ට්‍රැක්ලන්තය - තුනම තෙතයි



මේ දවස්වල ඉතින් අම්මටසිරි සඳේ , මල්කාන්ති ළිදේ වෙන්න ට්‍රැක්ලතේ පුරාවටම වහිනවනේ. අපේ පිරිමි පාර්ශවය මේ දවස්වල මුහුණ දෙන ලොකුම ගැටලුව තමා යට ඇඳුම් වේලගන්න බැරිවෙන එක. ජො@#$ ( මේ වචනේ පුවත්පතේ සදාචාරාත්මක හේතූන්මත කපා හරින ලදී ) තුනයි. තුනම තෙතයි කිය කිය ෆේස්බුකිය පුරාම පෝස්ට් ශෙයා වෙනවා. මෙච්චර දවස් අව්වට බැන බැන රස්නෙයි කිය කිය කෑ ගැහුව ට්‍රැක්වැසියන්ට ස්වභාවධර්මයා විසින් හේදිලා යන්නම මහ වැසි දීලා තියනවා. දැන් ඉතින් සුපුරුදු පරිදි වැස්සට බැන බැන ඉන්නවා. 

මේ වැසි කාලේ අපි ඉහලින් අගය කල යුතු දෙයක් තියනවා. ඒ තමයි මැයි මාසේ තිබුන වෙසක් පෝයට වැසි නොතකා තමන්ට ඇති හැකි අයුරින් රට පුරාම දන්සල් දුන්න එක. ආර්ථිකය නිසා බැට කකා ඉන්න කාලෙක දන්සල් දෙන්න තරම් හිත් හැදෙන මිනිස්සු ඉන්න නිසා තමයි ලෝකේ අනිත් රටවල් වලින් අපේ රට වෙනස්වෙන්නේ. හැබැයි ඒ හිත උනුවෙන නිසාම තමා අපිට මෙහෙම වෙලා තියෙන්නෙත්. ඡන්දේ කාලෙට දේශපාලඤ්යෝ තරම් අන්ත අසරන දුප්පත් දානපතියෝ කොහෙවත් නෑ. කට කනේ තියන් ඇවිල්ලා දෙකට නැමීගෙන ඡන්දේ ඉල්ලනවා. අනේ ඉතින් ට්‍රැක් වැසියන්ට දුකේ බෑ. අනේ පව් අනේ.. කියලා ගිහින් කතිරේ ගහලා එනවා. රට කරවන ඇත්තෝ ,මෙච්චර ආර්ථික අපහසුතා මැද්දෙත් දෙන දන්සැල් දැකලා ,උන්දැලැ හිතන්නේ රටේ මිනිස්සුන්ට කිසිම අහේනියක් නෑ. උඩ පැන බැන බඩු මිල වැඩි කරනවා. රටේ මිනිස්සුන්ගේ මනුස්ස කමෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා.
වැස්සට බැරි උනා දන්සැල් වඳින්න යන එක නවත්තන්න. ට්‍රැක්වැසියෝ නාගෙන පීනගෙන හරි ගිහින් දෙයියනේ කියලා දන්සැල් වැන්දා. දැන් දැන් වෙසක් හරි පොශ් ඉස්සර අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා, ළමයි එකට එකතු වෙලා උණ බට වලින් වෙසක් කූඩු හැදුවට දැන් එහෙම නෙමෙයි. සුටුස් ගාලා සල්ලි දීලා වෙසක් කූඩු ගෙනල්ලා එල්ලනවා. රටකට ගිය කලක්. ඊට හපන් ඇටකට යන්තන් වැහෙන්න මස් චුට්ටක් තියන උන්දැලැ බුකියේ පෝස්ට් ශෙයා කරනවා හයියෙන් හුලං ආවට හුලඟට ගහගෙන යන් නෑ , කියලා අයිසැක් නිව්ටන් කිව්වා කියලා. තවත් එක්කෙනෙක් වෙසක් බලලා ගෙදර එද්දි ටවුමේ ගහක තිබ්බලු, ගෙදර වැලේ වේලෙන්න දාලා ආපු ඇඳුම්ටික. වැසිපිට වැසි වැස්සත් බොස්ගෙන් නිවාඩු ගන්නවා කියන්නේ නම් බොරු. ගංවතුර ගලලා නම් බෝට්ටුවෙන් හරි වැඩට එන්න කියලා තමයි ඉතින් කියන්නේ. මේ කාලෙට සමහර උන්දැලැ මඩවලක ඉදන් ෆොටෝ ගහලා , වතුර ගලලා කියලත් නිවාඩු ගන්නවා. 
 
ඔක්කෝටෝම වැඩිය හපන් මහා රූස්ස ගස් හැමතැනම කඩන් වැටෙනවා. ඒවා දැක්කම නම් පපුව හෝස් ගාලා යනවා. අවුරුදු ගානක් අව්ව ,වැස්ස , හුළඟ දරාගෙන පරිසරයට සේවයක් කරපු මහා දැවැන්තයෝ බැරිම තැන කඩන් වැටෙනවා. ඒ වගේ ගොඩක් ගස් කඩන් වැටුනෙත් ඒ ගස්වල මුල් පද්දති බිල්ඩින් ,පාරවල් හදද්දි කැපිල ගිය නිසා. 
 
මැයි , ජුනි මාස කියන්නේ ගාල්ල, මාතර , රත්නපුර, කලුතර පළාත්වල මිනිස්සුන්ව බලන්න ගේ මිදුලටම ගඟ එන කාලේ. ඒ අස්සේ ඉතින් ට්‍රැක් පැනපු ට්‍රැක්වාසීන් ජල ක්‍රීඩා වලත් නිරතවෙනවා. සෙල්ෆි ගහනවා, ටික්ටොක් කරනවා. නැව ගිලුනත් බෑං චූං. ටොයිලට් වලවල් උතුරලා කුණු ගොඩවල් සූරාගෙන එන ගං වතුරේ බැහැලා හුරේ දානවා. මාතර වගේ පැතිවල ට්‍රැජ්වාසින් එක්ක ගංවතුරේ හුරේ දාන්න කිඹුල්ලු එහෙමත් එනවා. මාතර උන්දැලැට නම් කිඹුල්ලු කියන්නේ ගෙදර ඇතිකරන සුරතල්ලු වගේ. ගංවතුර ආපු ගමන් කිඹුලා මිදුලේ. 
 
සියලූම ට්‍රැක්වාසින් ගංවතුරෙන්, අකුණු අනතුරුවලින් , ගස්කඩා වැටීම් වලින් ආරක්ශා වෙලා, ආරක්ශක ක්‍රියාමාර්ග අනුගමනය කරලා, සුවෙන් යහතින් ඉන්න කියලා කියන ගමන්. ස්වභාවිකව සිදුවුනු මුහුද රළුවීම්, ගංවතුර, ගස්කඩාවැටීම් වගේ අනතුරුවලින් ජීවිත හානි සිදු වූ සියලු දෙනාටම කණගාටුව පළකරන අතරම, මුළු ට්‍රැක්ලන්තෙම යතා තත්වයට පත්වෙන්න කියලා අපි ප්‍රාර්තනා කරමු.
 
ජයනි සිතාරි අල්විස් 

RECOMMEND POSTS