මහාචාර්ය අබේරත්නගේ කොවිඩ් මෘදුකාංගය



ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නුවර කේන්ද්‍රකොටගත් ‘රෙස් ඇප් හෙල්ත් ලිමිටඩ්’ ඩිජිටල් සමාගම, ස්මාට් ජංගම දුරකතන යෙදුමක් (ඇප්) නිර්මාණය කර ඇත. යම් පුද්ගලයකුගේ කහින ආකාරයට කන් දීමෙන් පසු, එම පුද්ගලයාට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතිද? නැතිනම් එම පුද්ගලයා වෙනත් ආකාරයක ශ්වසන රෝගී තත්ත්වයකින් පෙළෙනවාද? සෙවීම ස්මාට් ජංගම දුරකතන යෙදුම (ඇප්) හරහා දැනගත හැකිය.

‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීම සහ ආසාදනය වැළැක්වීම සඳහා ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවූ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම මෙම ස්මාට් ජංගම දුරකතන යෙදුම (ඇප්)  ගැන උනන්දුවක් දැක්වූවා පමණක් නොව, ඔවුන් එම යෙදුම (ඇප්) එය නිපදවූ පර්යේෂණ කණ්ඩායමෙන් මිලදී ගැනීමට යුහුසුළු විය. ඒ, ඇමෙරිකන් ඩොලර් මිලියන 179 ක මුදලකටය. ‘රෙස් ඇප් හෙල්ත් ලිමිටඩ්’ ඩිජිටල් සමාගම වෙනුවෙන්, මෙම ජංගම දුරකතන යෙදුම (ඇප්) නිර්මාණය කර ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ, මහාචාර්ය උදන්ත අබේරත්න සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමය. මහාචාර්ය උදන්ත අබේරත්න ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්වතෙකි.

මෙම ජංගම දුරකතන යෙදුමට කළ හැක්කේ කැස්ස අනුව, ‘කොවිඩ් 19’ ආසාදිතයන් හෝ වෙනත් ශ්වසන රෝග ඇති ආසාදිතයන් හෝ හඳුනා ගැනීම පමණක් නොවෙයි. යම් අයකුට නාසයෙන් සොටු දියර ගැලීම, උණ ආදී රෝග ලක්ෂණ ඇති නම්, එම රෝග ලක්ෂණ විශ්ලේෂණය කරමින් රෝග විනිශ්චයක් ලබා දීමට ද මෙම ජංගම දුරකතන යෙදුම සමත්ය. ශ්වසන රෝග පමණක් නොව, ඇදුම සහ නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙන්නේ නම් ඒ බව හඳුනා ගැනීමට ද මෙම ජංගම දුරකතන යෙදුම සමත් බව පැවැසෙයි.

‘ෆයිසර්’ සමාගම ලොව අංක එකේ ඖෂධ නිෂ්පාදන සමාගමක් ලෙස නමක් දිනාගෙන ඇත. ඔවුන්, ‘රෙස් ඇප් හෙල්ත් ලෙමිටඩ්’ ඩිජිටල් සමාගම මෙම ජංගම දුරකතන යෙදුම ගැන උනන්දුවක් දක්වන්නට වූයේ, මෙම වසර ආරම්භයේ දී, එම යෙදුම නිර්මාණය කිරීමට මහාචාර්ය උදන්ත අබේරත්න සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම අත ගැසූ අවස්ථාවේ සිටය. ‘කොවිඩ් 19’ ආසාදිතයන් පහසුවෙන් සහ ඉක්මනින් හඳුනා ගැනීමේ ක්‍රමයක් ලෙස මෙම ජංගම දුරකතන යෙදුම ‘ෆයිසර්’ සමාගමේ අවධානයට ලක් විය.

අවසන් වරට කළ අධ්‍යයනයන්ගෙන් තහවුරු වූයේ මෙම ජංගම දුරකතන යෙදුම හරහා සියයට 92 ක නිවැරදිභාවයකින් ‘කොවිඩ් 19’ රෝග ලක්ෂණ පෙන්වන වයිරස ආසාදිතයන් හඳුනා ගැනීම කළ හැකි බවය. කෙසේ නමුත් ඖෂධ නියාමන බලධාරීන්ගේ අවසර මෙම ජංගම දුරකතන යෙදුමට ලබා ගැනීමට නම් සායනික වශයෙන් එහි සාර්ථකත්වය තහවුරු කළ යුතුය. එසේ වුවත්, ජංගම දුරකතන යෙදුම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණයෙන් අවසන් කළ බව ‘ෆයිසර්’ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. මෙම ජංගම දුරකතන යෙදුම හරහා ‘ෆයිසර්’ සමාගමට ඔවුන්ගේ ඩිජිටල් සෞඛ්‍ය පහසුකම් සේවා වැඩි දියුණු කිරීමට අවස්ථාවක් උදා වනු ඇත.

මහාචාර්ය අබේරත්න මහතා පෙන්වා දෙන ආකාරයට, ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ජංගම දුරකතන යෙදුම නිර්මාණය කිරීමට ස්මාර්ට් ෆෝන් තාක්ෂණය යොදාගෙන ඇත්තේ, වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ඔවුන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් බවය. වෛද්‍යවරයකු වෙද නලාව තබා රෝගියකුට රෝග විනිශ්චයක් ලබා දෙන ආකාරයට, ස්මාර්ට් ෆෝන් යෙදුම ක්‍රියාත්මක වන බව මහාචාර්යවරයා පැහැදිලි කර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් හා ජපානයේ තොකුෂිමා විශ්ව විද්‍යාලයෙන් මූලික වෛද්‍ය ඉංජිනේරු උපාධි ලබා ගත් ආචාර්ය අබේරත්න, ජෛව වෛද්‍ය ඉංජිනේරු විෂයය සඳහා ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩ්‍රෙක්සෙල් විශ්ව විද්‍යාලයෙනි. ඔහු පශ්චාත් උපාධි පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයෙන්ද, ළමා නිද්‍රා විද්‍යා වේදය පිළිබඳ විශේෂ උපාධියක් බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයෙන් ද ලබා ගෙන ඇත. ඇමරිකාවේ විදුලි හා විද්යුත් ඉංජිනේරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඔහු නිද්‍රා වෛද්‍යවේදය පිළිබඳ ඇමරිකන් ඇකඩමියේ පූර්ණ සාමාජිකයෙකි.

ආචාර්ය අබේරත්න වෘත්තීය පර්යේෂණ කටයුතු ආරම්භ කළේ කෙටි තරංග යොදා ගෙන  කේත ගත කිරීමේ තාක්ෂණය පිළිබඳව අධ්‍යයන පත්‍රිකාවක් ඉදිරිපත් කරමිනි. ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය සඳහා කළ නිබන්ධනය විද්‍යුත් නිකර්පණ රේඛනය යොදා ගනිමින් මොළයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කරන්නට යාන්ත්‍රිකව ඇති හැකියාව පිළිබඳවය.

ඒ සඳහා ඔහුට 1990 ජපානයේ පැවැත්වූ මොළයේ කේතරේඛනය පිළිබඳ විද්‍යාත්මක සමුළුවක දී විශිෂ්ට නිබන්ධනයට හිමි සම්මානය දිනා ගැනීමට හැකි විය. ඒ අනුව ඔහුට 1991 දී ජපානයේ පැවැත් වූ වෛද්‍ය භෞතික විද්‍යා හා ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යා පිළිබඳ ජගත් සමුළුවේ දී යෞවන පර්යේෂකයන්ගේ තරගාවලිය සඳහා එක්වීමට ද අවස්ථාව සලසා දෙනු ලැබීය. ඔහු ආචාර්ය උපාධි නිබන්ධනය සම්පූර්ණ කළේ 1996 දීය. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ දුර්වල සංඥා හඳුනාගත හැකි, අර්බුද නිරීක්ෂණයට අතිධ්වනි ප්‍රතිබිම්බ යොදා ගත හැකි, ඒ ප්‍රතිබිම්බ වෙන් වෙන්ව විශ්ලේෂණය කළ හැකි අඩු සංකීර්ණත්වයකින් යුත් ගණිතමය සංකල්පයකි.      

ඕස්ට්‍රේලියානු පුවත් ඇසුරිනි


RECOMMEND POSTS