හවුල් රජයකට කැමැති වෙයි



දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එකඟතාවක් ඇති කර ගත්තේය.

පක්ෂ දෙකේම නායකයන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව දැනුම් දුන්නේය. දේශපාලන පටු අරමුණු පසෙකලා, රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමටත්, ආර්ථික වශයෙන් දුර්වල වුණු රට නැගී සිටුවීමටත් පියවර ගන්නා බවට ‘මුස්ලිම් ලීගය එන්’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පවසා තිබේ.

පසුගිය 8 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන්, වැඩිම ඡන්ද දිනුවේ ස්වාධීන අපේක්ෂකයන්ය. ඔවුන්ගෙන් ද වැඩි දෙනා දූෂණ චෝදනාවලට වරදකරු වී, සිරදඬුවම් විඳින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ හිතවාදීන්ය.

‘මුස්ලිම් ලීගය එන්’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එක්වුවත්, ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බැවින්, ස්වාධීන දේශපාලන කණ්ඩායම් හවුල් කරගනිමින්, හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට ‘මුස්ලිම් ලීගය එන්’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එකඟ වී ඇත.

මහ මැතිවරණයේ දී නවාස් ෂරීෆ් ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය මෙහෙයවූවත්, පිහිටුවන හවුල් රජයේ අග්‍රාමාත්‍ය ධුරය, නවාස් ෂරීෆ්ගේ සොහොයුරු ෂෙහ්බාස් ෂරීෆ්ට පිරිනැමීමට කැමැත්ත පළ කෙරුණි. බිලාවිල් බූතෝ, ඔහුගේ පියා අසීෆ් අලී සර්දාරි ජනාධිපති ධුරයට යෝජනා කර තිබේ. ඊට ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ කැමැත්ත පළ විය.

ඒ අනුව, නව රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇති වුණු බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ දෙක දැනුම් දුන්නේය.

මෙම හවුලට ඉම්රාන් ඛාන් සහ, ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ දැඩි විරෝධයක් එල්ල වී ඇත.

‘සොරුන් සහ සොරුන්’ එක් වී රජයක් පිහිටුවා ඇතැයි වසර 14 ක සිරදඬුවමක් විඳින ඉම්රාන් පවසා තිබේ. 2022 වසරේ දී, ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දමා පිහිටුවූ රජයේ අග්‍රාමාත්‍යවරයා වූයේ ද 72 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ් ය.

එම රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ 35 හැවිරිදි බිලාවිල් බූතෝය. අසීෆ් අලී සර්දාරි මීට පෙර පාකිස්තාන ජනාධිපති ධුරය හොබවා ඇත. ඒ, 2008 සිට 2013 දක්වා කාලයේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS