සද්දන්තයෝ ගොඩබිම මැරෙති සරණාගතයෝ මහමූදේ මැරෙති



 

 

ත්‍රස්තවාදී ඝාතකයෝ මිනිසුන් මරා දමති. යුද වැදුණු තැනැත්තෝ ඔවුනොවුන් නසා ගනිති. එවැනි ඛේදවාචක පිළිබඳ පුවත් ලොව පුරා පැතිරෙයි. එහෙත් මේ දිනවල ඉතා බහුල වශයෙන් අසන්නට ලැබෙන්නේ එවැනි සංහාරවලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක ජීවන විනාශ පද්ධතියක් ගැනයි.

 


මීට දින කිහිපයකට පෙර අප්‍රිකාවේ කෙන්යා රාජ්‍යයෙන් වාර්තාවක් නිකුත් වූයේය. ඉන් ප්‍රකාශ වූ ප්‍රවෘත්තිය මුළුමහත් මානව වංශයටම එල්ල කෙරෙන බලවත් චෝදනාවක් වැන්න.


ඒ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන්නේ තුන් අවුරුද්දක් මුළුල්ලේ කරන ලද ගගණගාමී පරීක්ෂණයක ප්‍රතිඵලයයි. පරීක්ෂණයට පාත්‍ර වූයේ අප්‍රිකාවේ සැවන්නා මහ තණබිම්, සිය ජීවන ප්‍රදේශ කොට ගත් වන අලි-ඇතුන් පිළිබඳ ඛේදදායී කතාවකි. ඉන් ප්‍රකාශ වූයේ ඒ තණ බිම් ආශ්‍රිතව ජීවත්වන වන අලින්ගෙන් සියයට තිහක්ම මැරී ගොස් තිබෙන බවයි. ඔවුන් මැරුණේ ස්වභාවික හේතු නිසා නොවේ. ඔවුන්ගේ දිවි තොර කරන ලද්දේ කුරිරු අමානුෂික මිනිසුන් විසිනි.


මෙය ශ්‍රී ලංකාවේ වන අලි මිනිසුන් ගැටුමට බොහෝ සේ වෙනස්ය. අපේ රටේ වන අලි නිසා මිනිස් ජීවිත හානියට පත්වන අවස්ථා බෙහෙවි. මිනිසුන්ගේ වගාවල් සහ නිවාසද වන අලි විසින් විනාශ කෙරේ. වන අලින්ගෙන් එවැනි තාඩන පීඩන සිදු වුවද, ඒ අලි ගහණ පෙදෙස්වල ගැමියෝ මැරීගිය වන අලි දුටු විට අනේ-අපොයි කියති. ඔවුන් හැම විටම කියා සිටින්නේ වන අලි උවදුරට විසඳුමක් ලබා දෙන්නට කියාය. ඒ වන අලි මරා දමන්නට  යැයි උන් නිසා වධ වේදනා විඳින අපේ ගැමියෝ කිසි විටෙක නොකියති.


අප්‍රිකා සැවන්නා තණ බිම්වල වන අලි ගැන ක්‍රමවත් අධීක්ෂණයක් මෙහෙයවන ලද්දේ මයික්‍රොසොෆ්ට් පරිගණක ව්‍යාපාරයේ සමාරම්භක පෝල් ඇලන් විසිනි. කෝටිපතියකු වන ඒ සත්පුරුෂයා දානපතියෙක් ද වේ. වන අලි ඉරණම පරීක්ෂා කෙරෙන අධීක්ෂණය සඳහා වැය කෙරුණු ධන ප්‍රමාණය ඩොලර් හැත්තෑ ලක්ෂයකි.

 

 


මේ ගගණගාමී සමීක්ෂණය, මෙයට පෙර අන් කිසිකලෙක සිදු නොවූ විදියේ ක්‍රියාදාමයකි. මෙතෙක් සිදුවූ මහාම වන ජීවී  සමීක්ෂණය වන මේ කාර්යය සඳහා අප්‍රිකානු රාජ්‍ය දහ අටකට ඉහළින් ගගණ යානා පියාසර කරවිය යුතු වූයේය.


විද්‍යාඥයන් සහ පරිසර සංරක්ෂණ විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් මේ සමීක්ෂණයට සහභාගි වූහ. ඔවුන් විසින් මුලින්ම කරන ලද්දේ ජීවමාන අලි ඇතුන් හා මළ අලි සිරුරුත් සංරක්ෂණය කිරීමයි.


ඒ මගින් ප්‍රධාන සමීක්ෂණය උදෙසා පාදක වන දත්ත පෙළක් ලබාගත හැකි වූයේය. වන අලින් පිළිබඳව මත්තේදී කෙරෙන අධ්‍යයන සඳහාත්, ඔවුන් ආරක්ෂා කිරීමේ පියවර සඳහාත් ඒ දත්ත පදනම බොහෝ සේ උපකාරී වේ.


මේ සමීක්ෂණය නම් කෙරෙන්නේ “මහා වන අලි සංගණනය” වශයෙනි. 


සංගණනය පිළිබඳ විස්තර, ඉතාම සිත්ගන්නාසුළුය. සමීක්ෂණය ආරම්භ වූයේ 2013 දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා ගගණ යානා 81ක් මෙහෙයවන ලදී. කණ්ඩායමේ සාමාජිකයන් සංඛ්‍යාව 286 දෙනෙකි. සමීක්ෂණයට අයත් ගගණ යානා රටල් 18කට ඉහළින් කිලෝමීටර් 463,000ක් දුර පියාසර කළහ.

 

 


සංගණනයට ලක්වූ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 352271ක් දෙනෙකි. 2007-2014 කාලය හා සමඟ සසඳන විට මේ සංඛ්‍යා ලේඛනයෙන් පෙනී යන්නේ වන අලින් අතරින් සියයට 30ක් නැතිවී ගිය බවයි. සංඛ්‍යා වශයෙන් අලි 144,000ක් මේ කාලය තුළ වැනසී ගොස්ය.
මෙයින් ප්‍රකාශ වන්නේ අප්‍රිකා වන අලි නැසීයෑමේ ප්‍රකාශනය වර්ෂයකට සියයට අටක් බවය.


ජගත් පාරිසරික සංරක්ෂණ සංවිධානය විසින් නොබෝදා ප්‍රකාශ කරන ලද්දේ අප්‍රිකාවේ දවසකට අලි ඇතුන් 96 දෙනකු ඝාතනය කෙරෙන බවයි. 


ඒ ඛේදවාචකය ඉස්මතුකොට දක්වමින්, ඒ සංවිධානයේ සමන්තා ස්ටි්‍රන්බර්ග් හ ෆියෝනා මයිසෙල්ස් මෙසේ පවසති.


අප මේ ගැන ක්‍රියාකාරී නොවුණහොත් අපට අපගේ දරුවන් හමුවෙහි ලජ්ජාසහගතව පිළිගත යුතුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත නැති කරනු ලබද්දී අප නිකම් බලා සිටිය බවයි.


අප්‍රිකාවේ වන අලි වනසන ප්‍රධාන ස්ථානය සේ නම් කෙරෙන්නේ ඇන්ගෝලාව, මොසැම්බික් සහ ටැන්සානියාවයි. 


එහෙත් දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, උගන්ඩා ආදී රාජ්‍ය කිහිපයක අලි ගහණය නොඅඩුව පවතී. එපමණක් නොවේ එවැනි සමහර ප්‍රදේශවල වන අලි සංඛ්‍යාව අධික වෙමින්ද පවත්නේය.


ශ්‍රී ලංකාවේත් වන අලි සංඛාව ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතී. මේ පිළිබඳව අදහස් පවසමින් වනජීවී කාර්යාංශ නිලධාරියෙක් මට මෙසේ කීයේය.


විසිවන ශතවර්ෂය ආරම්භයේදී ශ්‍රී ලංකාවේ විසූ වන අලි සංඛ්‍යාව හැටදහසක් පමණ විය. එහෙත් ඒ සංඛ්‍යාව මේ වන විට හයදහස දක්වා පහත බැස ඇත්තේය.


අප්‍රිකාවේ වන අලි නසනු ලබන්නේ හිතාමතාම ඝාතනයේ යෙදෙන නපුරු මිනිසුන් විසිනි. ඔවුහු මේ වන රාජ සත්ව විශේෂයාගේ දළ සහ සෙසු අංගෝපාංග උදෙසාත්, ඒ වර්ගයාට හානි පමුණුවති.


එහෙත් ඊට හාත්පසින්ම වෙනස් චරිත ගති ඇති යහපත් සත්ව කරුණාවෙන් සපිරි මිනිස්සුත් අප්‍රිකාවේ සිටිති.


කලකට පෙර ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍ය මගින් එවැනි හොඳ මිනිසකු පිළිබඳ ප්‍රවෘත්තියක් ලෝකයට දනවන ලදී.


මේ කියන පුද්ගලයා වන අලින්ට කරුණාව පෑ අයෙකි. වන අලින්ට ජලය සහ ආහාර හිඟ කාලවලදී ඔහු ඒවා සම්පාදනය කළේය.
කාලයාගේ ඇවෑමෙන් ඔහු අභාවයට පත්විය. ඔහු අභාවයට පත්වූ දා රෑ වන අලි සමූහයක් ඔහුගේ නිවසට ආහ. නිවස අවට නිසලව ඒ වන අලි, ඔහුගේ අවමංගල්‍ය කටයුතු නිමා වන තෙක්ම එහි සිට පෙරළා සිය වන නිවාසවලට ගියහ.


ඒ පුද්ගලයාගේ කාරුණික භාවයට, එවැනි කෘතඥතාවක් පිරිනමන්නට ඒ වන අලි දැන සිටියේ කෙසේද? දැඩි කුහුලක් දනවන සිද්ධියකි.


මේ අප්‍රිකානු වාර්තාව නිසා මේ දේශයේ අලි-මිනිස් ගැටුම දෙසට ද අවධානය යොමු කරන්නට සිදුවේ. මේ වන ජීවීන්ගෙන් ගැමියන්ට සිදුවන ගැහැට දුරුකොට, මිනිසුන්ට සිතේ සහනයෙන් වෙසෙන්නට, අනුගමනය කළ හැකි ප්‍රතිපත්තියක් ගැන ඉතා ගැඹුරට සලකා බැලිය යුතු සමයක් උදා වී ඇත්තේය.

 


ශතවර්ෂ ගණනක් මුළුල්ලේ වන අලින්ගේ නිවාස වශයෙන් පැවැති මේ බිම් පෙදෙස්වල ඉපැරැණි හිමිකරුවන්ට නිදැල්ලේ හැසිරෙන්නේ මිනිසුන් හා සමුඟ සුහද සහජීවනයෙන්, ජීවත් විය හැකි මඟක් සැලසිය නොහැකි ද?


ශීඝ්‍ර වේගයෙන් අඩුවීගෙන යන වන අලි පෙළ, නැත්තටම නැති වී ගිය කලක අපගේ මේ විභූතිමත් දිවයිනේ ප්‍රතිබිම්බයට ද ප්‍රබල හානියක් සිදු වනු නියතයි.


වන අලින්ට හානි පමුණුවනු ලබන්නේ ධනයට ගිජු දුර්දාන්තයන් විසිනි.


එහෙත් අද ලොවට දැඩි අර්බුදයක් සපයමින්, සරණාගතයන් මරණගාතයන් බවට පත් කෙරෙන්නේ, කෘර නර රකුසන්ගේ විකෘති චින්තනය විසිනි. අහිංසක මිනිසුන්ට සිය නිජ බිමෙහි වෙසෙන්නට ඉඩ නොතබා, ඔවුන්ගේ ජීවිත වනසාලන මේ මිනිස් රකුසෝ ඒ අහිංසකයන් මරු කටට පළවා හරිති.


තමන්ගේ නිජබිමට අරක්ගෙන සිටින සිත් පිත් නැති  දුර්දාන්තයන්ගෙන් බේරෙනු පිණිස, සිය ගේ දොර හැර දමා යන අහිංසක සරණාගතයෝ තවත් අමානුෂිකයන් කණ්ඩායමකගේ පීඩනයට ගොදුරු වෙති.


දිවි නොතකා, අන්තරායට මුහුණපාන සරණාගතයෝ තවත් හොර රංචුවකගේ ග්‍රහණයට අසුවෙති. සිය දේශයෙන් පලා යන සරණාගතයන් බොහෝ දෙනාගේ අරමුණ, කෙසේ හෝ මධ්‍යධරණී තරණය කොට තමන්ගේ අභය භූමිය සේ සැලකෙන, සිසිලියේ කැටනියා තොටුපළට පය ගසා ගන්නටයි.


මූද තරණය කරන්නට, ඔවුහු තමන් සතු සියලු වස්තුව හෝ දී බෝට්ටුවකට නැග ගන්නට බලති. මෙහිදී ඒ අසරණයෝ, තවත් “ජීවිත හොරුන්” කණ්ඩායමකට අසුවෙති. මේ දුක්ඛිතයන්ගේ මස්ස ගසා ගන්නා ඒ “ජීවිත හොරු” මූද තරණය කළ නොහෙන දුබල පාරුවකට හා බෝට්ටුවකට ඒ යාත්‍රාවට ඔරොත්තු නොදෙන සංඛ්‍යාවක් පටවති.


වැඩිදුර යන්නට පෙර, ඒ සංඛ්‍යාවගේ බරට ඔරොත්තු දීගත නොහෙන බෝට්ටුව සාගරයේ කිඳාබසී. ඔවුන්ගේ බලාපොරොත්තු හා අසරණ ජීවිතත් එතැනින් කෙළවර වේ.


එවැනි අන්තරායකර යාත්‍රාවකට ගොඩවන්නට පවා මේ සරණාගතයන්ට දින ගණනක් ලිබියාවේ කොතැනක හෝ නැවතී සිටිය යුතු වේ. එහිදී ඒ අසරණයෝ “ජීවිත හොරුන්ගේ” ජීවිත ඛාදකයන්ගේ තාඩන පීඩන ගැහැට අතවර ආදියට ගොදුරු වෙති.


මේ සරණාගතයන් බොහෝ දෙනා රැස්වන්නේ ලිබියාවේ සබ්රානා තොටුපළටයි. එතැනදී ඒ අබල - දුබල  බෝට්ටුවකට නැග ගන්නට පවා ඇතැම්හු බැනුම්, ගුටිබැට, කසපහර ඉවසිය යුතු වේ.


ලිබියාවේ සබ්රානාවේ සිට සිසිලියේ කැටතියා තොටුපලට සැතපුම් 300කි. එහෙත් මූදු ගමනේ අඩක් තැන් යන්නටත් පෙර බොහෝ බෝට්ටු ගිලා බසී.


එසේ ගිලාබස්නා යාත්‍රාවල සිටින අයට යන්තම් හෝ වාසනාවක් තිබිණි නම් ආණ්ඩුවේ ජීවිතාරක්ෂක බෝට්ටු මගින් ඔවුහු බේරා ගනු ලැබෙති. එවැනි වාසනාවක පිහිට නැති අයගේ සරණාගත සිහින කෙළවර වන්නේ මධ්‍යධරණී සාගර පත්ලේය.


එසේ වාසනාවේ බැල්ම ලද අය අතුරින් 106,461 දෙනෙක් මෙතෙක් මේ වර්ෂය තුළ ඉතාලියට යා ගත්හ. 10,986 දෙනෙක් ලිබියාවේ වෙරළාරක්ෂක සේවය විසින් ගලවා ගනු ලැබූහ.


මේ අවුරුද්දේ මේ වන විට 2726 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


මේ සා විශාල සංඛ්‍යාවකට මෙවැනි ඉරණමකට මූණපාන්නට වූ බව දැන දැනත්, තවත් සරණාගතයෝ අභය භූමිය පතා ලිබියාවට රැස්වෙති.


අලුත්ම ආරංචියට අනුව මේ වන විට ලිබියාවට පැමිණ සිටින සරණාගතයන්ගේ සංඛ්‍යාව හාරලක්ෂයකටත් අධිකය. 


සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්‍ෂක තැන්පත්, ෆෙඞ්රිකෝ සෝඩා මහතා මේ අවාසනාවන්ත සරණාගතයන්ගේ ඉරණම ගැන මෙසේ පවසන්නේය.


“මේ සරණාගතයන් යාත්‍රා කරන්නේ ගිලෙන්නට සැලසුම් කළ බෝට්ටුවලිනි.  ඔවුන්ට උපකාර කරන්නට කිසිවෙකු නොමැති නම් ඔවුන් සියලු දෙනාම මියයති.


මෙසේ ඒකාන්ත මරණයට මුහුණපාන සරණාගතයන්ගේ ජීවිත බේරා ගන්නට සැරසුණු, මානව හිතවාදී කණ්ඩායම් ද සිටිති.


ඉන් ප්‍රධාන තැනක් ගන්නේ යුරෝපා දේශයන්හි ඒකාබද්ධ නාවුක සංවිධානයකි. ඔවුහු ආපදාපන්න සරණාගතයන් සෙවීමේ සහ ඔවුන් බේරා ගැනීමේ මානව භක්ති පූර්වක මෙහෙයුමෙහි යෙදී සිටිති.


එසේම ඒ අන්තරායකාරී මූදු පෙදෙස ආශ්‍රිතව යාත්‍රා කරන වෙළෙඳ නැව් ද අනතුරට පත්වන යාත්‍රාවල ගමන් ගන්නා අයට පිහිට වෙති.


මේ ජාත්‍යන්තර සමුද්‍ර යාත්‍රා නීතියේ සම්මුතියකට අනුකූලවය. ඒ අතර මානව භක්ති පූර්වක සංවිධාන විසින් ක්‍රියාවේ යොදවනු ලබන ගැලවීමේ නෞකාවක්, මේ විපතට පත් සරණාගතයන්ට පිහිට වෙති.


මෙසේ පණ නොතකා අභය ස්ථාන සොයා ගෙන යමින් අනන්ත විපත්ති සාගරයකට බිලිවන අසරණ ජනකායගේ ඉරණම විසඳන ස්ථාවර සැලැස්මක් මානව භක්තියේ නාමයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෝ සකස් කළ යුතුව ඇත්තේය.


මේ සරණාගතයන් පිළිබඳ ජීවිතයත් මරණයත් අතර අර්බුදය හුදෙක් මැදපෙරදිගට, සිරියාවට, අප්‍රිකාවට හෝ බංග්ලාදේශ් රාජ්‍යයට හෝ  සිමා වූයේ නොවේ.


ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ද, අන්තගාමීව සිතමින්, සාගරයට දිවි පුදන්නට වුවද සැරසෙති. එවැනි අතෘප්තිමත්, කණ්ඩායම් සඳහා නිසි උපදේශන සම්පාදනය කිරීමේ වගකිවයුතු අංශයක් පිහිටුවාලීම අපට මේ ලිබියා සරණාගතයන්ගේ ඉරණමින් උගත හැකි ප්‍රධාන පාඩමකි.


මෙයට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර මේ සරණාගත ආශාව පැතිර තිබුණේය.


දැනට මේ ආවේගය තරමකට හෝ ලිහිල්ව තිබෙන්නේ සරණාගතයන්ගේ කම්පාදායී ඉරණම අද යුගයේ ප්‍රබල මානව ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන හෙයිනි.


එසේම මාධ්‍ය විසින් මෙහිලා ඉටු කළ යුතු මෙහෙවරක් ද වෙයි. 


මේ කාලයේදී ලෝකයේ බොහෝ තැන්වලින් අසන්නට ලැබෙන සරණාගතයන් පිළිබඳ හද සසල වන ප්‍රවෘත්තියි. මානව හිතවාදී පදනමක සිට ජන අවධානයට ලක් කළ යුතු වන්නේය.


සරණාගතයන් පිළිබඳව නොබෝදා ජගත් ජනමාධ්‍යයන් විසින් ඉස්මතු කොට දක්වන ලද පුවතක් ද මේ අර්බුදයට අතිශයින්ම අදාළය.


ඒ ප්‍රවෘත්තියෙන් කියැවූයේ මෙයයි. ඉතාලියේ රජයේ අනුග්‍රහයෙන් දින හතරක් ඇතුළතදී ආපදාවට මුහුණපෑ සරණාගතයන් 12,500ක් දෙනා ගලවා ගන්නා ලදී. එසේ මානව භක්ති පූර්වකව මේ සරණාගතයන්ගේ ජීවිත රකිනා අවස්ථා ද ජන අවධානයට ලක් කළ යුතු වේ.


RECOMMEND POSTS