සිරියානු ජනාධිපති එමිරේට්ස් රාජ්‍යයේ



සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක නියැලෙයි. පසුගිය පෙබරවාරි පළමු වැනිදා තුර්කිය සහ සිරියාව කැලැඹූ මහා භූමි කම්පාවෙන් පසු සිරියානු ජනාධිපතිවරයා එමිරේට්ස් රාජ්‍යයට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.

අබුඩාබි පැමිණි සිරියානු ජනාධිපති අල් අසාද් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යම් කටයුතු කළේය. සිරියානු ජනාධිපති අසාද්ගේ බිරිඳ අස්මා ද මෙම සංචාරයට එක්වී සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

අබුඩාබි ජනාධිපති මන්දිරයේ දී අසාද් සහ ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යම් අතරේ සාකච්ඡා පැවැත්විණි. එමිරේට්ස් රාජ්‍යය සහ සිරියාව අතරේ යහපත් සබඳතා වර්ධනය කර ගැනීම ජනාපධිති අසාද්ගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

සිවිල් ගැටුම්වලින් හෙම්බත් වූ සිරියාවේ ස්ථාවරත්වයක් ඇති කිරීමට එමිරේට්ස් රාජ්‍යයේ සහාය නොඅඩුව හිමිවන බව ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යම් ප්‍රතිඥා දී ඇත.

මේ අතර පසුගිය පෙබරවාරි පළමු වැනිදා භූමි කම්පාවෙන් විපතට පත්වුණු සිරියානු සිවිල් වැසියන්ට තව තවත් අවශ්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2011 වසරේදීය. ඒ, දිගු කාලයක් තිස්සේ බලයේ සිටින අසාද්ට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමිනි. සිරියානු විපක්ෂ කගණ්ඩායම්වලට ඇමරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල සහාය හිමිවිය. ඉරානයේත් රුසියාවේත් සහාය සිරියානු ජනපතිට හිමිවිය.

ඇමරිකාව සහ ප්‍රංශය දුන් අවි ආයුධවලින් අයි.එස්. හෙවත් ‘ඉස්ලාමින් ස්ටේට්’ ත්‍රස්තවාදීන්ගේ නැගී සිටීමටත් සමඟ ලොව සැමගේ පොදු සතුරා වූයේ අයි.එස්. ත්‍රස්තවාදීන්ය.

අයි.එස්. ත්‍රස්තයන් පරාජය කිරීමත් සමඟ සිරියානු සිවිල් යුද්ධය අඩපණ විය. අද සිරියාව දෙකඩ වී ඇත. ඒ, සිරියානු රජයේ පාලනයට නතු ප්‍රදේශ සහ සිරියානු විපක්ෂයේ පාලනයට නතු ප්‍රදේශ ආදී වශයෙනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS