අද ලොව දරුණුම වසංගතය මත් බේත්



“මෙය තේරුම් ගැනීම අපාසුය. සිත පාරන තරම් අවඥාදායීය. මත්බේත් තිබෙන්නේ, පැහැදිලිවම වේදනා නැති කරන්නටයි. එහෙත්, ඒවාට ඇබ්බැහිවීම නිසා ඇතිවන්නේ දරුණු වධ-වේදනා සහ දුක් කම්කටොළුය. ගන්නා මත්බේත් ප්‍රමාණය අධික වීම නිසා, 2016දී, ඇමෙරිකානු ජාතිකයන් 64,000ක් පමණ දෙනා මිය ගියෝය. ඒ සංඛ්‍යාව, වියෙට්නාම, ඉරාක හා ඇෆ්ගනිස්තාන යුදවලදී මැරුණු, ඇමෙරිකානු ජාතිකයන්ගේ සම්පූර්ණ ගණනටත් වැඩිය.”

සුප්‍රසිද්ධ ‘ටයිම්’ ප්‍රවෘත්ති සඟරාවේ කතු මඩුල්ල.

ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යය, ලෝකයේ ඉතාම ඉසුරුමත් දේශයයි. මත්බේත්, ඇබ්බැහිය නිසා ඒ මහා ධනවත් රාජ්‍යයෙහි 122 දෙනෙක් දිනපතා මරණයට පත්වෙති. මිනිස් ජීවිත විනාශ කිරීමෙහිලා, මත්බේත් සතු අධම, අමානුෂික බලය මෙයින් කම්පාදායී ලෙස ඉස්මතු කෙරෙයි.


නවීන ලෝකය විද්‍යාවෙන් කොපමණ ප්‍රගතියට පත්වූවද, තාමත් විවිධ ව්‍යාධි හා ආපදා, මානව ජීවිතයට බැරූරුම් හානි පමුණුවයි. එසේ අධිහානිකර වසංගත අතර මත්බේත් ඇබ්බැහිය ප්‍රධාන ස්ථානයකට පත්ව සිටී.


සන්නිවේදන විද්‍යාවේදී, මාධ්‍ය වෘත්තියේ යෙදුණු අය විසින් සමාජයට ඉටුකළ යුතු වගකීම් හතරක් නම් කෙරේ.


ඉන් පළමුවැන්න වන්නේ ‘මුරකාර සේවයයි’ ඉංගිරිසි බසින් මෙය ‘වොච් ඩෝග්’ මෙහෙය (මුර බල්ලාගේ සේවය) වශයෙන් නම් කෙරේ. එහෙත්, මේ යෙදුම, ඇතැම් සංස්කෘතීන්ට උචිත නොවේ. ‘සුනඛයාට’ එවැනි තැනක්, දෙන්නට ඇතැම් ජාතීන් කැමති නැති හෙයිනි. ඒ නිසා මෙයට ‘මුර දේවතා’ සේවය යන යෙදුම භාවිත කිරීම කොයි තැනට වුවද සුදුසුය.


‘මුර දේවතා’ මෙහෙයෙහි යෙදෙන මාධ්‍ය වෘත්තිකයන් විසින් කළ යුතු ප්‍රධාන රාජකාරියක් නම්, එළඹිය හැකි හානි පිළිබඳව සමාජයට අනතුරු ඇඟවීමත්, සමාජයට ලද හැකි යහපත් දේ පිළිබඳ ශුභ ආරංචිය ගෙන ඒමත්ය.


මේ මුර දේවතා මෙහෙය ඉටු කරමින්, ලෝකයේ ප්‍රධානපෙළේ ප්‍රවෘත්ති සඟරාවක් විසින් ඉටුකරන ලද සුවිශිෂ්ට මානව සේවයක් ගැන අප කියා සිටියේ නැත්නම්, යහපත් මාධ්‍යචර්යා ඉහළින් සැලකීමට අප සතු යුතුකම පැහැර හැරියා වන්නේය. 


අප විසින් සඳහන් කෙරෙන්නේ ‘ටයිම්’ නම් ජගත් කීර්තිමත් ප්‍රවෘත්ති සඟරාවේ අලුත්ම විශේෂ වාර්තා කලාපය ගැනයි. මේ කලාපයේ පිටු 60ම, සම්පූර්ණයෙන්ම භාවිතා කොට තිබෙනනේ මත්බේත් භාවිතයේ කම්පාදායී ආදීනව පිළිබඳව මානව සමාජයට ඉතා දැඩි ලෙස අනතුරු හැඟවීමේ පරම චේනාවෙනි. මත්බේත් ඇබ්බැහියෙන් බැහැරි, අන් කිසිම කිසි දෙයක් ගැන මේ විශේෂ කලාපයේ වචනයක්වත් නැත.


මේ මානවහිතවාදී විශේෂ කලාපය, ඒ සඟරාවේ අවුරුදු 95ක ඉතිහාසයේදී එකම ඡායාරූප ශිල්පියෙකුගේ කෘති සඳහාම පමණක් විශේෂ වාර්තා කලාපයක් පළකෙරුණු ප්‍රථම වාරය වේ. ඒ ඡායාරූප ශිල්පියා දිගු සංචාරයක යෙදෙමින්, මත්බේත් නිසා, ආපදාවට පත් පුද්ගලයන් පිළිබඳව මිනිසුන්ගේ සිතත් හදත් කකියවන වාර්තාවක් සම්පාදනය කරන්නේය.


මෙසේ, ජගත් සම්මානිත ප්‍රවෘත්ති සඟරාවක්, අද ලොව මිනිසුන්ට, මේ මානව අන්තරාය ඉතා තියුණු ලෙස දන්වනු පිණිස පළ කෙරුණු මේ විශේෂ කලාපය, ලොව මාධ්‍යවේදීන් හැමෝගේම ප්‍රශංසාව දිනාගන්නා ප්‍රකාශනයකි. 


මෙහිදී අපේ දේශයේ ඇතැම් මාධ්‍ය චර්යා දෙසට මැදහත්ව අවධානය යොමු කරනු වටී. 


මේ මත්fබේත් උවඳුර නිසා කම්පාවට පත්වී අපගේ ජනතාවට, සාමකාමීව, තැන්පත් ලෙස මේ ‘වසංගතය’ ගැන දන්වනු පිණිස මෙයට දින කිහිපයකට පෙර, අපගේ ගෞරවනීය ආගමික නායකයන් වහන්සේලා අතිකරුණා පූර්වක තැන්පත් පාගමනක යෙදුණාහ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාත්, ගරුතර කාඩිනල්තුමන් පෙරටු කොට ගත් කතෝලික, ක්‍රිස්තියානි පූජකයාණන් වහන්සේලාත් එවැනි මානව හිතවාදී චාරිකාවක යෙදීම අති ප්‍රශස්ත පූජනීය ක්‍රියාවකි.


එහෙත්, මෙහිදී පැහැදිලිව දැකිය හැකිවූ කරුණක් වේ. මහ හඬින් උද්ඝෝෂණ පාඨ කියමින් මහාමාර්ග අවුරමින්, ජනතාවගේ සිත් සතන් දෙදරවමින් තර්ජනාත්මක චලන ආදියේ යෙදෙමින්, ආක්‍රෝශ පරිභව කිරීම්වල නිරතවෙමින් පෙළපාළි නාමයෙන් ජන ජීවිතයට තවතවත් ප්‍රශ්න අර්බුද එකතු කරන සිද්ධි හා කණ්ඩායම් සඳහා මාධ්‍යයන්හි කාලය හා ඉඩකඩක් දැවැන්ත මට්ටමෙන් වැයකරන ඇතැම් මාධ්‍යවලට මේ අතිකාලෝචිත, දරු ජීවිත ගලවා ගැනීමේ අභිප්‍රායයෙන් මෙහෙයුණු උත්තම, මානව හිතවාදී මේ පූජණීය චාරිකාව නොපෙනුණේයේ ඇයි? මෙය සිත කම්පා කරන ප්‍රශ්නයකි. 


මේ මත්බේත් භාවිතය පිළිබඳ මානව ඛේදවාචකය අද ලොව බොහෝ දේශවල මුල් බැස ගත්තේ කෙසේද?
බොහෝවිට මේ අවාසනාවන්ත ඇබ්බැහිය ආරම්භ වන්නේ වේදනා නාශක බේත් ආශ්‍රයෙනි. මේ විශේෂ වාර්තාවේ සඳහන් වන එක් අයෙක්, මත් බේතට ඇබ්බැහි වූයේ ආරෝග්‍යශාලා ගතව සිටියදීය. වේදනාවට, ප්‍රතිකාරයක් වශයෙන් බේතක් නියම කෙරුණේය. මේ ආස්වාදයට වශී වූ රෝගියා, නියම කරන ලද ‘මාත්‍රාව’ (වඩියටත්) අධිකව වේදනා නාශක බේත භාවිතා කරන්නට වන්නේය. ඉන් පසුව, හිතවතෙක් ඔහු ‘හෙරොයින්’ ඇබ්බැහියට යොමු කළේය. කිසිම වේදනාවක් නොදැනීම ගැන ඔහු කොපමණ සතුටට පත් වූයේදයත් ඔහුට මුලදී ඒ ආස්වාදය දරාගන්න බැරිව ඇඬුනේය. ඉන් පසුව ඇබ්බැහිය තහවුරු විය.


අධි මාත්‍රා භාවිත කරන්නට පටන් ගත්විට සිහිසන් නැතිව යේ. එවිට ඒ තැනැත්තාට සිහිය ලබාදෙන මඟක් නොවී නම් ඔහුට යළි ජීවිතයක් නැත. 


ඇමෙරිකාවේ මේ වසංගතය පැතිර ගොස් තිබෙන ආකාරය ගැන කියන නීති නිලධාරියෙක් මෙසේ පවසන්නේය ‘මෙයට ගොදුරු වන්නේ කිසිම වැඩක්-පළක් නොකළ ‘රස්තියාදු’ අය පමණක් නොවේ. ගුවන් නියමුවෝ, ගුරුවරු ආදීහුද මේ ග්‍රහණයට අසුවෙති. සෑම වෘත්තියකම යෙදෙන්නෝ මේ ඇබ්බැහියට ගොදුරු වෙති. පුරවැසි බොහෝ දෙනා මේ අබ්බැහියෙන් මැරීයති.


මේ විශේෂ වාර්තා කලාපයේ ඡායාරූප ශිල්පියා ජේම්ස් නැච්බේ නම් වේ. ඔහු මේ වසංගතය ගැන මෙසේ ප්‍රකාශ කරන්නේය ‘සංඛ්‍යාලේඛනවලින් පමණක් මේ වසංගතයේ ඇති තතු දැනගත හැකි නොවේ. මේ ඇබ්බැහියට ගොදුරු වූ එක් එක්කෙනාගේම බේදවාචකය අප විසින් දැකගත යුතුවේ’ ඔහු මෙසේද සඳහන් කරයි. ‘මේ ඇබ්බැහියට ගොදුරු වූ අයට ආත්ම ගෞරවයක් නැත්තේ නොවේ. ඒ නිසා අප විසින් එවැනි දුක්ඛිතයන් දෙස කරුණා-මෛත්‍රී-පූර්වකව, නෙත් යොමු කළ යුතුවේ.’


මේ කාරුණික ඡායාරූප ශිල්පියා තුළ ඒ දුක්ඛිත පුද්ගලයන්ගේ ඛේදවාචකය කෙරේ ඇත්තේ දයාවකි. ඒ දුක්ඛිතයන් එක්කෙනෙක්වත් ‘නරක මිනිසෙකැයි’ මම නොසිතමි. ඇබ්බැහියට ගොදුරු වන්නට කාටවත් අවශ්‍ය නැත. සිය දේශය ගැන ඒ ශිල්පියාගේ මතය මෙසේය. ‘අපේ රට මෙවැනි අර්බුදයකට ගොදුරු වූ රටක් යැයි හැඳින්වෙනවාට කවුරු හෝ කැමති නැත. ඒ වෙනුවට ඔවුන්ට ඕනෑ කරන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමයි. කලකදී ඇබ්බැහියට ගොදුරු වී සිටි බේරුණු අයගෙන් බොහෝ දෙනාට ඕනෑකරන්නේ දැනට දුක්විඳින අය බේරා ගන්නටයි. 


තමන්ගේ දරුවන් මේ ඇබ්බැහියෙන් පෙළෙන නිසා තියුණු සිත්වේදනාවෙන් පෙළෙනා දෙමාපියෝද මේ වාර්තාවේ තැනක් ලබති.
සිය දහඅට හැවිරිදි දියණිය, ඇයගේ පෙම්වතා නිසා මත්බේතට ගොදුරුවීමෙන් කම්පාවට පත් වූ පියෙක් මෙසේ කියන්නේය. 
‘අපගේ දරුවෝ, අප භූමදාන කරතියි අපි සිතුවෙමු. අපි විසින් ඒ දරුවන් භූමිදාන කළ යුතු යැයි සිතන ලද්දේ නොවේ.’


මේ විශේෂ වාර්තා කලාපය, අද ලෝකයේ හැම සමාජයක් වාසියට පාහේ ක්‍රමවත් ලෙස අධ්‍යනය කළ යුතු ප්‍රකාශනයකි.
මෙහි විශේෂත්වය නම්, මේ ගවේෂණය විසින් සමාජයේ හැම තරාතිරමකම පිරිස්, මේ අර්බුදය හා සම්බන්ධ වන ආකාරය සොයා බැලීමට යොමු වී තිබීමයි.


ශ්‍රී ලංකා සමාජයද, මේ ඛේදවාචකයට ඉතා දැඩි ලෙස අසුවී සිටී. එහෙත් ඒ වසංගතයේ තත්තවය ඇති සැටියේ සොයා බලනු පිණිස, පෘථුල පර්යේෂණයක යෙදෙන්නට අපි තාමත් සමත් නොවූවෙමු. 


මෙහිදී ප්‍රධාන වන්නේ බාහිර බලපෑම්වලට වගකීම පවරා, සමාජයේ යහචාර්යා, පිළිබඳව නිසි පමණ නොසිතා සිටීම නොවේ. දරුවෙකු හෝ වැඩිහිටියෙකු මේ අවාසනාවන්ත, ‘ව්‍යාධියට’ ගොදුරුවන ආකාරය, මේ වාර්තාවෙන් ඉතා ව්‍යක්තව ප්‍රකාශ කරන්නේය.


මේ ඛේදවාචකය, මෙහි වාර්තා කෙරෙන්නේ හුදෙක් වචනයෙන් පමණක් නොවේ. ඒ ලේඛන ගත වාර්තාවට, තියුණු අටුවාවක් සපයන ඡායාරූප පද්ධතිය, මේ විශේෂ වාර්තාව අධ්‍යනය කරන හැමෝගේම, සන්තාපයේ ගැඹුරට සනිටුහන් වේ.


 සහමුලින් මූර්ඡාවී යළි පණගන්වනු ලබන ඇබ්බැහියෙකුගේ රූපය මේ මානව ඛේදවාචකයේ  සිත පාරන පක්ෂය පිළිබඳ අතිකම්පාදායී දෘශ්‍ය ප්‍රකාශයකි. 


මත්බේත එන්නත් කළ යුතු නියම නහරය පාදනු පිණිස එක් ඇබ්බැහියෙක් සිය කම්මුල් පුම්බාගෙන සිටී. මේ එක් ඡායාරූපයකි. 
අපරාධකාරයන් අල්ලන පොලිස් නිලධාරීන්ගේ වෘත්තියෙහිද, මේ ඇබ්බැහිය නිසා, විවිධ වෙනස්කම් උද්ගත් වී ඇත්තේය.


මීට පෙර අවස්ථාවල, පොලිස් නිලධාරියා, අපරාධකාරයන් අල්ලන්නට ගියේ මාංචු රැගෙනයි. එහෙත් දැන් ඒ නීතියේ නියෝජිතයා යන්නේ ‘නැලොක්සෝන්’ නම් බේත රැගෙනයි. දැඩි මත්කම නිසා මරණයට කිට්ටු මුර්ඡාවක සිටින ඇබ්බැහියාට, යළි පණ දිය හැක්කේ ඒ බේතෙනි.


ශ්‍රී ලංකාවේ අපි, මේ පර්යේෂණයෙන් නිසි ප්‍රයෝජන ගත යුතුවෙමු. අප විසින් විශේෂයෙන්ම කළ යුතු වන්නේ, දරුවෙකු හෝ වැඩිහිටියෙකු ඒ ඇබ්බැහියට ගොදුරු වීමේ ප්‍රාථමික අවධිය විශේෂයෙන් නිරීක්ෂණය කිරීමයි. එවැනි සෙවීමක යෙදී මේ අන්තරායට ගොදුරු විය හැකි පිරිස් ඉන් බේරා ගැනීම සඳහා දේශ ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුවේ. දරුවන් තුළ දැඩි ආත්මශක්තියක් තනාලීම, බාහිර බලවේග පාලනය කිරීමටත් වැඩි මුඛ්‍යතා ලද යුතු ජාතික කැපවීමකි. 


මේ ඇබ්බැහි චක්‍රය ආරම්භ වන ආකාරය පිළිබඳව, අපගේ දේශයට අදාළ ආකාරයෙන් පෘථුල මට්ටමෙන් සොයා බැලීම් කළ යුතු වන්නේය.


ඇමෙරිකාවේ උසස් පාසැලක, උගෙන ගත් දරුවෙකුව සිටියදී තමාට සිදුවූ හදිසි අනතුරක් නිසා, තමා මත්බේත් ඇබ්බැහියට පත්වූ ආකාරය වැඩිහිටියෙකු විසින් ප්‍රකාශ කොට ඇත්තේය. පාසැල් වියේදී පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහු හදිසි අනතුරකට මූණ පෑයේය. ඔහුගේ, දණහිස් සහ පිට තුවාල වූයේය. එහිදී ඔහුට නොයෙක් වේදනානාශක බේත් වර්ග භාවිත කරන්නට නියම කරන ලදී. එතැන් පටන් ඔහුට ඒවායේ ග්‍රහණයෙන් බේරීගත හැකි නොවීය. මේ නියමිත වේදනා නාශක බේත්වලට වඩා බොහෝ සේ මිල අඩු වේදනා නාශක ලැබුවේය. එතැන් පටන් ඔහු ඒවාට පුරුදු විය.


ශ්‍රී ලංකාවේ ඇතැම් ආයතන විසින්, ඒ ඇබ්බැහි ගතවූවන් පුනරුත්තාපන කෙරේ. එහෙත්, අද පවත්නා සමාජ ප්‍රවණතා අනුව මේ දේශයේ වගකිව යුත්තන් විසින් මුඛ්‍යතා දිය යුතුවන්නේ ඇබ්බැහිය ආරම්භ වන ආකාරය ක්‍රමවත්ව සොයා බලා එතැනට සිත් යොමු කිරීමයි. ඇබ්බැහි ඇති කරන්නට ප්‍රයත්න දරන අයට ‘නෝ’ කිව හැකි චින්තනය දරුවන්ට දිය යුතුවේ. 


 

ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ කාලය

ශ්‍රී ලංකාවේ සිනමා සම්ප්‍රදායයේ අසහාය “ගුරු” පදවිය දරන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා ඍෂිවරයා ඔහුටම විශේෂ වූ හාස්‍ය රසයක් සහිත විශාරදයෙකි.


එතුමාගේ “ගම්පෙරළිය” චිත්‍රපටය ප්‍රංශය විසින් පුනරුත්ථාපනය කොට ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී එම ප්‍රංශ තානාපතිවරයාට කෘතඥතාව ප්‍රකාශ කරමින් මේ සිනමා උපහාරය ගැන එතුමාට ප්‍රශංසා කළෙමි. මා හා සමග එහි සිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ප්‍රංශ තානාපතිතුමා ඇමතුවේය. “තානාපති මහතාණෙනි, ඔබ මගේ චිත්‍රපටය පුනරුත්ථාපනය කළා. ඔබට මා පුනරුත්ථාපනය කරන්නට බැරිද?”


තවත් වතාවකදී ආචාර්ය ලෙස්ටර්, සුමිත්‍රා පීරිස් මහත්මිය හා සමග සාදයකට සහභාගි විය. ආචාර්ය ලෙස්ටර් එහි ගියේ කවුරුත් විමතියට පත් කළ චර්යාවකිනි.


ආචාර්ය ලෙස්ටර් අත් දෙකේ අත්ඔරලෝසු දෙකක් පැළඳ සිටියේය. “මේ ඇයිදැ”යි බොහෝ දෙනා විමසූහ. ආචාර්ය ලෙස්ටර්ගේ පිළිතුර “හේතුව ඉතා සරළයි. අපට ඇස් දෙකක් තිබෙනවා. කන් දෙකක් තිබෙනවා. කකුල් දෙකක් තිබෙනවා. එසේ නම් ඔර්ලෝසු දෙකක් දෑතේ පැළඳීමේ අමුත්ත කුමක්ද?


 

පැරැණි පොත පත ගීතාන්ජලී

මහා කවි රවීන්ද්‍ර නාත් තාගෝර්තුමා විසින් විරචිත ‘ගීතාන්ජලී’ කාව්‍ය සංග්‍රහය, ඉතා විචිත්‍ර ඉතිහාසයක් සහිත කෘතියකි.
මේ කෘතිය තාගෝර්තුමන් විසින් මුලින් සකස් කරන ලද්දේ 1910 යෙදීය. ඒ මුල් බෙංගාල පද්‍ය සංග්‍රහයෙනි. ගීත 157ක් පමණ අන්තර්ගත වූයේය.


මේ ග්‍රන්ථයේ ඉංගිරිසි ප්‍රකාශනය සකස් වූයේ 1912යේදීය. ඩබ්ලිව්.බී. යේට්ස් නම් අයිරිස් ජාතික ඉංගිරිසි කවියා ඒ පද්‍ය සංග්‍රහයේ ඇතැම් නිර්මාණ ඉංගිරිසි භාසාවට නැඟුවේය.


මේ ඉංගිරිසි භාෂාත්මක ප්‍රකාශනයට, 1913යේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණේය.


යුරෝපීයයෙකු නොවන ලේකඛයෙකුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණු ප්‍රථම අවස්ථාව මෙයයි.


එමෙන්ම පෙරදිග ලේකඛයෙකුට ත්‍යාගය පිරිනැමුණු ප්‍රථමවතාවද මෙය වූයේය.


ඒ ගෞරවයට අතිරේක වශයෙන්, මේ ගීතාන්ජලී කාව්‍ය සංග්‍රය ජගත් පූජිත ග්‍රන්ථ මාලාවටද එකතු කරනු ලැබුවේය. ඒ සම්මානය පිරිනමන ලද්දේ ‘යුනෙස්කෝ’ ආයනය විසින්.


‘ගීතාන්ජලී’ යන පදයේ අරුත, ‘ගීතමය උපහාර’ යන්නයි. 


මේ කෘතිය, සකස් කෙරුණේ විශ්වයේ බලවේගය වන දෙවියන්ට පිදෙන ස්තෝත්‍ර මාලාවක් වශයෙනි.


එහි අඩංගු ගූඪ දර්ශනය, තාගෝර්තුමා විසින් විශ්වය පිළිබඳව අදහන ලද ධර්මයේ ගීතමය ප්‍රකාශනයකි.


‘ගීතාන්ජලී’ කාව්‍ය ග්‍රන්ථය විවිධ ලේකඛයන් විසින් සිංහලයට නඟා ඇත්තේය. තරමක් මෑතකදී එඞ්මන්ඞ් ජයසූරිය විද්වතා විසින්ද මෙහි සිංහල අනුවාදයක් ප්‍රකාශ කරන ලද්දේය. මේ කාව්‍ය සංග්‍රහයේදී තාගෝර්තුමා විශ්ව බලවේගයට මෙසේ අමතන්නේය. ‘මගේ දිවිපෙවෙත, සරල වේවා. ඍජු වේවා. ඔබට, මා සංගීතයෙන් පිරිවිය හැකි පරිදි, මා බට ලී වස්දඬු නලාවක් වේවා.’


 

ඉන්දියාව කම්පා කළ නිළි රැජිණ ශ්‍රී දේවි

ශතවර්ෂයක භාරත සිනමා සම්ප්‍රදායයේ අසහාය නිළි රැජිණ වන ශ්‍රී දේවි, සිය ලෝලී ජනකාය දුක් සයුරේ ගිල්වමින් ජීවන කරළියෙන් සමුගත්තාය. එහෙත්, එතුමිය, ලොවට ආයුබෝවන් කියා සිය කෙටි පනස් හතර වියේ ජීවිතය නිමා කළේ මුළු ලොවටම ගැඹුරු ප්‍රහේලිකාවක් ඉතිරි කරමිනි.


එතුමිය, ඩුබායිහි පැවැති මංගලf්‍යාත්සවයකට සහභාගී වූවාය. අදිසියේම ඒ මංගල්‍ය අවස්ථාව, දෝමනස්සයෙන් පිරි අවමංගල්‍යයක් බවට පත්විය.


එතුමිය අදිසි හෘද්‍යා බාධයකින් මිය ගියාය යන පුවත, ලොව පුරා පැතිර ගියේය. ඉන් පෑ ගණනකින් පසුව, ඒ සිද්ධියේ මුහුණුවර, මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය.


ඩුබායි පෙදෙසින් ආයේ ඉන්දියාව හා ලෝකය කම්පා කළ මුල් පුවත් තවත් පෘථුල ප්‍රමාණයකින් වැඩිදියුණු කරමිනි.


ඒ පසුව ආ ප්‍රවෘත්තියෙන් කියැවුණේ ශ්‍රී දේවි නිළි රැජිණ   
නාන කාමරයේ දිය කොරහෙහි (බාත් ටබ්) ගිලී අභාවයට පත් වූ බවයි. මූර්ජාවෙන් දිය කොරහෙහි ගිලී විපතට පත් ඒ නිළි රැජිණගේ දේහය නිජ භූමියට ගෙන ඒම ප්‍රමාද වූයේය.


මෙයට පණස් හතර වසකට පෙර දකුණු ඉන්දියා පෙදෙසෙහි උපත ලැබූ ඇය ශ්‍රී අම්මාන් යාන්ගර් අයියප්පන් නම් වූවාය.


යන්තම් සිව්වන විය ලද හැටියේ ඒ ළදරු නිළිය, එම්.ඒ. තිරුමුගම් අධ්‍යක්ෂකවරයාගේ “කුනයිවන්” නම් චිත්‍රපටයේ රඟපෑවාය.


එතැන් පටන් අඩ සියවසක් පුරා ඉන්දීය නිළි පරපුරේ නිල නොලත් රැජිණ පදවිය අත්වූයේ ඇයටය.


සම නළු නිළි පිරිසක්, කෝටි සංඛ්‍යාත ලෝලීන් කණ්ඩායමක්, ඇය “බොලිවුඞ්හි” සිහසුනේ තබා සම්මානය දැක්වූහ.


එහෙත් අවසානයේදී ඒ මහා නිළි රැජිණට පෙබරවාරි 27 වන දා රෑ අම්බාන් විශේෂ ගුවන් යානයකින් සිය රාජධානියට එළඹෙන්නට සිදුවූයේ තමන් නිසා වැළපෙන ජනකායගේ ශෝක රාවය නොඇසෙන කන් සහිතවයි. ශ්‍රීදේවි ජන හද මැදුරු තුළ හැමදාම රැජිණකි.


කෝටි සංඛ්‍යාත සිනමා ලෝලීන්ගේ සෝසුසුම් මැද නිළි රැජිණ ශ්‍රීදේවිගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (28) සවස 3.30 ට මුම්බායේදී පැවැත්විණි.


RECOMMEND POSTS