රුසියාව සඳ ගවේෂණයට යානයක් යවයි



රුසියානු ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය, වසර 47 කට පසු, රොබෝ ගවේෂණ යානයක් සඳට යැවීය.
‘ලූනා 25’ නමැති මෙම චන්ද්‍ර යානය, අද (11) උදේ රුසියාවේ වේලාවෙන් 8.10 අභ්‍යවකාශය බලා රැගෙන ගියේ රුසියාවේ නිෂ්පාදිත ‘සෝයූස් 2 ෆ්‍රෙගෙට්’ රොකට්ටුවය.

රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ, අවසන් වරට සඳට යානයක් යැවීම කළේ 1976 අගෝස්තු 18 වැනිදාය. එදා සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතරේ, නිරවි යුද්ධයක් පැවැතිණි. එම නිරවි යුද්ධය, අභ්‍යවකාශය සහ සඳ ජය ගැනීම තෙක් දුරදිග ගියේය.

අවසානයේ, මුලින්ම සඳට මිනිසුන් යැවීමට සමත් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. පළමුවෙන් චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීම කළේත්, පළමුවෙන් සඳට රොබෝ යානයක් පතිත කළේත් සෝවියට් සමූහාණ්ඩුවය. එම චන්ද්‍ර යානය ‘ලූනා 2’ ය.

සෝවියට් විද්‍යාඥයන්, 1976 අගෝස්තු 18 වැනිදා අවසන් වරට සඳට යැවීම කළේ ‘ලූනා 24’ රොබෝ ගවේෂණ යානයයි. අද (11) උදේ ‘ලූනා 25’ යානය රැගත් ‘සෝයූස් 2 ෆ්‍රෙගෙට්’ රොකට්ටුව උඩු ගුවන බලා පිටත්ව ගියේ ‘වොස්ටොච්නී’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කෙළවරේ අමූර් ඔබ්ලාස්ට් පළාතේය. මෙම පළාත රුසියන් පාලනය යටතේ පවතී.

‘වොස්ටොච්නී’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙහෙයුම් ආරම්භ කළේ 2022 ජූලි පළමු වැනිදාය. ‘වොස්ටොච්නී’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසල කුඩා ගම්මානයකි. රොකට්ටුව ගුවන්ගත වෙද්දී, හදිසියේ හෝ දෝෂයක් සිදුවී පුපුරා ගියොත් යැයි බියක් හටගත් බැවින්, ගම්මානයේ වැසියන් ආරක්ෂිත ස්ථානයකට යොමු කෙරුණු බව ද වාර්තා වේ.

‘සෝයූස් 2’ රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කර මුදා හැරෙන ‘ලූනා 25’ යානය, වේගය අඩු වැඩි කරමින් පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා යමින් අවශ්‍ය ප්‍රවේගය ලබා ගනිමින් සඳ බලා යනු ඇත.

‘ලූනා 25’ යානය සඳුගේ කක්ෂයට පිවිසීමෙන් පසු එය සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයේ තෝරාගත් ස්ථානයකට පතිත කරන්නේ ලබන අගෝස්තු 23 වැනිදාය. මේ වනවිටත් සඳුගේ කක්ෂයට පිවිස සිටින ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යාන ද සඳට ගොඩබෑමට නියමිතව ඇත්තේ අගෝස්තු 23 වැනිදා යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියන් විද්‍යාඥයන්ගේ ‘ලූනා 25’ රොබෝ යානය රොකට් පද්ධතියකින් සමන්විතය. යානය සඳට ගොඩබෑම සිදු කරන්නේ ඒවා ආධාරයෙනි. යානයට බලය ලැබෙන්නේ එහි ඇති සූර්ය පැනලවලිනි.

‘ලූනා 25’ යානය‘ සඳට පතිත කිරීමෙන් සඳුගේ පස් සහ දූවිලි සාම්පල පරීක්ෂා කරනු ඇත. ‘ලූනා 25’ යානයේ මෙහෙයුම් කාලය වසරක් යැයි පැවැසෙයි. පස් සාම්පල ලබා ගැනීමට කුඩා රොබෝ අතක් ද යානයට සවි කර තිබේ.

රුසියන් අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’, ‘ලූනා 25’ මෙහෙයුමත්, ඉදිරියට සිදු කිරීමට නියමිත ‘ලූනා 26’ සහ ලූනා 27’ යන මෙහෙයුම් පමණක් නොව, අඟහරු ගවේෂණ මෙහෙයුම් ද සිදු කිරීමට සූදානම් වූයේ යුරෝපා අභ්‍යවකාශ ආයතනය සමඟ එක්වෙමිනි. යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිර්මාණය වී ඇත්තේ යුරෝපා රටවල් එක්වෙමිනි.

පසුගිය 2022 වසරේ ආරම්භ වුණු රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා රටවල් සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබේ. එහෙයින්, රුසියාවට සඳ ගවේෂණ මෙහෙයුම් පමණක් නොව, අඟහරු ගවේෂණ මෙහෙයුම් ද සිදු කරනු ඇත්තේ තනිවමය.


RECOMMEND POSTS