කොලොම්බියා ගරිල්ලෝ සටන් විරාමයට එකඟවෙත



 

බෙගෝටාහිදීය (රොයිටර්)

කොලොම්බියා රජය සහ ‘ෆාර්ක්’ ගරිල්ලන් අතර වසර පනස් දෙකක් තිස්සේ පැවැති යුද ගැටුම් අවසන් කරමින් පෙරේදා (28) මැදියම් රැයේ සිට සටන් විරාමයක් ආරම්භ විය. මෙම සටන් විරාමය ආරම්භ වූයේත් සාම මාවතකට පිවිසීමට ෆාර්ක් ගරිල්ලන් එකඟ වූයේත් පසුගිය කාලය තුළ විටින් විට පැවැති සාකච්ඡාවලින් පසුවය. 2012 දී ආරම්භ වුණු එම සාකච්ඡා පැවැත්වූයේ කියුබාවේදීය. කියුබා නායක රාවුල් කස්ත්‍රෝ ප්‍රමුඛ රජය මැදහත්කරු ලෙස කටයුකු කළේය. සාකච්ඡා සඳහා වාමාංශික ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෝ සහභාගී වූහ. කොලොම්බියා රජය වෙනුවෙන් ගරිල්ලන්ගේ ඉල්ලීම්වලට කන් දී, ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට මූලිකත්වය ගත්තේ වත්මන් කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ය.

මීට පෙර කොලොම්බියා ජනපතිවරුන් ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා පැවැත්වුවත් එම සාකච්ඡා අසාර්ථක විය. පොදු එකඟතාවකට පත් වීමෙන් පසු, ෆාර්ක් සංවිධානයේ නායක රොඞ්රීගෝ ලොන්ඩෝනෝ මාධ්‍ය හමුවේ තම කැරැලිකරුවන් අමතා කියා සිටියේ මැදියම් රැයේ සිට සටන් විරාමය ආරම්භ වන බවත්, සියලුම කැරලිකරුවන් අවි බිම දමා ඊට ගරු කල යුතු බවත්ය. කොලොම්බියානු ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ අදුරුතම පරිච්ඡේදයක අවසානය මෙම සටන් විරාමයත් සමඟ සනිටුහන්වුණු බව කොලාම්බියානු ජනාධිපති සැන්ටෝස් ජාතිය අමතමින් කියා සිටියේය. කොලාම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතර වසර පනස් දෙකක් තිස්සේ පැවැති ගැටුම්වලින් 2,60,000 දෙනකු මියගොස් ඇත. උන්හිටිතැන් අහිමි වූ පිරිස මිලියන ගණනකි.

දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවලදී එකඟ වූ පරිදි ලබන ඔක්තෝබර් මාසයේ දී ජනමත විමසුමක් පැවැත්වීමට ද නියමිතය. ඒ, වාමාංශික ෆාර්ක් ගරිල්ලන් දේශපාලන මාවතකට ගෙන ඒමේ අරමුණින්ය. ඒ වෙනුවෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කොලොම්බියා රජය වැඩිදුරටත් කියා සිටී. ‘කොලොම්බියානු විප්ලවීය හමුදාව’ හෙවත් ෆාර්ක් ගරිල්ලන් අවි අතට ගෙන අසාධාරණයට ලක් වුණු සිවිල් වැසියන් වෙනුවෙන් දක්ෂිණාංශික මතධාරී පාලකයන්ට එරෙහිව සටන් ආරම්භ කළේ 1964 වසරේදීය. ෆාර්ක් සංවිධානය බිහිවූයේ කොලොම්බියානු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ එකමුතුවෙනි.

මොවුන් ක්‍රියාත්මක වූයේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ වයඹදිග පළාත් කේන්ද්‍රකොට ගනිමිනි. මොවුහු රජයේ නිලධාරීන්, හමුදා නිලධාරීන් ව්‍යාපාරිකයන් පැහැරගෙන කප්පන් ගැනීම් ද සිදු කළහ. මෙම ගරිල්ලෝ තම සංවිධානයේ කටයුතු සඳහා මුදල් රැස් කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම් ද කළහ. 2013 වසර වෙද්දී 10,000 ක කැරැලිකරුවෝ පිරිසක් මෙම සංවිධානය සමඟ එක් වී සිටියහ. මොවුහු ඇමෙරිකාවට හිතවත් කොලොම්බියා රාජ්‍ය තම සතුරන් ලෙස සලකති.


RECOMMEND POSTS