විසි වසකට පෙර සවුදියට ආ සිත්ති ජසීමාගේ කතාව



 

පවුලේ දරිද්‍රතාවය හමුවේ යස ඉසුරු සොයා යන අපේම මව්වරුන් , සහෝදර සහෝදරියන් දස දහස් ගණනකට වැඩි පිරිස අතරේ අබ්දුල් හසන් සිත්ති ජසීමා නැමැත්තියගේ සුවිශේෂී එක් චරිතයකි.පතිනියක ලෙසින් තමන්ගේම කියා ගොඩනඟා ගත් කැදැල්ලක දේදුණු පාට හීන රැසක් මවාගත් සිත්ති ජසීමා විදෙස්ගත වන්නේ හද ඉපිල  ගිය සතුටකින් නොවුණද , තමන් ගිලී සිටින ආර්ථික ගැටලු ගොඩ ඒමටය.එසේ ගිය ඇය සිය පවුලේ අය වෙනුවෙන් වත් යළි මව්බිමට නොපැමිණෙන්නීය. මෙසේ නොපැමිණීමට හේතුව , ඇයට තම මව්බිමට වඩා පරදේසක්කාර රටක් සිටීමේ අවශ්‍යතාවය කුමක්ද යන මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන මේ ඇයගේ කතාවයි.
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෑම මසකම පළමු සතියේ සිකුරාදා එරට වෙසෙන හා රැකියාවේ නියුතු අපේම ලාංකිකයින් වෙනුවෙන් ජංගම සේවය පවත්වනු ලැබේ.ඒ ඔවුන්ගේ හැඳුනුම්පත් හා ගුවන්ගමන් බලපත් අලුත් කිරීම , උප්පැන්න සහතික පතක් නිකුත් කිරීම ,විවාහ සහතික පත් ලබා දීම ඇතුළු විවිධ කොන්සියුලර් සේවාවන් ලබා දීම සඳහාත්, එරට සේවයේ නියුතු ලාංකිකයින්ගේ කම්කරු ගැටලු විසඳීම සඳහා උදව් කිරීමේ අදහස පෙරදැරිවය. මේ මාසයේ දෙවැනිදාට යෙදී තිබූ සිකුරාදාවේ සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවයේ දී අපේ මේ කතානායිකාව මුණ ගැසුණේ අහම්බයෙනි.
ඇයගේ සුවිශේෂීත්වය වන්නේ මීට වසර විස්සකට පෙර එනම් 1996 වසරේදී සෞදි හාම්පුතු යටතේ ගෘහ සේවය සඳහා පැමිණි ඇය නැවත මව්බිමට යෑම ප්‍රතික්ෂේප කරමින් දිගින් දිගටම එරට සිටින්නීය.මාතලේ කයිකාවල පදිංචිව සිටි ඇය නමින් අබ්දුල් හසන් සිත්ති ජසීමාය.වයස අවුරුදු 63කි වන ඇය සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව වෙත පැමිණි ඇයගේ අවශ්‍යතාව වූයේ සිය ගමන් බලපත්‍රය දීර්ඝ කර ගැනීමය.ජසීමාගේ ගුවන් ගමන් බලපත්‍රයට අනුව උපන්ගම ලෙස කයිකාවල සඳහන්ව තිබූ අතර උපන් වර්ෂය ලෙස 01.06.1953 සඳහන්ව තිබිණි.ඇය පැමිණියේ තනිවම නොව සෞදි හාම්පුතුගේ අරාබි ජාතික රියදුරු මහතා සමඟය.


ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ තෙවැනි ලේකම්වරිය විසින් මෙම ලාංකික කාන්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට උනන්දු වූවාය.එම නිලධාරිනිය විසින් ඇයගෙන් තොරතුරු විමසීමේදී දැනගැනීමට ලැබුනේ මෙවැනි අපූරු සිද්දියකි.
ජසීමා නැමැති අපේ කථානායිකාව වෙල්ලන්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක වූවාය.අකුරු කියවීමේ හැකියාවක් හෝ ලිවීමේ හැකියාවක් නොමැති ජසීමා හරියටම වසර විස්සකට කලින් සෞදි අරාබියට වෙත සංක්‍රමණය වන්නේ අගහිඟකම් ඇති තම පවුලේ ජීවන මට්ටම සරුකර ගැනීම වෙනුවෙන් නොවේ. සිය අම්මා විසින් කළ අවවාදාත්මක අණ කිරීමක් නිසාවෙනි. “උඹට කසාද බඳින්න බැරිනම් මුහුදේ පැනලා මැරියන් ” යැයි කියූ ඒ අවවාදය ජසීමාගේ මුළු ජීවිතයම වෙනස් කළේය.ඒ වන විටත් ඇයට ස්වාමිපුරුෂයෙකු සිටියද ඇයගේ කැදැල්ල අවුල් ජාලයකින් පිරී පැවතිනි.

ගෘහසේවයට පැමිණ වසර විස්සක කාලය තුළ පවුලේ කිසිවකු සමඟ සම්බන්ධතා පවත්වා නොමැති ඇය ඔවුන් ගැන කිසිත් නොදැනීමට හේතුවූයේ අද මෙන් එකළ තමා සතුව ජංගම දුරකථනයක් නොතිබූ බවය.ඒ නිසාම පවුලේ අය සමඟ සම්බන්ධකම් පවත්වාලීමට නොහැකි වූ බවද ජසීමා පැවසුවාය.
මෙලෙස ජීවිතය වසර විස්සක් පුරා සෞදි හාම්පුතුගේ පවුලේ අය වෙනුවෙන් ගෙවන කාලය සෑහීමකට පත්වන ජසීමා කියා සිටිනුයේ සැඳෑ සමය ගතකරන තමන්ට නිවසේ කිසිදු වැඩක් කිරීමට හාම්පුතා ඉඩ නොදෙන බවය.විවේකී සුවයෙන් සිටියද නියමිත වැටුප තමාගේම ගිණුමකට හාම්පුතා විසින් බැර කරන බවද කියා සිටින ජසීමා ගේ එකම අරමුණ වී ඇත්තේ එම මුදල් අසරණ මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමයි.

සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා තානාපති කාර්යාල ජංගම සේවයේ සිටි ශ්‍රී ලංකා කම්කරු නිලධාරිනිය සමඟ සිනහමුසු මුහුණින් යුතුව තවදුරටත් අදහස් හුවමාරු කරගත් ජසීමාගේ දෙනෙත් අඟ වරෙක කඳුළු බිඳු මතු වුවද එය පරයමින ඇය තවත් දුරටත් කථා කරන්න වූයේ ලංකාවට යන්න අදහසක් නැත්දැයි කම්කරු නිලධාරිනිය විමසූ මොහොතේදීය.“ වසර විස්සක් පුරා මගේම කැමැත්තෙන් ලංකාවට නොගිය මම ,මියයන තෙක්ම හාම්පුතාගේ නිවසේ ජීවත් වනවා.යැයි ජසීමා පැවසුවාය.තම පවුලේ අය සමඟ නැවත එකතුවීමට කැමැත්තක් නැද්දැයි විමසීමේදී ජසීමා සඳහන් කර සිටියේ එය තමාට අවශ්‍ය නොවන බවය.
ඇයත් එක්ක තානාපති කාර්යාලයේ ජංගම සේවයට පැමිණි අරාබි ජාතික රියදුරුද ජසීමා ගෙවන ජීවිතය ගැන චරිත සහතිකයක් ලබා දෙමින් කියා සිටියේ තම හාම්පුතා විසින් නීත්‍යානුකූල ලෙස මෙම කාන්තාව හට සියලු පහසුකම් නොඅඩුව ඉටු කරන ඉතා ගුණගරුක මහත්මයෙකු වන බවය.
විශේෂ ස්තූතිය ‐ චාලි තලයරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරී මඩුල්ල

සටහන
තිළිණි ද සිල්වා සහ සෞදි අරාබියේ ලලිත් ප්‍රේමලාල්


RECOMMEND POSTS