සිරවුණු පිරිස බේරා ගැනෙයි



දින 17 ක් පුරා, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගයක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය.

කම්කරුවන් සිරවී සිටියේ උමං මාර්ගයේ මීටර් 260 ක් පමණ දුරිනි. ඔවුන් බේරා ගැනීම සිදුවූයේ ඔවුන් සිටි තැනට සිරස් අතට මීටර් 60 ක් දිග සිදුරක්  විදීමෙනි.

එම සිදුර හරහා පහළට කුඩා නලයක් ඇතුළු කෙරුණු අතර, පසුව එම නලය දිගේ රැහැන් ආධාරයෙන් සිරවූ පිරිස එකිනෙකා බැගින් පිටතට ගැනීම සිදුවිය.

බේරාගත් පිරිස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බවත්, ඔවුන් යහතින් පසුවන බවත් පසුව දැනගන්න ලැබුණි. උමං මාර්ගයේ පිවිසුම බිමට සමතලා වීමෙන්, කම්කරුවන් 41 දෙනා සිරවූයේ පසුගිය නොවැම්බර් 12 වැනිදා අලුයම් කාලයේය.

කම්කරුවන් පිරිස සිරවී සිටි ස්ථානය නිවැරදිව තහවුරු කර ගැනීමෙන් පසු, එතැනට කුඩා සිදුරු කීපයක් විද නල දමා ඔක්සිජන් සහ ආහාර සැපැයීම නොකඩවා සිදු කෙරුණි. දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, කුඩා කැමරාවක් පහළට යවා සිරවුණු පිරිස හා සම්බන්ධ විය.

සිරවුණු පිරිස සිටි තැනට සමාන්තරව කැණීම් ආරම්භ කෙරුණේ නවීණ තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙනි. කෙසේ නමුත් එම යන්ත්‍ර අක්‍රිය වී දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා සිදුවිය.
 එම අවස්ථාවේදී ඉන්දියාවේ ගල් අගුරු පතල් කැණීමේ විශේෂඥයන් පිරිසක් දිවි ගලවා ගැනීමේ කණ්ඩායමට සම්බන්ධ කරවා ගැණුනි. ඒ පසුගිය සදුදා (27) දිනයේය. ඔවුන්, ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් භාවිතයට ගනිමින්, කිසිදු නවීන තාක්ෂණයක් භාවිතයට නොගෙන, සිරස් අතට කුඩා සිදුරක් විදීම කළේය. පසුව නලය දමා, එම සිදුර දිගේ කම්කරුවන් පිටතට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
උමං මාර්ගය තුළ සිරවී සිටියේ උත්තරකාන්ද්, බිහාර්, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් බටහිර බෙංගාලය, ඔඩීෂා, හිමාචල් යන ප්‍රාන්තවල සංක්‍රමණික කම්කරුවන් පිරිසකි.

බේරාගත් කම්කරුවන් රෝහල් වෙත ගෙන යෑමට ගිලන් රථ පමණක් නොව, ඉන්දීය හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ද සූදානමින් තිබුණි. ළඟම රෝහල පිහිටියේ කිලෝ මීටර් 30 ක දුරකිනි. එහි වෙනම වාට්ටුවක ඇඳන් 41 ක් ද කම්කරුවන් වෙනුවෙන් සූදානමින් තැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කම්කරුවන් පිරිස මුදා ගැනීමට හැකිවීම සම්බ්නධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ සතුට පළ කළේය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වූ සියලු දෙනාට අග්‍රාමාත්‍ය මෝදි ප්‍රශංසා කිරීමට ද අමතක නොකළේය.


RECOMMEND POSTS