්නේ ද ජීවිතයේ නොයෙක් සෘතූන්ට මුහුණදෙමින් පදම් වූ හදැති උපේක්ෂාසහගත මිනිසෙකුගේ දෘෂ්ටියකි.

"බල්ලෙක් කූඩුවක හැදී වැඩෙන විට ඌ සොයන්නෙ සගයෙක් නෙවෙයි. බේරී පැන යාමට අවස්ථාවක්. සෝවියට් ජීවිතයත් එහෙම යි. අපට අපේ තීරණ ගැනීම අහිමිකර තිබුණා. ඇඳුම් ඇඳීම, වැඩපොළේ, ජීවන රටාවේ තීරණ ගැනීම නැතිවුණා වගේම අපව දැනුණෙ ලෝකයේ ලොකුම ගොවිපොළේ ඇතිකරන ගවයින් ලෙසයි. හිතන්න, ඔබ ගවයින් ඇතිකරනවා. එසේම උන්ට කන්න මස් දෙන්න තීරණය කරනවා. එයයි හරියටම සිදුවුණේ. ශාක භක්ෂක ගවයින්ට ආහාරවලට දුන්නෙ මාංශ භක්ෂක සතුන්ගෙ ආහාර. ඒවායේ තමන්ගේම ජාතියේ සතුන්ගේ මසුත් අඩංගු වුණා." ඉවාන් කැළඹුණු ලෙස ආවේගයෙන් කතාකළේ ය.

බලයට ඇති කෑදරකම සහ ඒකාධිපති පාලකයන්ගේ වියරුව සෝවියට් සංගමය නම් වූ මැමත් සත්ත්වයාව මරා දැමුවා. මිනිසුන් විසින් දයාරහිතව කපා දමපු ගසක කුරුල්ලන් වගෙයි අපි. ඔවුන් ඒක වෙනුවට අලුත් ගසක් සිටුවාවි. නමුත් ඔවුන්ගේ අඥානකම විශාලවන්නේ ඔවුන් විනාශ කළේ එකිනෙක මිලියන ගණන් ජීවිත සම්බන්ධ වුණු උප පරිසර පද්ධතියක් බව කිසි විදියකින් නොදැන සිටි නිසයි. අලුත් ගස දශක ගණනාවක් ගනීවි වර්ධනයට. සමහරවිට එය ඇත්තටම සාර්ථක නොවෙන්නත් පුළුවන්..." කතුවරයා සිය නවකතාව සඳහා යොදාගෙන ඇති බස් වහර ඉතා ගීතවත් ය. ජීවිතය මෙන් වරින් වර උස් පහත්වෙමින් නගින බසින ‍රළක් බඳු අපූරු රිද්මීය සංයමයක් නවකතාව පුරාවටම දැකගත හැකි ය. අවැසි තැන්හි දී කතුවරයා භාවිතා කරන උපමා, රූපක, වර්ණනා ආදියෙන් නවකතාවේ භාෂාවට ලැබෙන්නේ ප්‍රබල ආලෝකයකි. ඇතැම් තැන්වල කතුවරයා යොදාගන්නා ගී ඛණ්ඩ නවකතාව තුළින් කුලුගැන්වෙන අරුත් වඩාත් තීව්‍රකරමින් පාඨකයාව ඒ කෙරෙහි ඇද බැඳ තබාගැනීමට සමත් වේ. "

ඒ සන්ධ්‍යා සීනු! ඒ සන්ධ්‍යා සීනු! ඒ සංගීතය කතන්දර බොහොමයක් ගැන කීවා තාරුණ්‍යය, නිවස සහ ඒ මිහිරි අතීතය ඒවායේ සිත නිවන ඝණ්ඨා හඬ මා අවසාන වතාවට අසද්දී ඒ සතුටුදායී කාලය පසුවී ගොසින් ඒ දවස්වල සතුටු වුණු තරුණයින් සොහොන් කොත් යට අඳුරේ දැන් නිදයි ආයේ තවදුරටත් ඒ සන්ධ්‍යා සීනු හඬ නෑසෙයි එසේම වේවි මා මියගිය දාටත් ඒ ගීතවත් නින්නාදය දිගටම නාද දේවි අනෙක් කවීන් මේ වනරොදවල ඇවිද යද්දී ඔබේ අගයකිරීම ගායනා කරාවි මියුරු සන්ධ්‍යා සීනු"

කතුවරයා සිය කථානායකයා වන ඉවාන්ගේ ජීවනදෘෂ්ටිය සකස්කරන්නේ මූලික වශයෙන්ම සොබාදහම අඩිතාලමක් කරගනිමිනි. ඔහුගේ බයනයෙන් වැයෙන ගීත ද, ජීවනදෘෂ්ටිය ද පණලබන්නේ සොබාදහමේ මියුරු ස්වර ඇසුරිනි.

"අවසන් ඇපල් ගෙඩියත් වැටී, අවසන් අත්තත් වියළී යන තුරුම බලාසිටීම හැර ඔබට කළ හැකි වෙන දෙයක් නැහැ. ඊළඟට ඔබ ජීවත්වන තුරුම ආහාර සැපයූ කළු පසට ඔබේ දර එකතුවේවි. මතක තියාගන්න! එය ජීවිතය නම් පූජනීය ගමනේ කොටසක්. එය තනිකරම එකිනෙකා මත යැපෙන ක්‍රියාවලියක්. ඔබ ගන්නා සෑමදෙයක්ම නැවතත් දිය යුතුයි."

Bayan (සිසිර ගීතය) වූ කලී අප රසවිඳ ඇති සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ රසභාවයන් නූතනත්වය සමග මුසුකොට පාඨකයාට නැවුම් අත්දැකීමක් ලබාදීම සඳහා ලාංකික කතුවරයෙකු විසින් ගෙන ඇති ඉතා ප්‍රශංසනීය ප්‍රයත්නයකි. Bayan කෘතිය මේ වන විටත් සිංහල භාෂාව ඇතුළු තවත් භාෂා පහකට පරිවර්තනය වී ඇත.

එමෙන්ම Bayan විදෙස් පාඨකයන්ගේ ද නොමඳ ප්‍රතිචාරයන්ට බඳුන් වී තිබීම ලාංකීය සාහිත්‍ය ලෝලීන්ට සතුටට පත්විය හැකි කරුණකි. Bayan සිංහල බසට පරිවර්තනය කළ නවක පරිවර්තකයෙකු වන රෝහණ කලුආරච්චි ද සිය පරිවර්තනය හරහා මුල් කෘතියට සෑහෙන තරම් සාධාරණත්වයක් ඉටුකිරීමට උත්සහ දරා ඇති බව එහි "සිසිර ගීතය" නම් සිංහල පරිවර්තනය කියවීමේදී පෙනී යයි.

ජීවිතය තුළ එළැඹෙන අනෙක් සෘතුවලට වඩා හදවත ගල්කරන කටුක සීතලෙන් යුතු වුව ද දිවියේ සිසිර සෘතූන්හි ලබන අත්දැකීම් මිනිසුන් තුළ යථාර්ථවාදී ජීවනදෘෂ්ටියක් පෝෂණය කිරීමට ඉවහල්වන බව සිසිර ගීතය කියවීමේදී හැඟී යයි.

"සෝවියට් සංගමයේ කඩාවැටීමත් සමග මට සියලු දේ අහිමි විය. මා ඉපයූ සියල්ලම ඒ අතර වූයේ මගේ කාලයේ හැමදෙනාටම සිදු වූ අයුරිනි. ඒ නිසා ඔබගේ සමාජයේ වටිනාකම්වලට අනුව දීමට වටිනා කියන කිසිදෙයක් මා සතුව නැත. අප වටිනාකම් විශ්වාසකරන සැමදේම ඔවුන් අමතක කර දමා තිබෙන්නට පිළිවන. නමුත් ඉලක්කම් සහිත හිස් කොළවලට, මිනිස්සු එයට මුදල් යැයි කියති, ප්‍රයෝජනවත් කිසිම භාණ්ඩයක් මිළදීගැනීමට තරම් ඝන නොවන රත්තරන්වලට හෝ මිනිස් ජීවිතයේ ප්‍රබල වශයෙන් ගනුදෙනුකිරීමේදී භාවිතාවන ලිංගිකත්වයට හෝ වටිනාකම තක්සේරු කළ නොහැකි එක දෙයක් ඔබට පමණක් සොයාගත හැකි තැනක තබා ඇත. ඒ ඔබට ඔබගේ අතීතයේ සෑම සිදුවීමක්ම අමතක නැත්නම් පමණි. නැත්නම් ඔබගේ බුද්ධිය අමතක වීම නම් මඩගොහොරුවේ කිඳා බැස ඇත..."

සංගීතය විශ්ව භාෂාවකි. එය කිසිදු සීමා මායිමකින් තොරව මිනිසුන්ගේ හද ගැඹුරේම තැන්පත් වී ඇති සිතුවිලි ආමන්ත්‍රණය කරයි. ඒවා සන්නිවේදනය කරයි. හිරු රැසින් නැහැවී ගිය පයින් ගසක් පාමුල වාඩිවී ඝනව වැඩුණු සුදු පැහැති රැවුලකින් සහ දිදුලන උපේක්ෂාසහගත දෑසකින් යුතු මිනිසෙකි. ඔහු සිය ආදරණීය බයනය වාදනය කරමින් එම විශ්ව භාෂාවෙන් ඔබට ඇරයුම් කරයි. ඒ සොඳුරු ඇරයුමත්, පණිවිඩයත් ඔබ වෙත රැගෙන එන්නේ Bayan හෙවත් සිසිර ගීතය යි.

"ඔහු ඔහුගේ බයනය ගෙන වාදනය කිරීමට පටන්ගත්තේ ය. සුබ උදෑසනක් මගේ ආදරණීය මිනිසුනේ සුබ උදෑසනක් ඔබ ආදරය කරන හැමෝටම, සුබ උදෑසනක් සහ සුබ දවසක් නිදහසේ හුස්ම ගන්නත්, ආදරයෙන් දවස ගෙවන්නටත් ඉඩ දුන්නාට, අඳුරේදී ඔබ දකින්නේ ඔබට දකින්න අවැසි දේ යි. ඒ එළියේදී නොපෙනෙන දෙය යි. එය කිසි තැනක සොයාගත හැකි නොවේ. අඳුරේදී ඔබට ඕනෑම දෙයක් කළ හැකි වේ රහසේම... නිරුවත් ආත්මයන් පිරිමදිමින්, නමුත් හිරු උදාවන විට, නිසොල්මනේ ඇති ලෝකය එළියකරමින් ඉතිරි නොකරමින් නිහැඬියාව තවත්, හිමිදිරිය උදාවේ..."

සිනී කවින්දි - උපුටා ගැනීම - මුහුණු පොතින්


RECOMMEND POSTS

RELATED POSTS