බූස්ටරය ඇල්ලූ හැටි



ඉලොන් මස්ක් Elon Musk ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ලොව අංක එකේ බිලියනපතියා; එසේත් නැතිනම් ලොව ධනවත්ම පුද්ගලයා ඉලොන් මස්ක්ය. උපතින් දකුණු අප්‍රිකානුවකු වුවත්, 53 හැවිරිදි මස්ක් අද ඇමෙරිකානුවෙකි. ව්‍යාපාරිකයකු පමණක් නොව; නව නිපැයුම්කරුවෙකි. මස්ක්, වඩාත් ජනප්‍රිය ටෙස්ලා Tesla සමාගමේ හිමිකරු සහ ස්පේස් එක්ස් SpaceX සමාගමේ හිමිකරු නිසාය. එක්ස් සමාජ මාධ්‍ය (Twitter ට්විටර්) ජාලයේ හිමිකාරීත්වය ඇත්තේ ද මක්ස් සතුවය. අනාගතයේ අඟහරු ජය ගැනීමෙන් පසු තමන් අඟහරු ලෝකයේ පදිංචියට යෑමට කැමැති බවත්, ආපසු පෘථිවියට පැමිණීමේ අදහසක් නැති බවත් මස්ක් පවසා ඇත. මිනිසා සඳටත්, පසුව අඟහරු හෙවත් රතු ග්‍රහයාටත්, ඉන්පසු ඈත අභ්‍යවකාශය ගවේෂණයටත් යොමු කිරීම ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ ඉලක්කයයි. මේ වනවිට ස්පේස් එක්ස්, ඇමෙරිකා රජයේ, ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා NASA සමඟ එක් වී අභ්‍යවකාශ කටයුතුවල නියැලෙයි.

පසුගිය 14 වැනිදා ස්පේස් එක්ස් SpaceX ලොකු හපන්කමක් කළේය. එය ඉතිහාසගත විය. එදා අලුයම් කාලයේ ස්පේස් එක්ස් SpaceX සමාගම, නාසා ආයතනය සමඟ හවුලේ ස්ටාර්ෂිප් Starship නමැති අධිබලැති රොකට්ටුව උඩු ගුවනට යැවීය. ඒ අත්හදා බැලීමක් ලෙසය. ස්ටාර්ෂිප් Starship රොකට්ටුවත් සමඟ ස්පේස් එක්ස් ඉන්ජිනේරුවන් තවත් අත්හදා බැලීමක් කළේය. පළමු උත්සහයෙන්ම එය සියයට 100 ක් සාර්ථක විය. ස්පේස් එක්ස් කළ හපන්කම සහ ඉතිහාසගත වූ වික්‍රමය එයයි.

ටෙක්සාස් ජනපදයේ දකුණු දෙසින්, ස්පේස් එක්ස් SpaceX සමාගමට අයත් ගගන මධ්‍යස්ථානයක් ඇත. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ රොකට්ටු සහ කැප්සියුල අත්හදා බැලීම් කරන්නේ මෙහිදීය. ස්පේස් එක්ස් ස්ටාර්ෂිප් රොකට්ටුව අත්හදා බැලුවේ පස්වැනි වරටය. පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී, රොකට්ටුවක් ඉහළට විදීමට; එසේත් නැතිනම් තල්ලු කිරීමට බූස්ටරයක් අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් නාසා ආයතනය රොකට්ටු යවද්දී, රොකට්ටුව කිලෝ මීටර් 50 ක් හෝ 60 ක් ඉහළට යද්දී බූස්ටර් දහනය අවසන් වී ගැලවී පහළට වැටෙයි. සැලැසුම් කළ පරිදි මූදට වැටෙන බූස්ටර් නාවික හමුදාව සහ කිමිදුම් කණ්ඩායම්වල සහාය ඇතිව යළි භාවිතයට ගොඩ ගැනීම සිදුවෙයි. මෙය මිල අධික, ශ්‍රමය සහ කාලය වැය වන ක්‍රියාවලියකි.

පසුගිය 14 වැනිදා  ස්පේස් එක්ස් SpaceX ඔවුන්ගේ ස්ටාර්ෂිප් රොකට්ටුව අත්හදා බලමින්, උඩු ගුවනට යැවූ බූස්ටරය සුවිශේෂී එකකි. ඊට ද තෙරපුම් පද්ධතියකින් සහ කුඩා ඇන්ජින්වලින් සමන්විත විය. ඇන්ජින් පණ ගන්වා, බූස්ටරය දල්වා, අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව උඩු ගුවන බලා ගමන් ආරම්භ කළේය. ප්‍රබල බූස්ටරය, ගුරුත්ව බලයෙන් එල්ල වන තෙරපුමට විරුද්ධව, රොකට්ටුව ඉහළට තල්ලු කළේය. කිලෝ මීටර් 65 ක් ඉහළට යද්දී බූස්ටරයේ කාර්යය අවසන් විය. එය රොකට්ටුවෙන් ගැලවී වෙන් විය.

සාමාන්‍යයෙන් සිදුවන්නේ ගැලී වෙන්වන බූස්ටරය හෝ බූස්ටර් කොටස් පහළ මුහුදට පතිත වීමය. එහෙත්, ස්පේස් එක්ස් SpaceX ගගන මධ්‍යස්ථානයට පහළින් මුහුදක් නැති අතර, ස්පේස් එක්ස් ඉන්ජිනේරුවන් නිර්මාණය කළ එම සුවිශේෂී බූස්ටරය, එහි කුඩා ඇන්ජින් පණ ගන්වා ආපසු රොකට්ටුව ගුවන්ගත කළ තැනට (launch pad ලොන්ච්පෑඩ්) ගෙන්වා ගැනීමට හැකිවිය. නිවැරදි ඉලක්කයට, ලොන්ච් පෑඩ් හි ඇති යකඩ ආධාරකයේ අත් වැනි කොකුවලින් බූස්ටරය අල්ලා ගැනීම ඒ අනුව සිදුවිය. රොකට්ටුවක බූස්ටරයක් ආපසු ගෙන්වා ගෙන, එය මේ අයුරින් අල්ලා ගැනීම ස්පේස් එක්ස් ලැබූ ජයග්‍රහණයයි. මෙවැන්නක් මීට පෙර සිදුවී නැත. එමෙන්ම, මෙවැනි ස්පේස් එක්ස් පළමු උත්සහයෙන්ම මෙවැනි වික්‍රමයක් කිරීම ද සුවිශේෂී ජයග්‍රහණයකි. ස්පේස් එක්ස් සමාගම ඉතිහාසගත විය. ඒ, එහි ඉන්ජිනේරුවන්ගේ ඔල්වරසන් හඬ මැදය.

ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ෂිප් රොකට්ටුව ද සුවිශේෂී එකකි. එහි නවතම අත්හදා බැලීම ද සාර්ථක වූ බව පැවැසෙයි. ඉදිරියේ අභ්‍යවකාශ ගමන් බිමන්වලදී මෙම රොකට්ටුව භාවිතයට ගැනීමට ස්පේස් එක්ස් සමාගම සූදානම් වෙයි. දැනටමත් නාසා ආයතනය ගගන මෙහෙයුම් සඳහා භාවිතයට ගන්නේ ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් 9 රොකට්ටුවය. ෆෝල්කන් 9 රොකට්ටුව, ඉතාමත් විශ්වාසවන්ත රොකට්ටුවක් යැයි නාසා ආයතනය කියයි. දිනෙක ස්ටාර්ෂිප් රොකට්ටුව ද එසේ වනු ඇත.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS