ඩුබායි හි අතරමං වූ ලාංකිකයන්ට පිහිටවන දෙව්දුව



2020 වසර ලැබූ පසුව වූවත් සතුටෙන් සිනාවෙන් පිරුණු සුන්දර ඩුබායි දේශයටත් කොරෝනා මාරයා අත වනන්න ගත්තේ මාර්තු මාසේ නිමා වෙද්දි වගේ ඩුබායි රටටත් ඇඳිරි නීතිය පනවමින් රට වහද්දි, ඒ වන විටත් වීසා නිමාවීමෙන් හෝ වෙනත් විවිධ හේතූන් නිසා ලංකාවට යන්න බලා සිටි සිය දහස් ගණන් දෙනා කරකියා ගන්න දෙයක් නැතිව අසරණ වුනා.

රෝග භිය,මරණ භියට අමතරව රැකියා නැතිකම,ඉන්න තැනක් නැතිකම,මුදල් හිඟය නිසාම එදා වේල කන්න ක්‍රමයක් පවා සොයාගන්න නැතිව ලාංකිකයෝ අසරණ වෙද්දි ඔවුන් සංඛ්‍යාවෙන්ද ඉහල ගියේ විදුලි වේගයෙන්.

දැන් දැන් ප්‍රශ්ණ ඔඩු දුවන බව ව්ටහා ගත්ත විචක්ෂණශීලී දෑසක් මේ දෙස බලා ඉඳලා ’කොරෝනාට එරෙහි මනුෂ්‍යත්වය’ කියලා එකමුතුවක් ලහි ලහියේම පිහිටුවා ගත්තේ යමක් කිරීමේ අරමුණෙන්.

එලෙස එකමුතුවක් පිහිටුවාගෙන අදටත් ඩුබායි අසරණ ලාංකිකයාට පිහිට වෙන ඒ අපේ කතා නායිකාව මාෂා ඩයස්.

‘මාෂම්මා’ කියන ආදරණීය නාමයෙන් ආරක්ෂිත නිවාස වලට වී ගුවන් යානා එනතෙක් බලා සිටි හා අදටත් බලා සිටින  සිය ගණන් ලාංකිකයෝ ඇයගේ නම කියද්දිම ඇයව හඳුනනවා.

එම මනුෂ්‍යත්වයේ සත්කාරයේ යෙදෙන මොහොතක අප ඇය හා දොඩමළු වුනා.

ඔබ කොහොමද මේ අසරණ සරන සද්කාර්යයට සම්බන්ධ වෙන්නේ ?

‘කොරෝනා වැඩිවෙලා රට වහද්දිම මට තේරුනා ඊලඟට එන්නේ ලොකුම ප්‍රශ්ණයක් බව.ඒ වෙලාවේ මම අපේ හිතවත් ශාන්ත,විනිතා දිලීප,ගංගා වගේ කීප දෙනෙක් එක්ක එකතුවෙලා තමයි ‘කොරෝනාට එරෙහි මනුෂ්‍යත්වය‘ කුඩා කණ්ඩායමක් පිහිටුවාගෙන කෑම නැති, ඉන්න තැන් නැති අයට වගේම ගර්භනී අයට උදව් කරන්න ගත්තේ.එහෙම කරන අතරෙම මම කොන්සල් කාර්යාලය වගේම තානාපති කාර්යාලයත් දැනුවත් කලා මුලින්ම.ඩුබායි වල ඇඳිරි නීතිය දාලා දෙවෙනි සතිය වෙද්දි අවතැන් වුනු අය, කෑම නැති අය එන්න එන්නම වැඩි වුනා.තුන්වෙනි සතියෙදි කොන්සල් ජෙනරාල්තුමා කතා කරලම කිව්වා මේ මේ ස්ථාන වලට අවදානය යොමු කරන්න කියලා.

ඔබලා කොහොමද මුලින් මේ ආධාර ලබා දෙන්න කටයුතු කළේ?

අපේ වට්සැප් ගෲප් එකෙයි ෆේස්බුක් එකෙයි විස්තර දැම්මම දන්න හිතවත් අය අපිට භාණ්ඩ ලබා දුන්නා.ඒ වෙද්දි කෝවිඞ් -19 කියලා තව සංවිධානයක් තිබ්බා. ඒ අය වගේම සම්පත් කුමාරසිංහ  සොයුරා අපට උදව් කලා.ඒ වෙද්දි තව ගොඩක් අය අපේ කණ්ඩායමය්ට එකතු වුනා.පළමුවෙන්ම ගුවන් යානය පැමිනෙද්දි අපිට ගොඩක් ගර්භණී අය විසිට් ආපු අය වගේම රෝගීනුත් සිටියා.ඒ පළවෙනි යානයෙන් අපේ අය 8 දෙනෙක් විතර යවන්න අපි කැපවුනා.ඇත්තටම ගොඩක්ම ගැටලු වලට මුහුණ පාලා තිබුනේ විසිට් වීසා වලින් ආපු අය. කාලය ඉවර වෙද්දි එයාලට යාමට නොහැකියාව හා මුදල් නැතිකම නිසාම ඒ අය විශාල ගැටලු වලට මුහුණ දීලා සිටිද්දි අපට සිදු වුනා ඔවුන්ට නවාතැන් සොයාදීමට.

පළමුවෙනි ගුවන් යානේ ගැබිනි අය කී දෙනෙක් වගේ ගියාද?

‘මුල් යානේ මව්වරු 35ක් ගියා.එයින් පවුල් 3ක් විවිධ හේතු මත යවාගන්න නොහැකි වුනා.එසේ ඉතිරි වූ අයත් මව්වරුනුත් ඉන් පසුව එකතු වූ මව්වරු ත් වෙනුවෙන් මම වෙනම ගෲප් එකක් හදා ගෙන එයාලට උවමනා බේත් ඒත් කෑම බීම සියල්ල ලබා දීමේ වැඩ පිළිවෙලක් අපි දියත් කලා.ඒකෙදි මට ‘ඩෙනිම් මල්ලි‘ කියන සොයුරා උදව් කලා.මේ කාලය වන විට මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුවිශාලම පිහිට වන ’සහන’ සංවිධානයත් ආධාර බෙදාහැරීම ආරම්භ කරලා තිබුනේ. ඔවුන්ටත් ඔරොත්තු නොදෙන තරමට විවිධ විවිධ තැන්වල පිරිස් වැඩිවෙද්දි අපි ඒ අයට උදව් උපකාර කරන්න යොමු වුනා.ගර්භණී මව්වරුන්ට අපි මුල් කාලෙදි පිසූ ආහාර සිකුරාදාට පමණක් ලබා දුන්නත්, අනතුරුව සතියට දින 3ක් ඔවුන්ට පිසූ ආහාර දුන්නා.අපි මේ කටයුතු කරද්දි දනට පිනට දීමට කැමති බොහෝ පිරිස් අප එක්ක එකතු වුනා.සමහර අය ගුවන් යානයක් එනතුරු මාසය දෙක වගේ දීර්ඝ කාලයක් පවුල් කීපයකට ආහාර ලබා දුන්නා.

ඔබලා මේ ආහාර බෙදා හැරියේ කොහොමද?

මේවා ඩිලිවරි කරන්න මුලින් උදව් කලේ දිලූ හා දිලීප සොයුරන්. දිලීප මල්ලිට ඔහුගේම ආයතනයක් තිබුනා.එම ආයතනයේ වාහන පවා මේ වැඩවලට ඔහු ලබා දුන්නා. විශේෂයෙන්ම කිවයුතුයි ලංකාරාම විහාරයේ සවාමීන් වහන්සේ දානෙට ලැබී ඉතිරි වන සියලු ආහාර දිනකට 20-25කට ලබා දුන්නා.ඒවා බෙදා හැරීම් කලේ දිලූ හා දිලීප.

අවතැන් වූ අයට නිවාස ලබා දීම කලේ කොහොමද?

‘මුලින් අපි නිවාස ලබා දුන්නේ 8-10 වගේ පිරිසකට.ඩුබායි පල්ලියේ රංජන් හා ඇන්ටන් කියන සොයුරන් දෙදෙනා මේ බොහොඑ කටයුතු වලදි අපට උපකාර කලා.ඒ වගෙම නිමේෂ් හා ප්‍රනාන්දු සොයුරන්ද මේ ඩිලිවරි කටයුතු වලට උපරිම උදව් කලා ප්‍රනාන්දු ගැබිණි මව්වරුන්ට අවශ්‍ය බේත් හේත් ප්‍රවාහනයෙදි විශාල වැඩ කොටසක් කරද්දි දිලෘවන් සොයුරා සාජා අල් නාදා වගේම ජෙබල් අලි වගේ දුර බැහැර ප්‍රදේශ වලට පවා කෑම බීම ප්‍රවාහනය කලා.

මේ සා කාර්ය භාරයක් ඔබ පටන් ගත්තේ කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්මද?

’ඔව් මම මේ රටට අවිත් දැන් අවුරුදු 32ක්.මුලින්ම හොලිඬේ ඉන් කියන හෝටලයේ රැකියාවට පැමිණි මම පසු කාලෙදි නිවාස හා කාර්යාල පිරිසිඳු කිරීමේ මගේම ආයතනයක් ආරම්භ කලා.මුල් කාලයේ සියයකට අධික පිරිසක් සේවයේ යෙදවූ අතර දැනටත් 35 දෙනෙකු මා යටතේ සේවය කරනවා.වසර 15ක් පුරා මම ව්‍යාපාරයක් කරපු නිසාම යම් ආර්ථික ස්ථාවර බවක් මට තියනවා.ඒ නිසාම මේ සත්කාරක කටයුතු මම මූලික වෙලා පටන් ගත්තේ මගේ පෞද්ගලික මුදලින්.ඒත් මේ වෙද්දි නම් ගොඩක් දෙනා අප හා එකතු වෙලා.මුලදිම මම දැනන් සිටියා මම මේක පටන් ගත්තාම අප වටා පිරිසක් එකතු වෙන බව.

‘ඔබලාගේ මේ සත්කාරක කටයුතු වලට තානාපති හා කොන්සල් කාර්යාලයේ දායකත්වය කෙසේද?

ඇත්තටම අබුඩාබි තානාපති මල්‍රාජ් මැතිතුමා වගෙම ඩුබායි කොන්සල් ජෙනරාල් නලින්ද මැතිතුමාත් ප්‍රශංසා කලයුතු සහයෝගයක් අප වෙත ලබා දෙනවා.මුලදි අපි ලඟ සිටි නේවාසික සංඛ්‍යාව 7-8ක් වුනත් පහු වෙද්දි 40-57 දක්වා වඩි වෙද්දි අපි කාමර 3ක් මේ අය වෙනුවෙන් ඒ අයට ගත්තෙත් එතුමන්ලාගේ සහයෝගයෙන් තමයි.කොන්සල් ජෙනරාල් තුමා මට විශේෂ සහයක් ලබා දෙනවා මේ මේ කාමර වල සිටින අයව යවන්න.

ගර්භණී මව්වරු සෑම දෙනාම යවන්න නොහැකි වුනා නේද?

‘ඔව්. ගුවන් යානා ප්‍රශ්න වගේම මේ රටේ නීති රීති ප්‍රශ්ණ නිසාත් මව්වරු 7 දෙනෙකුටම මේ රටේදි ම දරුවන් ලැබුනා.එක පවුලක කුඩා දරුවා නැති උනාම අපි ඒ පවුලේ අයව පවා නවාතැන් කෑම බීම සපයලා ලංකාවට මේ වෙද්දි යවලා තියනවා.ඩුබායි ගුවන් තොටුපොළේ සේවය කල ලාංකිකයො 47 දෙනෙකුට එකවරම රැකියාව නැතිවුනා.එයාලා සොඑනාපූර් වල කඳවුරක ඉතාම අගහිඟතා මැද්දේ සිටිද්දි ඒ සෑම දෙනාටම අප මාස 2ක් පමන වියළි ආහර සපයමින් බලාගත්තා.ලංකාරාම විහාරයෙන් පවා ඔවුන්ට විශේෂ ආධාර ලැබුණා.

ඔබට මෙහෙදී උදව් කලේ ලංකාවේ අය පමණ ද?

නෑ. පිටරටවල ගොඩාක් යහපත් මිනිසුන් මට උදව් කලා. එක් මාසයක 10 වෙනිදාවක ගිය ගුවන් යානයේ මගීන් 160ක් යද්දි එයින් ටිකට් 55ක්ම ලබා දුන්නේ විදේශිකයො. දිලීපලා කාමර 3 ක සෙනග රඳවාගෙන සිටිද්දි, ඒ පිරිසටත් විදේශිකයො  වශයෙන් උදව් කලා.

ඔබ පෞද්ගලිකව මේ වෙද්දි කොපමණ වියදමක් මේ සත්කාරක වැඩ වලට යොදවලාද?

ඩිරාම් තිස්දාහකටත් එහා.ආරම්භයේ සිටම කෑම/ටිකට්/වියලි ආහාර/ලදරු කිරිපිටි අබුඩාබි පිරිස් වලට ටිකට්/කෑමබීම යනාදී  ලෙස මම වැය කලා ඒත් ඒක මට ලොකු සතුටක්.යන අයට ටිකට් 23ක් ලබා දෙන්න මම දායක වෙලා තියනවා ආරම්භයේ සිට අද වෙද්දි.

ඔබේ මේ සමාජ සේවා වල අමතක නොවන දෙය කුමක්ද?

මේ රටේදි පසුගිය ජූලි 5 වෙනිදා ලාංකික කාන්තාවක් වස පානය කොට මිය ගියා. කොරෝනා නිසා දේහය ලංකාවට යවන්න නොහැකි තත්වයක් යටතේ ඒ දේහය භාරගන්න කාන්තාවක් ලෙස ඉදිරිපත් වෙන්න උනේ මට. කලු බෑග් එකක දාලා තිබ්බ දේහය මම භාර අරන්, නාවලා අන්දලා මේකප් කරලා සියලු වතාවත් කලේ මම. අවසානයේ ඇයගේ සැමියා හා පුතා සමග ජෙබල් අලි වල ත්යන හින්දු අයට වෙ වුනු ආදාහනාගාරෙට දේහය රැගෙන ගිහින් ආදාහනයට සහභාගි උනෙත් මම විතරයි.ඒක මේ කාලයේ අමතක නොවෙනම සිද්ධියක්

සමස්ථ උපකාරක ක්‍රියාවලියේ ඔබට අත්වැලක් වුනේ කවුද?

තානාපතිතුමන් කොන්සල් ජෙනරාල් තුමන් හැරුනම ගෝලීය ශ්‍රී ලාංකික එක්ස් සංසදයේ යසස් ධර්මදාස හා සමන්ත ලක්ප්‍රිය මහත්වරු මට යෝධ හයියක්. යෝධ ශක්තියක්. මම පටන් ගත් ආරම්භයේ සිට අද තෙක්ම ඔවුන් මට නොවෙනස් සවියක්.ඔවුන් මේ වෙද්දිත් කොරෝනා හැදුනු ලාංකිකයන් සොයා යමින් ‘හෙළ සුවය ආයුර්වේද බේත් සපයමින් දිවා රෑ වෙහෙසෙන මෙහෙයුමක යෙදිලා ඉන්නේ.

ඇත්තටම එදා සිට අදවන තෙක්ම අපි පැය 24 පුරා ලාංකික කොරෝනා ලෙඩුන් සුව කරන්න කිලෝ මීටර් ගණන් දුව ඇවිදිනවා කීවොත් නිවැරදියි.

ඔබලා ලබා දෙන හෙල ආයුර්වේද බෙහෙත් වල ප්‍රථිඵල තියනවාද?

එය ඉතාම සාර්ථකයි. එයින් සුවය ලැබූ රෝගීන් විශාල ප්‍රමාණයක් සිටිනවා.අප එනිසාම ලබන ආත්ම තෘප්තිය විශාලයි.

රජය පාර්ශ්වයෙන් ඩුබායි වල අසරන වූ අවතැන් වූ ජනතාව වෙනුවෙන් කුමන කාර්යභාරයක්ද සිදුවුනේ?

‘කියන්න කණගාටුයි. අප බලාපොරොත්තු වූ කිසිවක් සිදු වුනේ නෑ.’

‘තව දුරටත් පැහැදිලි කළොත්?’

ඇත්තටම ගෝඨාභය මහතා දිනවන්න ඩුබායි රටෙන් සිය දහස් ගණන් මිනිසුන් තම වියදමින් මව් රට ගියා. එහෙත් අද ඔවුන් මේ රටේ ආහාර ටිකක් නැතිව පාරට වැටිලා ගස් යට පාක් වල අනන්ත දුක් විඳිද්දි, රජයෙන් ඔවුන් ලද දෙයක් නෑ. විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අබ මල් රොනක දෙයක් මේ මිනිසුන් වෙනුවෙන් කලේ නෑ. විදේශ අමාත්‍යංශයෙන් කිසිවක් වුනේ නෑ.මම විදේශ සේවා නියුක්ති කාර්යංශේ සභාපති දෙපලට, විදේශ ඇමති තුමාට, එතුමාගේ ලේකම්ට කතා කලා උදව් ඉල්ලලා.වොයිස් මැසේජ් දුන්නා උදව් ඉල්ලලා.ලැබුනේ නෑ.තානාපතිතුමාට, කොන්සල් ජෙනරාල් තුමාට එදා සිට අද දක්වාත් සවියක් වුනේ සහන සංවිධානය හා අපි වගේ අය.මේ වනතුරුත් අපට ලංකා රජයෙන් රුපියලක ආධාරයක් ලැබිලා නෑ. තානාපති කොන්සල් ජෙනරාල් තුමන් ලා ඔවුන්ගේ පුද්ගලික හිතවත්කම් උපයෝගී අරගෙන මේ අසරණ අය සඳහා ගුවන් ටිකට් පත් සොයලා දුන්නා.ඒත් ඒ සියල්ල පුද්ගලික මට්ටමේ දේවල්.මොකද කවුරු කොහොම ගියත් ටිකට් එකේ මුදල් සොයාගත යුතුම වෙන නිසා.දැනටත් පොරොත්තු ලේඛණයේ ඉතාම අසරණ තත්වයේ ඉන්න අය 700ක් පමන ඉන්නවා.

ඔබ මේ රජයෙන් ඉල්ලන්නේ මොනවාද?

‘මේ රටේ අවතැන් වෙලා අසරණ වූ අය වගේම, වෙනදා තම මව් රටට නිවාඩුවට හා විවිධ අවශ්‍යතා වලට ගිය, අදටත් යන්න බලාපොරොත්තුවෙන් තානාපති/කොන්සල් කාර්යාල වල ලියාපදිංචි වූ දහස් ගණන් ජනතාවක් බලා ඉන්නවා.ඒ අයට යාමට අවශ්‍යතාව නැතිකම නොවෙයි.ඉතාම අසරණ කොටසට මූලිකත්වය දීම නිසයි ඔවුන් නිහඬ.මම කියන්නේ ඒ යන්න ඉන්න අයටත් චාටර් ෆ්ලයිට් නැතිව, ඩිරාම් 4000-5000ක මුදලක් නතිව යන්න ක්‍රමයක් ඉක්මනින් සලස්වන්න. චාටර් ෆ්ලයිට් යන්න කීවට ඒකටත් පුදුම පෝලිමක්.මේ රටට කාගෝ ෆ්ලයිට් එනවා ඒත් ඒවා යන්නේ හිස් අතින්.ඒ යානා වල මිනිසුන් 10-15 කට හෝ යාමට සලසනවා නම් එය කොයි තරම් වටිනවාද. ඇයි එය නොකරන්නේ?

මේ රටේ පදිංචි අය යන්නේ නවතින්න නොවෙයි.ගිහින් එන්න.එයින් අපේ ගුවන් සේවයට ලොකු ලාභයකුත් එකතු වන අතර වසරකට ආසන්න කාලයක් මේ රටේ සිරවී සිටින මේ රටේ පදිංචි ලාංකිකයන්ට විශාල අස්වැසිල්ලක් වෙනවා.අනෙක ඒක ඒ මිනිසුන්ගේ මානුෂික අයිතියක්. මෙහෙදි අපි විදේශිකයො සමග මේ ගැන කතා කරන විට ඔවුන් අපට කියන්නේ ‘ඔබලාගේ රටේ පමණක් තිබෙන තමන්ගේ රටට එන්න නොදෙන මේ අරුම පුදුම බාධාව කුමක්ද‘ කියලා අපිට දෙන්න පිළිතුරු නෑ එවිට. අප ලැජ්ජා වෙනවා එවන් අවස්ථාවල.

මම අහන්නේ මෙපමණයි. අපේ රටට එන්න නොදී මෙතෙක් කාලයක් අපව දුරස් කරගෙන අපට බාධා දමාගෙන ගුවන්තොට වසා තබාගෙන සිටියාට, අපේ රටේ කොරෝනා නැතිද? මරණ නැතිද?

සුරංගි අතුකෝරල
සාජා සිට


RECOMMEND POSTS