ට්‍රැක්ලන්තය - ඡන්ද ප්‍රතිඵල



සමස්ත ට්‍රැක්වාසීන් මේ දිනවල ජනාධිපතිවරණයෙන් උණුසුම් වෙලා ඉන්නේ. කවුරු එයිද කවුරු දිනයිද කියලා කාටවත් නිච්චියක් නෑ. හැමෝම පුන පුනා බලන් ඉන්නේ මේ පාර මොකක් වෙයිද කියලා. වාර්තාගත ලෙස මේ පාර තමයි වඩ වඩාත්ම උණුසුම් ප්‍රතිඵල වාර්තා කරන්නේ. ට්‍රැක්වාසීන් මේ පාර දත කට මැදගෙන , ඇස් ගෙඩි පොල්ගෙඩි වගේ ලොකු කරන් මෙලෝ සිහියක් නැතුව සූදානම් වෙන්නේ ඡන්ද ප්‍රතිඵල බලන්න. හරි ජොලි ඉතින්.

ඔක්කොටෝම වඩා හපන් ඡන්ද ප්‍රතිඵල අතරමැද පෙන්නන ෆිල්ම් එක. 21 හවස 5 ට පටන් ගන්න ෆිල්ම් එක 22 හවස 5 වෙනකනුත් යනවා. ඔන්න ෆිල්ම් එකේ එක කෑල්ලක් යනවා ප්‍රධාන චරිතේ නානවා නාලා ඉවර වෙද්දි පහු වෙනිදත් වෙලා. ඔය අතරේ තවත් සමහරු ට්‍රැක් ඇත්තෝ ඉන්නවනේ උන්දැලාට ඡන්ද ප්‍රතිඵලවලින් වැඩක් නෑ. උන්දැලට ඕනේ ෆිල්ම් එක බලන්න විතරයි. ආං ඒ ඇත්තොන්ට තමා ප්‍රශ්නේ. ඇයි ඉතින් පැය එකහමාරේ දෙකේ ෆිල්ම් එක බලන්න එපැයි පැය 24 ක් විතර. 

ටීවී වල ප්‍රතිඵල කියන අය තමා ඉතින් අනේ පව්. මුල් ඡන්ද ටික යද්දි ඔන්න හරි ලස්සනට ඇඳගත්තු කාන්තා උදවිය තමයි ඉන්නේ. පහු පහු වෙනකොට නෝනාලා නෑ. මහත්තුරුටික නිදිමත දෑසින් නිදිවරාගෙන මාරුවෙන් මාරුවට ප්‍රතිඵල කියනවා. ඇත්තටම අපි ඒ උත්තමයොන්ට ආචාර කරන්න ඕනේ. මාධ්‍ය ආයතනවල ඉන්න සියලූම උදවියට අපගේ උත්තමාචාරය.

තවත් සමහරු ඉන්නවා ඒ අය තමන්ගේ ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵල අනුව හුරේ දානවා. හිප් හිප් හුරේ කියලා රතිඤ්ඤා දානවා. හැබැයි ඉතින් ඕකේ ගැටලුකාරී තත්වය තියෙන්නේ මෙන්න මෙහෙම උනොත්. එහා ගෙදර මිනිහා එක පක්ශෙක වෙලා, මේ ගෙදර එකා තවත් පක්ශෙක වුනාම තමා බලන් ඉන්න අයට ජොලි. ඇයි ඉතින් තමන් ඡන්දේ දීපු පක්ශෙ දින්නට පස්සේ කෙළින්ම රතිඤ්ඤා දාන්නේ අල්ලපු ගෙදර උන්දැගේ වහලෙට. සටපට ගාලා රතිඤ්ඤා පුපුරද්දි ගෙදර උන්දෑ පියවි සිහියට එන්නේ අහස්ගතවෙලා . ඡන්දෙන් උපරිම ආතල් ගන්නේ අන්න ඒ අය.

පාට පක්ෂ වලට කොහොම වෙන් වුනත් , මුළු ට්‍රැක්ලන්තෙම එකා වගේ නොහිටියොත් අපිට රටක් විදිහට ඉස්සරහට තියා පිටිපස්සටවත් යන්න බෑ කියලත් මේ ඇත්තෝ හිතට ගන්න ඕනේ. ජනාධිපතිවරණය සමහර ට්‍රැක්වාසීන්ට තනිකරම විහිළුවක් ඉතින්. ඒ අයගේ වැඩේ බොක්කෙන්ම පක්ශපාතී උන්දැලාව අවුස්සන එක. තවත් අය කරන්නේ මනාප සුන්නද්දූලි කිරීමේ අදහසින් වැරදියට ඡන්දේ දාන්න කියන එක. තමන් කැමති පක්ශෙට හරි ලකුණ දාලා අනිත් හැමෝටම වැරදි ලකුණ දාන්න, නැත්තන් තමන් කැමති තුන් දෙනාට මනාප දෙන්න. එහෙම නැත්තන් එක දෙක දාලා කතිරෙකුත් ගහන්න වගේ දේවල් කියලා අහිංසක ඇත්තෝ මුලා කරලා තවත් අය සතුටක් ලබා ගන්නවා. 

මොන දේ මොන විදිහට වුනත් ට්‍රැක්ලන්තෙට හොඳ නායකයෙක් ලැබෙන විදිහට ආපහු ආර්ථික අපහසුතා නැතිවෙන විදිහේ රටක් ලැබෙන විදිහට ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ ඔන්න.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS