සුන්බුන් අතර සිරවුණු දැරියක් පැය 17 කට පසු බේරා ගැනෙයි



පෙස්කාරා දෙල් ට්‍රොන්ටෝ (ඬේලිමේල් ඇසුරිනි)

භූමි කම්පාවෙන් හානි සිදුවුණු ඉතාලියේ පෙස්කාරා දෙල් ට්‍රොන්ටෝ නුවර සුන්බුන් අතරේ පැය 17 ක් තිස්සේ සිරවී සිටි 10 හැවිරිදි දැරියක සුන්බුන් ඉවත් කර බේරා ගැනීමට සහන සේවකයෝ ඊයේ (25) උදෑසන සමත් වූහ. එම දැරිය කඩිනමින් රෝහල් ගත කළ බව වාර්තා විය. සුන්බුන් අතරේ සිරවුණු තවත් බොහෝ දෙනෙකු සිටින බවත්, ඔවුන් බේරා ගැනීමට බැකෝ යන්ත්‍ර යොදා ගන්නා බවත් සහන සේවකයෝ වැඩි දුරටත් කියා සිටිති. භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 247 කි.

භූමි කම්පාව බලපෑවේ මධ්‍යම ඉතාලියේ අම්බි්‍රයා පළාතටය. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.8 ක් ලෙස සටහන් විය. භුමි කම්පාවේ ප්‍රබලත්වය රෝම අගනුවරට ද හොඳින් දැනිණි. පෙස්කාරා දෙල් ට්‍රොන්ටෝ නගරයට අමතරව ඇකුමෝලි, ඇමටි්‍රස්, සහ පෝසටා යන නගරවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇතැයි පැවැසෙයි.

ඉතාලිය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකය. එබැවින් යුරෝපයේ භූ කම්පන අවදානම වැඩිම රටවල් අතරින් එකක් ලෙස ඉතාලිය සැලකෙයි. අවසාන වරට ඉතාලියට ප්‍රබල භූ කම්පනයක් බලපෑවේ 2009 වසරේදීය. එම භූ කම්පනයෙන් 300 කට වැඩි පිරිසක් ජීවතක්ෂයට පත්වූහ. විසිවැනි සියවසේ බිහිසුණුම භූ කම්පනය ඇතිවූයේ 1908 වසරේදීය. ඒ සමඟම සුනාමියක් ද හටගත්තේය. එම භූ කම්පනය හා සුනාමිය ඇති වූයේ ද ඉතාලියේය. ඉන් වැඩිම හානියක් වූයේ සිසිලි හා රෙජියේ කැල්බි්‍රයා යන කලාපවලටය. එයින් ජීවිතක්ෂයට පත්වූ පිරිස 80,000කට ආසන්නය.


RECOMMEND POSTS