හඳ ඇල්ලූ ඉන්දියාව ඉරටත් යානයක් යවනවා



‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථක සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, තව සතියකින් හිරු ගවේෂණයට ද රොබෝ යානයක් යවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.

හිරු ගවේෂණයට යැවෙන මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා එල් 1’ යනුවෙනි. හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්‍රීසියෙන් කොරෝනා යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා එල් 1’ යානයේ අරමුණ යැයි පැවැසෙයි.

‘ආධිත්‍යා එල් 1’ ගවේෂණ යානය, ‘එල් 1’  යනුවෙන් හැඳින්වෙන්නේ මෙය හිරු සහ පෘථිවිය අතර පිහිටි L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි. ‘ආධිත්‍යා එල් 1’ හිරු ගවේෂණය කරනු ඇත්තේ ‘එල් 1’  ලග්‍රාන්ජ් ලක්ෂයේ සිටය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මූලස්ථානය ඇත්තේ බෙංගලූරු නුවරය. හිරු ගවේෂණයට ඉන්දියාව යැවෙන පළමු රොබෝ යානය ‘ආධිත්‍යා එල් 1’ බව එම ආයතනය පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය ලෙස හැඳින්වෙන්නේ හිරු සහ පෘථිවිය යන ග්‍රහ වස්තූන් දෙකේ, ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති ස්ථානයකි.

මෙවැනි තැනක රැ‍ඳ‍ෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන, (හිරු දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව) කක්ෂයෙහි වෙනස් වීමක් නොමැතිව, ස්ථාන ගත කළ හැකිය. ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂ රඳවා ඇත්තේ ද මෙම ස්ථානයේය.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත. ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය එම නමින් නම් කර ඇත්තේ ඒවා සොයා ගත් ජෝසප් ලුවී ලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයා සිහිගන්වමිනි.


RECOMMEND POSTS