අල් කයිඩාවට අලුත් නායකයෙක්



අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස සායිෆ් අල් අදෙල් පත් කර තිබේ. සායිෆ් අල් අදෙල් ඊජිප්තු හමුදාවේ පවිශේෂ කාර්ය බලකායේ සාමාජිකයකු ලෙස රාජකාරි කළ අයෙකි.

අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පිහිටුවීමට පුරෝගාමියා වූයේ ඔසාමා බින් ලාඩන්ය. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්තවාදීන් මගී ගුවන් යානා යොදා ගනිමින් ඇමෙරිකාවට පහර දුන්නේ බින් ලාඩන්ගේ උපදෙස් මතය.

ඇමෙරිකන් හමුදා සහ බුද්ධි අංශ පාකිස්තානයේ ජීවත් වුණු ඔසාමා බින් ලාඩන් ඝාතනය කළේ 2011 වසරේදීය. ඉන්පසු බින් ලාඩන්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ අයිමාව් අල් සවහීරි, අල් කයිඩා නායකයා බවට පත් විය.

පසුගිය 2022 වසරේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නිවසක සිටිද්දී, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයකින් අල් සවහීරි ඝාතනය කළේය. ඇමෙරිකන් ප්‍රහාරයකින් අල් සවහීරි ඝාතනය වූ බව අල් කයිඩා සංවිධානය කිසිම අවස්ථාවක පිළිගෙන තිබුණේ නැත.

කෙසේ නමුත් අල් කයිඩා නව නායකයා ලෙස සායිෆ් අල් අදෙල් පත් කිරීමෙන් අල් සවහීරි මියගිය බව තහවුරු වී ඇත. සායිෆ් අල් අදෙල් අල් කයිඩා සංවිධානයේ ඉදිරි පෙළ සාමාජිකයකු ලෙස කටයුතු කළ අයෙකි. ඇමෙරිකාව ඔහුගේ හිසට ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදලක් ලබා දෙන බව ද පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS