ජනපති පුටින් වියට්නාමයේ



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වියට්නාමයේ හැනෝයි අගනුවර බලා පැමිණියේය. රුසියන් ජනාධිපතිවරයාට වියට්නාම රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 

පුටින්, නැගෙනහිර ආසියානු රටවල සංචාරයක් ආරම්භ කර සිටී. පසුගිය දා පුටින් එම සංචාරය ආරම්භ කළේ උතුරු ​කොරියාවෙනි.   පුටින්, දකුණු කොරියාවේ සංචාරය කළේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.

උතුරු කොරියාව මෙන්ම රුසියාව ද ඇමෙරිකාවේ උදහසට ලක්වුණු රටවල්ය. රුසියාව ඇමෙරිකාවේ උදහසට ලක් වී ඇත්තේ යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව සහ වියට්නාමය අතරේ යහපත් මිතුදම් පවතී. 

රුසියන් ජනාධිපති පුටින්, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ රජය සමඟ යහපත් සබඳතා පැවැත්වීම ඇමෙරිකාවේ දැඩි විමසිල්ලට හේතුවක් වී ඇත. වියට්නාම කොමියුනිස්ට් පක්ෂ රජය රුසියාවට හිතවත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය විරෝධය පළ කර ඇති බව ද වාර්තා වේ.

රුසියාව සහ වියට්නාමය අතරේ මිතුදම් දශක ගණනාවක් ඈතට යයි. 1950 දශකයේ උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ පාලකයන්ට සහාය පළ කළේ සෝවියට් සමූහාණ්ඩුවය. සෝවියට් සමූහාණ්ඩුව උතුරු වියට්නාමයට හමුදාමය, මූල්‍යමය සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා දුන්නේය.

1978 දී වියට්නාමය කාම්බෝජය ආක්‍රමණය කළේ සෝවියට්වරුන්ගේ සහාය ඇතිවය. ඒ, බටහිර රටවලත් චීනයේත් දැඩි විරෝධය මධ්‍යයේය. අද වියට්නාම යුද්ධයෙන් පසු වියට්නාමය ඇමෙරිකාව සමඟත් රුසියාව සමඟත් යහපත් සබඳතා පවත්වාගෙන යයි. වියට්නාමය තවමත් භාවිත කරන්නේ රුසියන් හමුදා උපකරණ වන අතර වියට්නාමය රුසියාව සමඟ තෙල් ගනුදෙනු සිදු කරයි.

රුසියානු ජනාධිපති පුටින්, වසර 24 කට පසු උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට පැමිණීම සම්බන්ධයෙන් ද ඇමෙරිකාවේ කනස්සල්ල පළ විය. විදෙස් සම්බාධක මැද, අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර තිබියදී, ජනාධිපති පුටින් නිල සංචාර බලා යන්නේ ඔහුට හිතවත් රටවලට පමණි. 

අනාගතයේදී රුසියාවට හෝ උතුරු කොරියාවට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරුදීම සඳහා රටවල් දෙකම එකතුවන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියානු සංචාරයේ දී අවධාරණය කළේය. උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතාවය නව මානයකට යොමු කිරීමට ද රුසියන් ජනාධිපතිවරයා සමත් විය. නව උපාය මාර්ගික හවුල්කාරිත්වයට උතුරු කොරියාවේදී අත්සන් තැබීමට ද ජනාධිපති පුටින් සමත් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS