ට්‍රම්ප් යළි දිවුරුම් දෙයි
2017 වසරේ දී ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන් කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
එදා එනම් 2017 වසරේදී, ඇමෙරිකාවේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් පරිබාහිරව, දේශපාලනයට අවතීර්ණ වූ චරිතයක් ලෙස ට්‍රම්ප් පිළිගැණුනු අතර යළි බලයට පත්වූයේ ඇමෙරිකන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ සහ ඇමෙරිකන් සමාජය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙමිනි.
සාමාන්‍යයෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ, වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරියේ එළිමහනේය. කෙසේ වෙතත් අධික සීතල කාලගුණය හේතුවෙන්, ට්‍රම්ප්ගේ දිවුරුම් දීම කැපිටල් ගොඩනැගිල්ල තුළ රොටුන්ඩා ශාලාවේ දී සිදුවිය. ට්‍රම්ප් දිවුරුම් දුන්නේ අගවිනිවිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය. ට්‍රම්ප් බිරිඳ මෙලානියා, පුතු බැරන් ද ට්‍රම්ප්ගේ සෙසු දරු දැරියෝ ද එම අවස්ථාවට සහභාගී වූහ. ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ජේඩී වැන්ස් දිවුරුම් දුන්නේ ඔහුගේ බිරිද සහ දරුවන් සමඟය.
ට්‍රම්ප් ඇමෙරිකාවේ ධන කුවේරයන් ළං කරගෙන හිඳින්නෙකි. ඒ අතර ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්, මාර්ක් සකර් බර්ග්, ජෙෆ් බෙසෝස් ද වෙති. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් වැය කළේය. ට්‍රම්ප්ගේ නව රජයට සම්බන්ධ වී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට මෙම ධන කුවේරයෝ සූදානමින් සිටිති. මොවුහු සියලු දෙනා ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණ සිටියහ. ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ අවස්ථාවේදී කැපී පෙනෙන රාජ්‍ය නායකයන් කිසිවකු සහභාගී වී සිටියේ නැත. පැමිණ සිටි විදෙස් රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් අතරින් කැපී පෙනුනේ චීන ජනාධිපති ෂී ජින්පින් වෙනුවට චීන උප ජනාධිපති හැන් ෂෙන්ග්, ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, සහ ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් බව පැවසෙයි.
දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් ජාතිය ඇමතුවේය. ගතවුණු සිවු වසරක කාලයේ, ඇමෙරිකානුවන් දැඩි ලෙස අසාධාරණකම්වලට මුහුණ දුන් බවත්, බයිඩන් පරිපාලනය ඊට වඩ කිවයුතු බවත් ට්‍රම්ප් ජාතිය අමතමින් පැවැසීය. ඇමෙරිකාව මුළුමනින්ම ප්‍රතිෂ්ඨාපනය කර, ඇමෙරිකාවේ විප්ලවයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් ජාතිය අමතමින් වැඩි දුරටත් පැහැදිලි කළේය. ට්‍රම්ප්ගේ අවධානය යොමු වන කරුණු කාරණා අතරේ ප්‍රධාන කරුණක් වන්නේ සංක්‍රමණික ගැටලුවය.
ඇමෙරිකාවේ දකුණු දිග දේශසීමාවේ, මෙක්සිකෝවේ සිට, ඇමෙරිකාවට සිදු කෙරෙන, නීති විරෝධී සංක්‍රමණ සියල්ල නැවැත්වීමට පියවර ගන්නා බව ට්‍රම්ප් අවධාරණය කළේය. ඊට අමතරව, ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ පතා පැමිණෙන සරණාගතයන් මෙක්සිකෝවේ රඳවා තැබීමට ද පියවර ගන්නා බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය. නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට, පුද්ගලයන් මුදා හැරීම නැවැත්වීම පියවර ගන්නා බවත්, ඇමෙරිකාව තුළ සිටින මිලියන ගණනක් වන සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් ආපසු ඔවුන්ගේ රටවලට පිටමන් කරන බවත් ට්‍රම්ප් අවධාරණය කළේය. අසල්වැසි මෙක්සිකෝවේ සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්, විදේශගත ත්‍රස්ත ක්‍රියාකාරකම් බවටත්, එම ජාවාරම්වලට සම්බන්ධ කණ්ඩායම් ත්‍රස්ත කල්ලි ලෙසත් නම් කිරීමට පියවර ගන්නා බව ද ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
බලශක්තිය වෙනුවෙන් හැකි තරම් කැණීම් කළ යුතු බව ද ට්‍රම්ප් පැවැසීය. ඒ, පරිසරවේදීන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වෙමිනි. ඇමෙරිකාව පිහිටා ඇත්තේ විශාල ස්වාභාවික සම්පත් මත බවත්, ගෝලීය බලවතකු බවට පත්වීම සඳහා බලශක්තිය මත ඇමෙරිකාව තව දුරටත් යැපිය යුතු බවත් ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කළේය. එහෙයින් ජාතික බලශක්ති හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද තමන් පියවර ගන්නා බව හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේය.
ආනයනික බදු සහ බදු සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බවට ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රතිඥා දුන්නේය. ඇමෙරිකාව යළිත් වරක් නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන ජාතියක් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය බවත් ට්‍රම්ප් පැහැදිලි කළේය. එසේ ඉදිරියට යෑමට නම්, ඇමෙරිකාවේ ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති උඩු යටිකුරු කිරීමට සිදුවන බව ට්‍රම්ප් පැවැසීය. වෙනත් රටවල් පොහොසත් කිරීමට ඇමෙරිකානු පුරවැසියන්ට බදු පැනැවීම වහා නතර කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මින් ඉදිරියට ඇමෙරිකාවේ සිටින්නේ ස්ත්‍රීන් සහ පුරුෂයන් යන කොට්ඨාස දෙක පමණක් බවත් ට්‍රම්ප් පැවැසීය. මෙය බොහෝ දෙනාගේ අවධානයට හේතුවක් වූ කරුණකි. ඇමෙරිකන් හමුදාව ලෝකයේ බලගතු ශ්‍රේෂ්ඨතම හමුදාව බවට පත් කිරීමට පියවර ගන්නා බවත්, ඇමෙරිකන් හමුදාව ලෝක සාමය සුරැකීමට සැමවිටම මැදිහත් විය යුතු බවත් ට්‍රම්ප් පැවැසීය.
ට්‍රම්ප් පසුගිය දිනවල මෙක්සිකෝ බොක්ක සහ පැනමා ඇළ පමණක් නොව, ග්‍රීන්ලන්තය සහ කැනඩාව සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් පළමු වරට ජාතිය අමතද්දී ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ගැන හෝ කැනඩාව ගැන හෝ කිසිවක් පැවැසුවේ නැත. එහෙත්, ට්‍රම්ප් මෙක්සිකෝ බොක්ක සහ පැනමා ඇළ සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. පැනමාව හරහා පැනමා ඇළ ඉදිකෙරුණේ ඇමෙරිකාවේ සාහය ඇතිවය. කෙසේ නමුත් 1977 දී ඇතිකරගත් ගිවිසුමකට අනුව, පසුකාලීනව,
ඇමෙරිකාව පැනමා ඇළේ අයිතිය පැනමාවට දුන්නේය. අද වනවිට පැනමා ඇළ හරහා යන ඇමෙරිකන් නැව්වලින් වැඩියෙන් මුදල් ලබා ගන්නා බවට ට්‍රම්ප් පැනමා රජයට චෝදනා නගයි. ඒ නිසා පැනමා ඇලේ අයිතිය යළි ඇමෙරිකාවට ලබා ගැනීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පවසයි. පැනමා රජය චීනයේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවටත් ට්‍රම්ප් චෝදනා කරයි. මොක්සිකෝ බොක්ක නිල වශයෙන් ඇමෙරිකා බොක්ක යන නමින් නම් කිරීමට පියවර ගන්නා බව ද ට්‍රම්ප් පවසා ඇත.
ඇමෙරිකාවේ 25 වැනි ජනාධිපති වන විලියම් මැකින්ලේගේ නමින් නම් කර තිබුණු උතුරු ඇමෙරිකාවේ උසම කන්ද යළි මැකින්ලේ කන්ද යනුවෙන් නම් කිරීමට තමන් පියවර ගන්නා බව ට්‍රම්ප් පැවැසීය. මැකින්ලේ කන්ද 2009 දී ඩෙනාලි කන්ද යනුවෙන් ද නම් කෙරුණි.
ඒ.එෆ්. ඇසුරිනි