පද්ම ශ්‍රී සම්මානලාභීන් අතර ලාංකික කාන්තාවෝ දෙදෙනෙක්



ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ 2020 වසර සඳහා ප්‍රදානය කිරීම ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් සඳුදා (8) සිදුකෙරුණු අතර ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනකු එහිදී එම සම්මානයෙන් පිදුම් ලැබීය.

කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා, නර්තන ශිල්පිනී ආචාර්ය වජිර චිත්‍රසේන සහ සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් ඇයගේ දායකත්වය වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක (මරණින් පසු) යන මහත්මීහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.

2020 වසරේ සම්මානලාභීන් වෙනුවෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවති අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය මෙසේ කල්ගොස් පැවැත්වීමට සිදුව තිබිණි.

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකේය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනයාම උදෙසා විසල් මෙහෙවරක් ඉටුකළ අග්‍රගන්‍ය නර්තන ශිල්පිනියක වන අතර මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ අයෙකි.

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය මේ වන විට 89 හැවිරිදි වියෙහි පසුවන අතර ඇය ලංකා නර්තනයේ ජීවමාන පුරාවෘත්තයක් වශයෙන් හැඳින්වේ.

සාම්ප්‍රදායිකව පිරිමින්ට පමණක් සීමා වූ උඩරට නර්තන කලාව පූර්ණකාලීන වෘත්තීය කරගත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ ද ඇයයි. උඩරට නර්තනය හා සහ ඉන්දියානු ඔඩිසි යන නර්තන කලාවන්ගේ සම්මිශ්‍රණයෙන් යුතු නර්තන කලාවක් බිහි කිරීමට ද ඇය පුරෝගාමී වූවාය.

අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය 1943 වසරේ ඉන්දියාවේදී උපත ලැබූ අතර ඇය ලක්නව් විශ්ව විද්‍යාලයෙන් හින්දි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන 1969 දී නූතන භාෂා අංශයේ ආධුනික කථිකාචාර්යවරියක ලෙස විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට එක්ව තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරිය ලෙස 1976 දී පත්වූ ඇය ශ්‍රී ලංකාවේ හින්දි භාෂාව ඉගැන්වීමේ පුරෝගාමී අයකු ලෙස සැලකේ. 1995 දී කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශය යළි ස්ථාපනය කිරීමට සුවිශාල මෙහෙයක් ඇය අතින් ඉටුවිය. මෙරට විශ්ව විද්‍යාල සහ පාසල් අධ්‍යාපනයට හින්දි භාෂාව සහ සාහිත්‍යය හඳුන්වා දුන්නේ ඇය විසිනි.

ඇය ඉකුත් 2012 වසරේ සැප්තැම්බර් 27 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් එම සම්මානය ලබාගැනීමට ඇගේ දියණිය වන වත්සලා දසනායක ඉෂ්ටවීර මහත්මිය ඔස්ටේ්‍රලියාවේ සිට ඉන්දියාවට පැමිණ සිටි අතර ඇය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් තම මවට හිමි සම්මානය ලබාගත්තාය. ඒ ඉන්දීය උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඉදිරියේය.

පද්ම සම්මානය යනු ජනවාරි 26 වැනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව වලින් එකකි. විෂය ක්ෂේත්‍රවල විශිෂ්ට සේවාවක් ඉටුකළ හෝ ජයග්‍රහණ ලැබූවන් ඇගයීම මෙහිදී සිදුකෙරේ.

මීට පෙර පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ද 2002 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙවර සම්මාන ලැයිස්තුවට පද්ම විභූෂණ සම්මාන 7ක්, පද්ම භූෂණ සම්මාන 10ක්, සහ පද්ම ශ්‍රී සම්මානලාභීන් 102 ක් සහ මරණින් පසු සම්මාන 16 ක් පිරිනමා ඇත.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS