ඉන්දියාවේදී කොටු වුණු අයි.එස්.අයි.එස්.



ලැබුණු ඔත්තුවකට අනුව, ගුජරාට ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරින් සහ පොලිසිය ඔවුන් සිවු දෙනා පැමිණෙන තුරු සූදානමින් සිටියහ. කොළඹ සිට චෙන්නායි දක්වාත්, පසුව ගුජරාටයේ අහ්මදාබාද් නුවර සර්දාර් වල්ලභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වාත් පැමිණ, ගුවන්තොටුපොළේ රැඳී සිටි එම සිවු දෙනා අත්අඩංගුයට ගැනුණි. එය බොහොම සූක්ෂමව සිදුවුණු මෙහෙයුමකි. ඒ ගැන දැන සිටියේ ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සාමාජිකයන් කීප දෙනකු පමණි. පසුගිය 20 වැනිදා මෙසේ අත්අඩංගුවට ගැනුනේ, ඉන්දියාවට පැමිණ, අයි.එස්.අයි.එස්. (අයි.එස්.) හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධානයේ නාමයෙන්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට සූදානම් වූ සිවු දෙනෙකි.

ගුජරාට ත්‍රස්ත මර්දන ඒකකය, අත්අඩංගුවට ගත්තේ, 33 හැවිරිදි නුස්රත් අහමඩ් ගානි, 27 හැවිරිදි නෆ්රාන් නවුෆර්, 35 හැවිරිදි ෆාරිස් ෆාරුක් සහ 43 හැවිරිදි රස්ඩීන් අබ්දුල් රහීම් යන සිදු දෙනාය. නුස්රත් අහමඩ් ගානි, මීගමුවේ පදිංචිකරුවකු බවත් 27 හැවිරිදි නෆ්රාන් නවුෆර්, 35 හැවිරිදි ෆාරිස් ෆාරුක් සහ 43 හැවිරිදි රස්ඩීන් අබ්දුල් රහීම් කොළඹ පදිංචිකරුවන් බවත් අනාවරණය විය. අහමඩ් ගානිට වලංගු පකිස්තාන වීසා බලපත්‍රයක් ඇති බව ද පැවැසිණි. ප්‍රශ්න කිරීම්වලදී මොවුන් දන්නේ දෙමළ බස පමණක් බව පොලිසියට වැටහිණි. ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අහ්මදාබාද් නගරයේ නානා චිලෝඩා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුවුණු අතර, පාකිස්තානයේ නිෂ්පාදනය කළ පිස්තෝල සහ උණ්ඩ සොයා ගැනුණි. ඊට අමතරව අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත් ඔවුන්ගේ ධජයක් සහ ඡංගම දුරකතන කීපයක් ද සොයා ගැනුණි. අත්අඩංගුවට ගත් සිවුදෙනා අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව තහවුරු කරන වීඩියෝ දසුන්, ඡායාරූප ආදී සාක්ෂි රැසක් ද සොයා ගැනුණි.

මෙම ශ්‍රී ලංකික සැකකරුවන් සිවුදෙනා සර්දාර් වල්ලභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියේ ඔවුන්ට අදාළ මෙහෙයුම් පවරන්නා (හැන්ඩ්ලර්) මුණු ගැසී, ඉදිරියේ දී ඛල යුතු මෙහෙයුම් සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා ගුවන්තොටුපොළේ සිටියේ අබු නමැති ඔවුන්ගේ හැන්ඩ්ලර් හමුවීමටය. අබු, පාකිස්තානයේ අයි.එස්. නායකයෙකි. අබු, ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සිව්දෙනාට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා රුපියල් ලක්ෂ හතර බැගින් ලබා දී ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වී ඇත. අබු නැමැත්තා ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට පදිංචියට ගිය අයකු බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා පසුගිය පෙබරවාරි මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ අබු නමැත්තා හඳුනාගෙන ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින්, අහිංසක ජීවිත බිලි ගනිමින් ඒ, ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල විය. ඒවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර විය. එදින, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක ද සුළු පිපිරීම් සිදුවිය. විදේශිකයන් 45 ක්, පොලිස් නිලධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනා ද ඇතුළුව 277 දෙනෙක් පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ. 2019 මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් දේවස්ථානයක මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින්, සුදු අන්තවාදියකු කළ වෙඩි තැබීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සහාය දක්වමින් පාස්කු දින ප්‍රහාරය සිදු කළ බව පැවැසිණි.

ඉතා සැලැසුම්සහගතව, මහා විනාශයක් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය අමතක කළ නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය භූගෝලීය දේශපාලනික වශයෙන් මුළු මහත් දකුණු ආසියාවට විශාල බලපෑමක් සිදු කිරීමට සමත් වී තිබේ. බටහිර රටවල ප්‍රහාර හමුවේ ඉරාකයෙන් සහ සිරියාවෙන් අඩපණ වුණු අයි.එස්. ත්‍රස්ත සංවිධානය, මධ්‍යම සහ දකුණු ආසියාවේ හොල්මන් කරයි. අයි.එස්. සංවිධානය ලොව බිහිසුණු මෙන්ම බලවත් ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ 2014 දී සිරියානු යුද්ධයත් සමඟය. අයි.එස්. ත්‍රස්තයන්ගේ ආරම්භය වසර ගණනාවක් ඈතට දිවයයි. කෙසේ නමුත් 2003 දී ඇමෙරිකන් හමුදා ඉරාකයේ සදාම් හුසේන් පාලනය පෙරළා දැමූ අවස්ථාවේදී, සදාම් හුසේන්ගේ බාත් දේශපාලන පක්ෂ සාමාජිකයන් අයි.එස්. නමැති කුඩා ඉස්ලාමීය අන්තවාදී කල්ලිය සමඟ එක් වී සිටි අතර, මොවුන් අල් කයිඩාවට සහාය දක්වන්නට විය. සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම් අවි අතට ගැනීමත් සමඟය. එවකට ඇමෙරිකන් ජනාධිපති වූයේ බැරැක් ඔබාමාය. ඇමෙරිකාව, ප්‍රංශ සහ මහා බ්‍රිතාන්‍යය අවි ආයුධ දෙමින් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ශක්තිමත් කළේය. අයි.එස්. ත්‍රස්තවාදීන් අසල්වැසි ඉරාකයේ සිට සිරියාවට පැමිණි අතර බටහිරින් ලැබුණු අවි ආයුධවලින් ඔවුන් සන්නද්ධ විය. බිහිසුණු අන්තවාදී ප්‍රතිපත්ති නිසා අල් කයිඩාව පවා අයි.එස්. සංවිධානය සමඟ සබඳතා අත්හැරියේය. ඒ අනුව අයි.එස්. කල්ලිය ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් ලෙස නැගී සිටීම ඇරැඹිණි.

තමන් අල්ලා ගත් ප්‍රදේශ එක් කරමින් අයි.එස්. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවීය. අබු බකර් අල් බැග්ඩෑඩිගේ නායකත්වය යටතේ අයි.එස්. සංවිධානය ශක්තිමත් වූයේ ලොව නන්දෙසින් මුස්ලිම් තරුණ තරුණියන් සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය සමඟ එක් වීමෙනි. අල්ලාගත් බටහිර සොල්දාදුවන්, වෛද්‍යවරුන්, සහන සේවකයන්, මාධ්‍යවේදීන් දණ ගස්වා, බෙලි කපා ඝාතනය කරමින් අයි.එස්. ත්‍රස්තයෝ ඔවුන්ගේ භීෂණය ප්‍රදර්ශනය කරන්න විය. බටහිර රටවල අයි.එස්. මුස්ලිම් වැසියෝ තම තමන්ගේ රටවල ප්‍රහාර සිදු කරන්න වූහ. ප්‍රංශයේත් මහා බ්‍රිතාන්‍යයේත් බිහිසුණු අයි.එස්. ප්‍රහාර සිදුවිය. 2014 වසරේ අයි.එස්. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඉස්ලාම් දේශය පිහිටුවීමේ අදහස ප්‍රචලිත කරද්දී,  ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී රටවලින් ද මුස්ලිම් වැසියන් සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය සමඟ අත්වැල් බැඳ ගත් බව බුද්ධි අංශ අනතුරු ඇඟවීය. ඊට අමතරව, මැදපෙරදිග, අප්‍රිකා සහ ආසියානු රටවල ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලි එක පයින්, අයි.එස්. සංවිධානයට සහාය දීමට ඉදිරිපත් විය. මුළුලෝකයම ආවරණය වන අයුරින් අයි.එස්. සංවිධානය පිහිටුවීමට බලාපොරොත්තු වන ඉස්ලාමීය රාජ්‍යයට තමන් ද සහාය දෙන බවට එම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි ප්‍රතිඥා දුන්නේය. අද ආසියාවේ පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව ආදී මුස්ලිම් රටවල අයි.එස්. හිතවාදී මූලධර්මවාදී ත්‍රස්ත කල්ලි ක්‍රියාත්මක වෙයි. කිතුනු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල වෙයි.

බටහිර ප්‍රහාර හමුවේ, ඉරාකයේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ බිඳ වැටීම සිදුවුණු බව ඉරාක රජය ප්‍රකාශ කළේ 2018 දීය. ඒ සඳහා ඉරාක රජයට ඇමෙරිකාවේ, ඉරානයේ සහ කුර්දිස්ථාන සටන්කාමීන්ගේ සහාය ලැබුණි. ඇමෙරිකන් හමුදා අබු බකර් අල් බැග්ඩෑඩි සොයා ඝාතනය කළේ 2019 වසරේ ඔක්තෝබර් 27 වැනිදාය. අල් බැග්ඩෑඩි ද සැඟවී සිටියේ සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නිවසකය. අල් බැග්ඩෑඩි ඝාතනය කිරීමේ මෙහෙයුම් සඳහා අණ දුන්නේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංකල්පය බිඳ වැටුණත්, අයි.එස්. සංවිධානය අඩපණ වූ බව පැවැසුවත් ඔවුන්ගෙන් ලොවට ප්‍රබල අනතුරක් ඇති බව ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඇතුළු බුද්ධි අංශ තවමත් අනතුරු අඟවයි.

දකුණු ආසියාවේ ප්‍රධාන පෙළේ මූලධර්මවාදී ඉස්ලාමීය කල්ලි රැසකි. ඇෆ්ගනිස්තානයේ තලේබාන්, පාකිස්තානයේ ලෂ්කාර් ඊ ජංගාවි, ලෂ්කාර් ඊ තයිබා, ජයේෂ් ඊ මොහොමද් ඒවායින් කිහිපයකි. (ලෂ්කාර් ඊ ජංගාවි, ජයේෂ් ඊ මොහොමද් පාකිස්තාන රජයේත් එරට බුද්ධි අංශයේත් අනුග්‍රහය සහ සහාය ලබන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි යැයි පැවැසෙයි.) ඉරාකයේ සහ සිරියාවේ ප්‍රචණ්ඩත්වය පතුරුවද්දී, අයි.එස්. ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සමඟ එක් විය. පැවැති අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් තලේබාන් සංවිධානය ද දෙකඩ විය. අද තලේබාන් පාලනයක් පවතින ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන්ට අයි.එස්. ත්‍රස්තයන් හිසරදයක් වී ඇත. ඔවුහු ඇෆ්නිස්තානයේ බෝම්බ පුපුරුවති. ප්‍රචණ්ඩ ක්‍රියා කරති. අයි.එස්. වැනි ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ආසියානු රටවල් වන ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ, පිලිපීනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කල්ලි සමඟ හවුල්වීම, එම ත්‍රස්ත කල්ලිවලට විශාල ශක්තියකි. එම කුඩා කල්ලිවලට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට පහසුවකි. ඊට ප්‍රධාන හේතුව, අයි.එස්. සංවිධානය මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමය. අයි.එස්. සංවිධානයට දකුණු ආසියානු කලාපීය රටවලින් වැඩිවැඩියෙන් සාමාජිකයන් එක් කර ගැනීම පහසුවක් වී ඇත. ඒ, සුළුජාතික මුස්ලිම් ප්‍රජාවට සිදුවන අසාධාරණකම්ය.

මේ වනවිට ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වී ඇත. අදියර 7 කින් පැවැත්වෙන එම මැතිවරණය, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය යළි විශිෂ්ට ජයක් අත් කර ගනු නියතය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය, එරට සුළුතර මුස්ලිම් ප්‍රජාව නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වෙයි. ජාතිකවාදී අදහස් ඇති මෝදි රජයේ ඇමැතිවරුන් බොහෝ දෙනෙක් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව හින්දු වැසියන් උසි ගන්වති. ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ඔවුන් පොලඹවති. එවැනි ඇමැතිවරුන්ට හෝ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ද නැත. පාකිස්තාන ඉස්ලාමීය අන්තවාදීන්, අයි.එස්. සාමාජිකයන් යොදා ගනිමින්, ඉන්දියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට උත්සාහ ගැනීම එහි ප්‍රතිඵලයයි.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වුණු ප්‍රහාරය ආගම් භේදයකින් තොරව ලොව සෑම කෙනෙකුම හෙළා දැක්කේය. නිදහසේ තමන් කැමැති ආගමක් ඇදහීමට රටක ජනතාවට අයිතිය තිබිය යුතුය. ජීවත් වීමට නිදහස තිබිය යුතුය. එම නිදහස උදුරා ගන්න තැත් කරන්නන් මනුෂ්‍යයන් නොවෙයි. අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අරමුණ පැහැදිලිය. මෙම සංවිධානය මුළු ලොවටම තර්ජනයකි. සිරියාවෙන් සහ ඉරාකයෙන් අඩපණ වුණත්, තමන් අල්ලා ගන්නා පළාත් ප්‍රදේශ එක් කර ගනිමින් ‘ඉස්ලාමීය රාජ්‍යයක්’ පිහිටුවීමේ අදහස තවමත් ඔවුන් බැහැර කර නැත. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම කෙසේ වෙතත්, ත්‍රස්ත ප්‍රහාර හරහා ආසියානු රටවල ප්‍රචණ්ඩත්වය පතුරුවන්න අයි.එස්. සංවිධානය උත්සාහ ගනිමින් සිටින බව ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අයි.එස්. ත්‍රස්තවාදය පිටුදැකීම, එක් රටකට පමණක් කළ නොහැකිය. මුළු ලොවම එක් විය යුතුය. සියලුම ජාතීන් අතරේ සහ ආගම් අතරේ සහජීවනයක් තිබිය යුතුය.

'ද ජියෝ පොලිටික්ස්' ඇසුරිනි


RECOMMEND POSTS