වයිරස තර්ජනය තවම අවසන් නෑ



‘කොවිඩ් 19’ වයිරසය, තවමත් ලෝකයට තර්ජනයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානියේ ප්‍රධානියා, මෙසේ පැහැදිලි කළේ ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, ගාන්ධිනගර් අගනුවර, ‘මහත්මා මන්දිර්’ සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වුණු ‘ජී20’ රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වෙමිනි.

‘කොවිඩ් 19 ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි. ඒත් වයිරසය තවමත් සක්‍රීයයි. එය තවමත් ලෝකයට තර්ජනයක් මේ වනවිට කොවිඩ් 19 වයිරස ප්‍රභේද දෙකක් ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙනවා. අප ඒ ගැන විමසිල්ලෙන් පසුවෙනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අවධාරණය කළේය.

‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. එය ලොව පුරා ව්‍යාප්ත වූයේ 2020 වසරේදීය. ගෝලීය වශයෙන් සිදුවුණු සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරසයේ සැර බාල විය. ‘ඔමික්‍රෝන්’ යනු එසේ සැර බාල වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ උප ප්‍රභේදයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ් 19’ හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ 2020 වසරේදීය. වයිරසයේ සැර බාල වෙද්දී, එය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ යැයි තීරණය කළේය. එසේ වුවත්, වයිරසය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන්නැයි ලෝකයට අනතුරු ඇඟවීය.

මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරයේ උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එයින් එකක්, බි්‍රතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබූ ‘ඊ.ජී.5’ ඒරිස්’ උප ප්‍රභේදයයි.

අනෙක් උප ප්‍රභේදය ‘බී.ඒ.2.86’ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ. ‘බී.ඒ.2.86’ උප ප්‍රභේදය මේ වනවිට ඇමෙරිකාවෙන් ඩෙන්මාර්කයෙන් සහ ඊශ්‍රායලයෙන් හමුවී තිබේ. ඇමෙරිකාවේ ‘ඊ.ජී.5’ ඒරිස්’ උප ප්‍රභේදය ද ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.


RECOMMEND POSTS