ඔටුන්න කැමිලට
ලෝකයේ ජනප්‍රියම රජ පවුල බ්‍රිතාන්‍ය රජ පවුලය. බ්‍රිතාන්‍ය රජ පවුල නිරන්තරයෙන් පුවත් මවයි. පසුගිය දිනවල දෙවැනි එලිසබත් මහ රැජින, වැඩිමල් පුතු චාල්ස් කුමරු සහ චාල්ස් කුමරුන්ගේ බිරිඳ කැමිලා පාකර් ගැන වැඩි වැඩියෙන් පුවත් ඇසෙන්න විය.
95 හැවිරිදි දෙවන එලිසැබත් මවු රැජින, මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයට පත්ව, පසුගිය පෙබරවාරි 6 වැනි දාට වසර 70 ක් සපිරුණි. වර්තමාන ලෝකයේ මෙතරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජකු හෝ රැජිනක හෝ ඇත්තේ නැත. ඒ අනුව, දෙවන එලිසබත් රැජින වසර 70 ක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වෙයි. මහ රැජින සිහසුනට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා, 6 වැනි ජෝර්ජ් රජු අභාවයෙන් පසුවය. එතැන්පටන්, එතුමිය ඒ තනතුර දැනට වසර 70 ක් දරා තිබේ. මේ අනුව 'ප්ලැටිනම් ජුබිලියක්' සමරන පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට ඇය පත් වූවාය.
වත්මන් ලෝකයේ දීර්ඝ කාලයක් සිහසුන දරා සිටියේ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජතුමාය. එතුමාගේ අභාවප්‍රාප්ත වීමන් අනතුරුව, දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව බවට පත්වී සිටී. එතුමිය තවමත් රජකම අත්හැර නැති නිසා ඇගේ මේ ලෝක වාර්තාව තවමත් අවසාන නැති බව ද කිව යුතුය. දෙවන එලිසබත් මහ රැජිනගේ 70 වැනි ජුබිලිය, ඇගේ කිරුළ පිළිගන්නා රටවල මහ ඉහළින් සැමරුවේය. එක්සත් රාජධානියේ කිරුළ දරන එතුමිය, ඒ සමගම පොදු රාජ්‍ය මණ්ඩලයේ තවත් රාජ්‍ය 14කට නායත්වය දෙයි.
එලිසබත් මහ රැජිනගෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන්නේ චාල්ස් කුමරුන්ය. තමාගෙන් පසු චාල්ස් කුමරුට කිරුළ හිමිවෙද්දී, එම රාජකීය උත්සවයේ දී, චාල්ස් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, කෝන්වෝල් ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන් කැමිලා පාකර්, 'රැජින' යන නාමයෙන් හැඳින්විය යුතු බවත්, ඇයට තමගේ ඔටුන්න ලබා දීමට තමන් කැමැති බවත් මහ රැජින තීරණය කළ බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
එලිසබත් මවු රැජිනගේ එම තීරණයට තමන් හිස නමන බවත්, එය තමන්ට මහත් ගෞරවයක් බවත් 74 හැවිරිදි කැමිලා පැවැසුවාය. කැමිලා පාකර් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් අතරේ විවිධ අදහස් ඇත. සමහරු ඇයට කැමැතිය. සමහරු අකමැතිය. චාල්ස් - ඩයනා විවාහය දෙදරා ගියේ කැමිලා නිසා බවට චෝදනා එල්ල වෙයි. එහි ද වරදක් නැත. තම වැඩිමල් පුතු තමන්ගෙන් පසු බ්‍රිතාන්‍ය රජ කිරුළ දරද්දී, 'රැජින' යන ගෞරව නාමයෙන් කැමිලා හැඳින්විය යුතු බවත්, තමන්ට මෙන් ඇයට ද ගෞරවය සහ අවශ්‍ය සහාය ලබා දීම කළ යුතු බවත් 'ප්ලැටිනම් ජුබිලිය' සමරමින් මහ රැජින පැහැදිලි කළාය.
චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කැමිලා පාකර් ආදිපාදවරියට, තම මිල කළ නොහැකි ඔටුන්න ලබා දිමට මහ රැජින පැවැසීමත් සමඟ එම ඔටුන්න ගැන කාගේ කාගේත් අවදානය යොමු විය. මේ ඔටුන්නට මිල කළ නොහැකි කොහිනූර් දියමන්තියක් ඔබ්බවා ඇත. ඊට අමතරව, දියමන්ති 2,868, නිල් මැණික් 17, මරකත මැණික් 11, මුතු ඇට 269 සහ තවත් මැණික් ගල් 4 කින් ඔටුන්න අලංකාර කර තිබේ. මෙම ඔටුන්න, 1937 හයවෙනි ජෝර්ජ් රජතුමාගේ ඔටුණු පැළඳවීමේ උත්සවයට විශේෂයෙන්ම නිර්මාණය කළ එකකි.
කැමිලා පාකර් 'රැජින' යන ගෞරව නාමයෙන් හැඳින්විය යුතු යැයි එලිසබත් මහ රැජින නිවේදනය කර දින දෙකක් ගත වෙද්දී, චාල්ස් කුමරු 'කොවිඩ් 19' ආසාදිතයකු යැයි තහවුරු විය. ඒ සමඟ එලිසබත් මවු රැජින සම්බන්ධයෙන් ද බියක් හට ගැණුනි. චාල්ස් කුමරු, කැමිලා පාකර් සහ මහ රැජින එකිනෙකා මුණ ගැසී තිබුණේ 'ප්ලැටිනම් ජුබිලිය' වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයේදීය. එලිසබත් මහ රැජින, පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් පමණක් නොව, බූස්ටර් එන්නත ද ලබා ගෙන තිබේ. බකිංහැම් මාලිගයට අනුව රැජින පළමු ‘කොවිඩ් 19’ එන්නත ලබා ගෙන ඇත්තේ 2021 ජනවාරියේය. එලිසබත් මහ රැජින දෙවැනි එන්නත ලබාගෙන ඇත්තේ මාර්තු මාසයේය. ඇය බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය.
73 හැවිරිදි චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බවට පත් වූයේ දෙවැනි වරටය. කුමරුන් ආසාදිතයකු බවත්, වෛද්‍ය උපදෙස් අනුව හුදෙකලා වී සිටින බවත් නිවේදනය කළේ ක්ලැරන්ස් හවුස් මන්දිරයයි. ‘වේල්සයේ කුමරු’ යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන චාල්ස් කුමරුන්ගේ නිවහන වන්නේ ‘ක්ලැරන්ස් හවුස්’ මන්දිරයයි. චාල්ස් කුමරු පළමු වරට ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැණුනේ පසුගිය 2020 මාර්තු මාසයේදීය. එම අවස්ථාවේදී ද කුමරු ස්වයං නිරෝධායනයට ලක්වුණු අතර, රෝහල්ගතවීමකින් තොරව වයිරසය පරාජය කළේය. දෙවැනි වරට ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනෙද්දී චාල්ස් කුමරු ද පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව බූස්ටර් එන්නත ද ලබා ගෙන ඇතැයි ‘ක්ලැරන්ස් හවුස්’ මන්දිරය නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව සඳහන් විය. කැමිලා ආදිපාදවරිය 'කොවිඩ් 19' ආසාදියකු ලෙස හඳුනා ගැණුන් පළමු අවස්ථාව මෙයයි. කැමිලා ද පළමු සහ දෙවැනි එන්නත් මෙන්ම බූස්ටර් එන්නත ද ලබා ගෙන තිබේ.
ඩේලිමේල් ඇසුරිනි