පුටින්ට අභියෝග කළ කුලී හේවායෝ පසුබසිති
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය පළ කරමින්, යුක්රේන ආක්‍රමණයට සම්බන්ධ වී සිටි ‘වැග්නර්’ නමැති පෞද්ගලික කුලී
හේවා බලඇණිය, පුටින් ප්රමුඛ රුසියන් රජය සමඟ විරසක වී, හමුදා කුමන්ත්‍රණයකට සූදානම් වුවත්, පසුව එම අදහස අත්හැර දැම්මේය.
රුසියන් හමුදාවේ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද ‘වැග්නර්’ කුලී හේවායන් සැලකෙයි. ‘වැග්නර්’ බලඇණියට නායකත්වය දෙන්නේ යෙග්නි ප්රිගොසින්ය. රුසියානුවකු වන මොහු, 90 දශකයේ සිට රුසියන් ජනාධිපති පුටින්ගේ ඉතාමත් සමීප මිතුරෙකු වී සිටි අයෙකි.
පසුගිය සිකුරාදා (23) ප්‍රිගොසින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්රධානීන්ටත් චෝදනා කළේය. ඒ, හමුදා ප්‍රධානීන්, හිතාමතාම, ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් තම සාමාජිකයන් බොහෝ දෙනකු මියගියේ යැයි ප්‍රිගොසින් පැවැසීය.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාතා්‍යවරයා සහ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට ප්‍රිගොසින් ඉල්ලීමක් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි.
ඒ අනුව, යුක්රේනයේ සිටි ප්‍රිගොසින් සහ ‘වැග්නර්’ කුලී හේවායෝ දේශසීමා හරහා දකුණුදිග රුසියාවේ රොස්ටෝව් වොන් ඩොන් නගරයට පැමිණියහ. පසුගිය සිකුරාදා (23) ඔවුන් රොස්ටෝ වොන් ඩොන් නගරයේ හමුදා මූලස්ථානයක් ද අත්පත් කර ගත්තේය. ඉන්පසු ප්‍රිගොසින්, සිය බලඇණිය රුසියාවේ මොස්කව් අගනුවර දක්වා මෙහෙයවීමට පටන් ගත්තේ තවත් කුඩා රුසියන් නගර කීපයක් ද අත්පත් කර ගනිමිනි.
ප්‍රිගොසින් ප්රමුඛ ‘වැග්නර්’ සාමාජිකයන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත්, රුසියාවේ බලය අල්ලා ගැනීමට ඔවුන් උත්සාහ ගන්නා බවත් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් ආරක්ෂක කවුන්සිල නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව් දොස් නැගුවේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසියේ ජාතිය අමතමින් පැවැසුවේ ‘වැග්නර්’ බලඇණිය, රුසියාවටත් රුසියානුවන්ටත් ද්‍රෝහීන් වූ බවය. ‘වැග්නර්’ කුලී හේවායන් ආරම්භ කළ බලය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණය මහා ලේ වැගිරීමක් තෙක් දුරදිග යනු ඇතැයි පුටින් අනතුරු ඇඟවීය.
අද (25) වන විට, ‘වොග්නර්’ බලඇණිය සිටියේ මොස්කව් අගනුවරින් කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ප්‍රිගොසින් නිවේදනයක් නිකුත් කරමින් කීවේ, තමන් හෝ තම සාමාජිකයන් හෝ මොස්කව් බලා නොපැමිණෙන බවත්, තමන් සහ පිරිස සදහටම රුසියාවෙන් පිටුවහල් වී අසල්වැසි බෙලරූස් රාජ්‍යය බලා යන බවත්ය.
රුසියන් වැසියන් ගැන සිතා ලේ වැගිරීමකට ඉඩක් නොතබා තමන් එම තීරණය ගත් බව ද ප්‍රිගොසින් පැවැසුවේය. තමන් රුසියන් රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ නොකළ බවත්, තමන්, තම හමුදා මොස්කව් අගනුවරට මෙහෙය වීමට උත්සාහ කළේ සිදුවුණු අසාධාරණයට වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂාවෙන් යැයි ද ප්‍රිගොසින් පැහැදිලි කළේය.
රුසියාවේ පමණක් නොව යුක්රේනයේ ද අසල්වැසියකු වන්නේ බෙලරූසයයි. බෙලරූස ජනාපධිති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතම මිතුරාය. ප්‍රිගොසින් මොස්කව් යන ගමන වළක්වා ඔහු සහ පිරිස තම රටට ගෙන්වා ගැනීම කළේ ලුකෂෙන්කෝ මැදිහත් වුණු බව පැවැසෙයි. ඒ, රුසියන් ජනාධිපති පුටින් සමඟද සාකච්ඡා කිරීමෙන් පසුවය.
රුසියන් රජයට එරෙහි වුණු අවස්ථාවේ, ප්‍රිගොසින් සහ ඔහුගේ ‘වැග්නර්’ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබා දීමට ජනාධිපති පුටින් සූදානම් විය. පුටින්ගේ රහස් පොලිසියේ සාමාජිකයන් ‘වැග්නර්’ මූලස්ථානය පවා වැටලූ බව වාර්තා වේ. ප්‍රිගොසින් සහ ‘වැග්නර්’ සාමාජිකයන් බෙලරූසයට පිටුවහල් වීමට තීරණය කිරීමත් සමඟ ප්රිගොසින්ට එල්ල කළ සියලු අපරාධ චෝදනා ඉවත දමන බව රුසියන් රජය පැවැසීය.
රොස්ටෝව් වොන් ඩොන් නගරයේ හමුදා මූලස්ථානය අත්පත් කරගෙන සිටි ‘වැග්නර්’ කුලී හේවා භටයන් නගර හමුදා මූලස්ථානය අතහැර යද්දී නගර වැසියන්ගෙන් ඔවුන්ට ප්‍රීතිමත් සමුගැනීමක් හිමිවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නගරවැසියෝ බොහෝ දෙනා ප්රිගොසින්ට අතට අතදී සුබ පැතීමට ද අමතක නොකළහ.
මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘වොග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී ප්‍රිගොසින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අතුල් පහරක් එල්ල කළ බවය. රුසියන් ජනාධිපති පුටින්ගේ ඒකාධිකාරීත්වයට ප්‍රිගොසින් එරෙහි වුණු බවය. පැය 24 ක කාලයක් තුළ ‘වොග්නර්’ බලඇණිය සහ එහි ප්‍රධානී ප්‍රිගොසින් රුසියන් ජනපති පුටින් ප්රමුඛ රුසියන් රජයට භීතියට පත් කළ බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා තිබේ. ‘වොග්නර්’ ප්‍රධානියා හෝ එම බලඇණිය මේ අයුරින් තමන්ට අභියෝගයක් වනු ඇතැයි රුසියන් ජනාපධිති පුටින් කිසිම අවස්ථාවක නොසිතන්න ඇතැයි ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පෙන්වා දුන්නේය.