ඉන්දියාව යළි සඳට යයි



ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම අද (14) සවස ආරම්භ විය. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ රොබෝ ගවේෂණ යානයක් සහ රෝවර් යානයක් සඳට යැවීමට ඉන්දීය විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

සඳට පතිත කිරීමට නියමිත රොබෝ ගවේෂණ යානය 'වික්‍රම්' යනුවෙන් ද සඳ මතුපිට ගමන් කළ හැකි මෙම කුඩා රෝවර් යානය 'ප්‍රාග්යාන්' යනුවෙන් ද නම් කර තිබේ.

රෝවර් යානය ඇත්තේ 'වික්‍රම්' යානය තුළය. 'වික්‍රම්' ගවේෂණ යානය සඳට පතිත කිරීමෙන් පසු රෝවරය එයින් එළියට පැමිණ ගවේෂණ කටයුතු අරඹනු ඇතැයි පැවැසෙයි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමේ අරමුණ සඳුගේ පස් ගවේෂණයයි. 'වික්‍රම්' ගවේෂණ යානයත්, 'ප්‍රාග්යාන්' රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ නිර්මාණයකි.

ගවේෂණ යානා රැගත් 'ජී.එස්.එල්.වී. මාර්ක් 3' නමැති ප්‍රබල රොකට්ටුව, අද (14) සවස 2.35 ට පමණ ගුවන්ගත වූයේ ඉන්දියාවේ, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, ශ්‍රී හරිකොත පිහිටි 'සතිෂ් ධවාන්' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. රොබෝ යානා සඳුගේ දකුණු අර්ධ ගෝලයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය.

ඉන්දියාව, සඳ මතුපිටට රොබෝ යානයක් පතිත කිරීමට උත්සාහ ගන්නා දෙවැනි අවස්ථාව මෙයයි. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම 2019 ආරම්භ වුවත් එය අසාර්ථක විය.

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම සාර්ථක එකකි. 'චන්ද්‍රයාන් 1' කක්ෂීය යානයක් වූ අතර එය සඳුගේ කක්ෂයට සාර්ථකව යැවීම සිදුවිය. සඳ මතුපිට ජල අංශු ඇතැයි ලොවට අනාවරණය කළේ 'චන්ද්‍රයාන් 1' යානයයි. පසුව එය නාසා ආයතනය තහවුරු කළේය. 2008 දී 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම අවසන් විය.

මේ වනවිට, සඳ මතට සාර්ථකව රොබෝ යානා පතිත කර ඇත්තේ ඇමෙරිකාව, රුසියාව සහ චීනය පමණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම සාර්ථක වුවහොත් එය ඉන්දියාව ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත.


RECOMMEND POSTS