දුක්ඛිතම රට ශ්‍රී ලංකාව



ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කි, 2022 වසරේ දුක්ඛිතම රටවල් ලැයිස්තුව පසුගිය දා එළිදැක්වීය. මහාචාර්යවරයාගේ ශ්‍රේණිගත කිරීම් අනුව පොදුවේ ගත් කළ ශ්‍රී ලංකාව පසුවන්නේ 11 වැනි ස්ථානයේය. දකුණු ආසියානු රටවල් හා සන්සන්දනය කරද්දී, ආසියාවේ ‘දුක්ඛිතම’ රට ශ්‍රී ලංකාව යැයි මහාචාර්ය ස්ටීව් හැන්කි පැහැදිලි කර තිබේ.

මහාචාර්යවරයා මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ ඒ ඒ රටවල විරැකියා අනුපාතය, උද්ධමනය, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත සහ බැංකු ණයදීමේ පොලී අනුපාතය යන සාධක සැලකිල්ලට ගනිමිනි. ලැයිස්තුව සකස් කිරීමේ දී ඒ ඒ රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන සහ විශ්ව විද්‍යාලවල සහාය ලබා ගත් බව ද පැවැසෙයි.

2022 වසරේ දකුණු ආසියාවේ දුක්ඛිතම රටවල් පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී, දෙවැනි සහ තෙවැනි ස්ථාන පාකිස්තානයටත් නේපාලයටත් හිමිවී තිබේ. මහාචාර්යවරයාගේ ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 6.5 කි. උද්ධමනය සියයට 57.2 කි.

පොදුවේ ගත් කළ, 2022 වසරේ ලෝකයේ  දුක්ඛිතම රටවල් පිළිබඳ  ශ්‍රේණිගත කිරීමේ  දී ශ්‍රී ලංකාවට 11 ස්ථානය හිමිවූයේ රටවල් 15 ක් අතරිනි. හයිටි, ඇන්ගෝලා, ටොන්ගා, ඝානා යන රාජ්‍යයන් 12, 13, 14 සහ 15 යන ස්ථානවල පසුවෙයි.

2022 වසරේ ලෝකයේ  දුක්ඛිතම රටවල් ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානය හිමිවූයේ අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යයටය. දෙවැනි ස්ථානය ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාවට හිමිවුණු බව මහාචාර්යවරයා පැහැදිලි කර තිබේ.

වෙනිසියුලාව, ආර්ථික සහ දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයකි. වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ පාලනයට එරෙහිව ඇමෙරිකා රජය සම්බාධක පනවා තිබේ. රට මුහුණ දෙන ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට මෙම සම්බාධක හේතුවක් වී ඇත. 2022 වසරේ ලෝකයේ  දුක්ඛිතම රටවල් ශ්‍රේණිගත කිරීමේ දී තෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ සිවිල් යුද ගැටුම්වලින් හෙම්බත් වුණු සිරියාවටය.

2022 ලොව දුක්ඛිතම රටවල් පිළිබඳ ශ්‍රේණිගත කිරීමට අනුව, 11 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 6.5 ක් වන අතර 15 වැනි ස්ථානයේ පසුවන ඝානාවේ විරැකියා අනුපාතය සියයට 3.9 කි.

මහාචාර්ය ස්ටීව් හැන්කිගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධියට පත් කිරීමට දිනකට පෙර, ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරේ ශ්‍රී ලංකාව සිටින බව ‘යාහු ෆයිනෑන්ස්’ වෙබ් අඩවිය පැවැසීය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය ඊට හේතුව යැයි ද එම වෙබ් අඩවිය පැහැදිලි කිරීමක් ද කළේය.

මැදි ආදායම් රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත්, ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් බව ‘යාහු ෆයිනෑන්ස්’ වෙබ් අඩවිය වැඩි දුරටත් පැවැසීය.

මෙම ශ්‍රේණිගත කිරීම 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර තිබේ. ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. ශ්‍රී ලංකාවේ, 2021 වසරේ, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5555 කි.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වෙනි ස්ථානය උතුරු කොරියාවට හිමිවුණු අතර, 2021 වසරේ උතුරු කොරියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 කි.

දෙවන සහ තෙවැනි ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන ටජිකිස්තානයට හිමිවිය. එම රටවල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 කි.

ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානය හිමිවී ඇත්තේ මොංගෝලියාවටය. මෙංගෝලියාවේ 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 කි.


RECOMMEND POSTS