ට්‍රම්ප්ට වෙඩි



පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් විය. වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ මුහුණ සහ දකුණු කන් පෙත්ත තුවාල කළේය.

සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළහ. දහසකට වැඩි පිරිසක් පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට සහභාගී වී සිටි අතර, ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ට්‍රම්ප්ගේ දකුණු පැත්තෙනි.

සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු හමුදා ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් තත්පර කීපයක් ඇතුළත පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් පැවැසෙයි. වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවෙකි.

වෙඩි ප්‍රහාරය අතරතුරේ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මේ බව බට්ලර් ප්‍රාන්ත නීතිපතිවරයා ද තහවුරු කර ඇත. තවත් තුවාලකරුවකු සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ආරක්ෂක අංශ සාමාජිකයන් ට්‍රම්ප් වටකර ගනිමින් වේදිකාවෙන් රැගෙන යද්දී ඔහු තමා හොඳින් සිටින බව පෙන්වමින් රැස්ව සිටි පිරිසට අත වැනුවේය.

'මට වෙඩි තිබ්බා.‍ මම වේදිකාවේ කතා කරමින් සිටිද්දී, වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා.

කවුරු හරි මට වෙඩි තිබ්බා; මට තේරුණේ එවිටයි.' යැයි වෙඩි ප්‍රහාරයට ලක් වී කඩිනමින් රෝහල්ගත කළ ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිට සමාජ මාධ්‍ය ගිණුම හරහා පවසා තිබේ.

'මම මගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් සැණින් මට ආරක්ෂාව දුන්නා. වහා ක්‍රියාත්මක වී වෙඩික්කරු මර්දනය කළා. රැලියට පැමිණ සිටි මගේ හිතවාදියෙක් වෙඩි වැදී මියගියා. ඒ ගැන මට කනගාටුයි. මම ඔහු වෙනුවෙන් කනගාටු වෙනවා. ඔහුගේ පවුලේ අයට කනගාටුව පළ කරනවා. මට දැනගන්න ලැබුණා තවත් බරපතල තුවාල ලැබූවෙක් ඉන්නවා. ඇමෙරිකාවේ මැතිවරණ රැලියක මෙවැනි දෙයක් සිදුවීම බරපතල අර්බුදයක්.' යැයි ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩි දුරටත් සඳහන් වී ඇත.

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

සිද්ධිය සැලවුණු සැණින් ජනාධිපති බයිඩන්, රිපබ්ලිකන්වරන් අමතා ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බව ද වාර්තා වේ. මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS