කැරැල්ලට සම්බන්ධයක් නෑ - බයිඩන්
‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලට ඇමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පවසා ඇත්තේ රුසියාවෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිනි.
කැරැලි ගැසීමට ‘වැග්නර්’ කුලී හේවායන් උසි ගැන්වූයේ ඇමෙරිකාව
යැයි රුසියාව චෝදනා කරයි. රුසියාව වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ, කැරැල්ල පසුපස ඇමෙරිකන් සී.අයි.ඒ. ඒජන්තවරුන් සිටින බවය.
යුක්රේනට එරෙහිව ගෙන යන හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, ඇමෙරිකා සී.අයි.ඒ. ඒජන්තවරුන්, යුක්රේන රජය සහ රුසියන් විරෝධී බටහිර රටවල් සමඟ එක් වී, රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි ද රුසියානු රජය වැඩි දුරටත් පැවැසීය.
පැය 24 ක් වැනි කෙටි කාලයකින් අවසන් වුවත්, ‘වැග්නර්’ කුලී හේවායන් රුසියන් රජයට සහ හමුදාවට එරෙහිව ආරම්භ කළ කැරැල්ල, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල වුණු අතුල් පහරක් බවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයට ලක් කිරීමක් බවත් යුක්රේනය පවසා තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර ඇත්තේ එම කැරැල්ල රුසියාවේ අභ්‍යන්තර ගැටලුවක් බවත් ඇමෙරිකාවේ සම්බන්ධයක් ඊට නොමැති බවත්ය.
රුසියාවේ හටගත් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය. ‘ජනාධිපති පුටින් සිතාගෙන සිටියේ ඔහුට අභියෝගයක් කළ හැකි කෙනෙකු නැහැ කියලයි. ඒත් ඔහුට අභියෝගයක් වූයේ ඔහුගේම සමීපතම මිතුරා ප්රිගෝජින්ගෙන්. සිදුවීමට ගිය මෙම කැරැල්ල සම්බන්ධයෙන් පුටින් නිහඬයි, රුසියන් රජය නිහඬයි. පුටින්ගේ ප්‍රතිරූපයට දැඩි හානි සිදුවී තිබෙනවා’ යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මේ අතර, ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් මුදල් ආධාර සම්බන්ධයෙන් ගිණුම්ගත කිරීමේදී, ඇමෙරිකන් ඩොලර් බිලියන 6.2 ක මුදලක් සම්බන්ධයෙන් ගිණුම්කරණ දෝෂයක් සිදුවී ඇතැයි රුසියන් මාධ්‍ය මීට සති කීපයකට පෙර අනාවරණය කළේය.
රුසියාව දැන් චෝදනා නගන්නේ, ඇමෙරිකන් සී.අයි.ඒ. ඒජන්තවරුන් මැදිහත් වී, එම ඩොලර් බිලියන 6.2 ක මුදල ඇමෙරිකාව ‘වැග්නර්’ කුලී හේවායන්ට ලබා දී ඇත්තේ රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමේ අරමුණින් යැයි රුසියන් රජය ඇමෙරිකාවට චෝදනා කර ඇත. රුසියාව එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිවක් පවසා නැත.
‘වැග්නර්’ කුලී හේවායන් ඔවුන්ගේ කැරැල්ල ආරම්භ කළේ පසුගිය 24 වැනිදා සෙනසුරාදා ය. කුලී හේවායන් උත්සාහ කළේ මොස්කව් අගනුවර වැටලීමටය. ‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියන් හමුදාවට අයත් අතිරේක බලඇණියක් ලෙස සැලකෙයි. ඊට නායකත්වය දෙන යෙව්ගනි ප්‍රිගෝජින් 90 දශකයේ සිට පුටින්ගේ සමීපම මිතුරෙක් විය.
පසුගිය සිකුරාදා (23) ප්‍රිගෝජින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්රධානීන්ටත් චෝදනා කළේ රුසියන් හමුදා ප්‍රධානීන්, හිතාමතාම, සිය ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් ‘වැග්නර්’ සාමාජිකයන් බොහෝ දෙනකු මියගිය බව ද පැවැසෙයි.
ප්‍රිගෝජින් සිය හමුදාව මෙහෙයවමින් මොස්කව් අගනුවර ආක්‍රමණයට සැරැසුණේ ඉන්පසුවය. කෙසේ නමුත් අසල්වැසි බෙලරූස් රජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වී සාකච්ඡා පවත්වා ප්‍රිගෝජින් බෙලරූස් රාජ්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. තමන් බෙලැරූසට පිටුවහල් වන බව පවසමින් ප්‍රිගෝජින් ඉලලා සිටියේ තම කුලී හේවායන් රුසියන් රජයට බඳවා ගන්නා ලෙසය. රුසියන් ආරක්ෂක අමත්‍යාංශය ඊට එකඟ වුණු අතර, ප්‍රිගෝජින් ට එල්ල කළ සියලු අපරාධ චෝදනා ඉවත දැමීමට රුසියන් රජය පියවර ගත්තේය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී රුසියන් හමුදාවට සහාය දෙමින් නැගෙනහිර යුක්රේනයේ පළාත් සහ නගර රැසක් අත්පත් කර දීමට ‘වැග්නර්’ කුලී හේවායෝ සමත් වී සිටිති.
‘වැග්නර්’ කුලී හේවායන් කැරැලි ගසද්දී ඊට එරෙහි වුණු සියලු දෙනාට තමන් ස්තුති කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අහතමින් පැවැසුවේය. ‘චැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ල පැය 24 ක් ඇතුළත නිමාවට පත් විය. එම පැය 24 ක කාලයේ කුලී හේවායන් සහ රුසියන් රජයට පක්ෂපාතී හමුදා සොල්දාදුවන් අතරේ අවි ගැටුම් ද පැවැතිණි. රුසියන් හමුදා ප්‍රහාරක යානා නියමුවන් දෙදෙනකු මියගිය බව ද වාර්තා විය. එම නියමුවන් වෙනුවෙන් රුසියන් ජනාධිපති පුටින් සොව පළ කළේය. කැරැල්ලට සම්බන්ධ වුවත් ලේ වැගිරීමකට අකමැති වුණු ‘වැග්නර්’ සාමාජිකයන්ට ද පුටින් ස්තුති කළේය.
පසුගිය සති අන්තතයේ ‘වැග්නර්’ කුලී හේවායන් මොස්කව් අගනුවරට පැමිණ බලය අල්ලා ගැනීමට තැත් කරද්දී, රුසියන් විපක්ෂ ක්‍රියාකාරින්ගේ ද සහාය පුටින්ට හිමිවිය. එසේ වුවත්, රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරීන් දැඩි ලෙස මර්දනයට ලක් වෙයි
මේ අතර, ප්රිගෝජින්ගේ ඉල්ලීමට කන් දෙමින්, ‘වැග්නර්’ බලඇණියේ සාමාජිකයන් රුසියන් හමුදාවට හෝ වෙනත් ආරක්ෂක අංශවලට ඔවුන් බඳවා ගැනීම සිදු කරන බව ජනාධිපති පුටින් ජාතිය අමතමින් පැහැදිලි කළේය.