ට්‍රැක්ලන්තය - ෆේස්බුක් චරිත



ට්‍රැක් ලන්තේ ඇතුළේ සිද්ධවෙන අමුතු අමුතු දේවල් අතරින් තවත් කතාවක් අද මාර්තෘකාව. ෆේස්බුක් එකේ උඩ පහළ යනකොට අපිට හම්බෙනවනේ විවිධාකාර චරිත. උදාහරණ විදිහට කිව්වොත් මෙන්න මේ වගේ අය ...

කී බෝර්ඩ් වීරයෝ - මෙයාලගේ ලක්ෂණ තමයි සිද්ධිය මොකක්ද කින්ද මන්ද දන්නෙත් නෑ පත හෑලි ටයිප් කර කර කාටහරි බනින එක. අන්තිමට ඒ උන්දැලැ දන්නෙත් නෑ ඇයි මේ බනින්නේ කියලවත්. ආගම, ජාතිය , සදාචාරය, දේශපාලනය වැනි මාර්තෘකා සහිත පෝස්ට්වලදි තමයි මේ උදවිය දැකගන්න පුළුවන් වෙන්නේ. කී බෝර්ඩ් එක උඩ නැගගෙන ටයිප් කරන මේ අය කමෙන්ට් එක පටන් ගන්නේ බල්ලාගෙන් ඉවර කරන්නේ මැක්කගෙන්. මේ ලක්ෂණ තියනවා නම් එයා කීබෝර්ඩ් වීරයෙක්. 

සිඟිති පාතාලේ - මේ අය කල එළි බහින්නේ ඉස්කෝලේ නිවාඩු කාලෙට. වැඩි පිරිසක් ඉන්නේ අවුරුදු 16 ට අඩු ඉස්කෝලේ යන ඇච්චෝ. දොඩම්ගෙඩි දෙකක්වත් උස නැති මේ අයට වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නයාට අදුකොළ වගේ. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් කඩු පිහි අමෝරාගෙන එන්නේ. අයියලා අක්කලා අදාළම නෑ. අහන්න ආසම රැප් සංගීතෙයි, අමු සින්දුයි . වචන 10 ක් කතා කළොත් ඒ අතරින් පතර ඇසැබි වචනයක් අනිවාර්‍යයි.බටු ඇටේ වගේ උණාට මොකෝ ඕන වෙලාවක 10 කට ගහන්න තමා කතාව. ඒ අයට වඩා පොරක් නෑ. මේ ලක්ෂණ තියනවා නම් සහසුද්දෙන්ම ආයේ දෙකක් නෑ සිඟිති පාතාලෙමයි.

දුක අහන අයියලා - මේ අය පෙනී ඉන්නේ ආදරයෙන් පරාජය වුණ, ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න නංගිලා වෙනුවෙන්. උදව්වක් ඕන වුන ගමන් ඕනෑම නංගි කෙනෙකු ට උදව් කරන්න දිවි හිමියෙන් කැපවී සිටින සෙට් එකක් තමයි මේ. හදිස්සියේ හරි ඇහැට කනට පේන කෙල්ලෙක් දුක පෝස්ට් එකක් ශෙයා කරපු ගමන් මේ අයියලාගේ හිත උණු වෙලා යනවා. ගෑනු ළමයි වෙනුවෙන්මයි දෙයියෝ විසින් එහෙම අයියලාව මවලා තියෙන්නේ . අනේ වාසනාවන්

අවධාන පීපල්ස් - මෙයාලගේ ප්‍රධාන පරමාර්ථය අවධානය ලබා ගන්න එක. හොඳින් හරි නරකින් හරි අවධානේ ගන්න එක තමයි මෙයාලගේ එකම සතුට. ෆොටෝ එකක් ෆේස්බුක් දාලා අවධානේ මදි වගේ නම් බොහොම අඩුවෙන් රෙදි යොදාගනිමින් නිර්මාණය කරපු ඇඳුමක් ඇදන් ෆොටෝස් දාලා අවධානය ගන්නවා. 

ප්‍රදර්ශන පීපල්ස් - මෙයාලට ඕනේ හැමදේම ප්‍රදර්ශනය කරන්න. ඇඳේ එහා පැත්තේ නිදාගෙන ඉන්න වයිෆ්ට ෆේස් බුක් එකෙන් හැපි බර්ත්ඩේ විෂ් එක දානවා. මදර්ස් ඩේ එකට කුස්සිය පැත්ත පළාතේ යන්නැති උදවිය අම්මට විෂ් කරලා ෆේස්බුක් එකේ උදේ පාන්දරම දානවා හැපි මදර්ස් ඩේ කියලා. වැසිකිළියට ගියත් කඩේට ගියත් ෆේස්බුක් දානවා. තව අය ඉන්නවා තමන් තමයි පොර කියලා පොර මානසිකත්වය ප්‍රදර්ශනය කරන්න උත්සහ ගන්න අය. තමන් තමා මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා කියලා හිතන් ඉන්න අය, බුද්ධිමත්ම කෙනා කියලා හිතන් ඉන්න අය , උපාසක තැනත්තා කියලා ප්‍රදර්ශනය කරන්න උත්සහ කරන අය ඕන තරම් ඉතින්..

ඇත්තටම ෆේස්බුක් තියෙන්නේ මොකටද ? මාර්ක් අයියා මේක හැදුවේ නම් දේශසීමා ඉක්මවා ගිහින් අලුත් මිතුරු මිතුරියන් දැන හඳුන ගන්න, විනෝදාස්වාදයට අමතරව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. තවත් අය මේක හරිම වටිනාලෙස පාවිච්චි කරනවා දැනුම බෙදා හදා ගන්න, ව්‍යාපාර දියුණු කරගන්න, සමාජතොරතුරු සන්නිවේදනයට වගේ දේවල්වලට. ට්‍රැක් ලන්තේ වැසියන්ට මේක තනිකරම නාඩගම් මඬුවක්. කොහේ ගියත් ආතල් ගන්න බලන් ඉන්න ට්‍රැක් ලන්තවාසීන්ට තැනක් නොතැනක් නෑ ඉතින් මෙව්වට. ඉතින් අපිත් විවිධාකාර මිනිස්සුන්ගේ විවිධාකාර නාඩගම් බල බල බුකිය පුරා ඉහළට පහළට යනවා.

ජයනි සිතාරි අල්විස් 
සිතුවම - සමන් කුමාර
Logo  නිර්මාණය - නිමල් ජයශාන්ත

RECOMMEND POSTS