ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ



ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඇමෙරිකාවේ පූර්ණ සහාය යුදෙව් ඊශ්‍රායලයට ලැබෙන බව අවධාරණය කරමින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණියේය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද යුදෙව් ජාතිකයෙකි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි. විශේෂ ගුවන් යානයකින් විශේෂ ආරක්ෂාවක් ද යටතේ ටෙල් අවීව් ගුවන්තොටුපොළට පැමිණි විගස, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්විණි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරද්දී හැකි තරම් පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කරගත යුතු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය.

හමුවෙන් පසු අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් මාධ්‍ය හමුවකට එක් වූහ. ඇමෙරිකාව සැමවිටම ඊශ්‍රායලය සමඟ සිටින බව යළි යළිත් තහවුරු කරමින් බ්ලින්කන් සහ තමා අතරේ හමුවක් සිදුවුණු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පසුව මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

තමන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලෙස රාජකාරී මට්ටමින් ඊශ්‍රායලයට පැමිණි නමුත් යුදෙව්වෙකු වන තමන්ගේ හදවත ඇත්තේ ඊශ්‍රායල යුදෙව්වන් අතර බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS