ප්‍රාඩා ගගන ඇදුම
එය විලාසිතා ලෝකයේ කිසිවකු අපේක්ෂා කළ දෙයක් නොවීය. ඒත් ‘ප්‍රාඩා’ එය කිරීමට සමත් වූයේ කවුරුත් මවිත කරමිණි. ‘ප්‍රාඩා’ යනු ඇඳුම් ආයිත්තම් විලාසිතා අතින් ලොව ප්රමුඛ පෙළේ, සන්නාමයකි. මිල අධික, ධනපති පැලැන්තියේ සන්නාමයකි. ‘ප්‍රාඩා’ සමාගමේ ආරම්භය වසර 111 ක් ඈතට විහිදෙයි. ධනපති පැලැන්තියේ අභිමානය පෙන්නුම් කරන, ‘ප්‍රාඩා’ සමාගම ආරම්භ වූයේ ඉතාලියේ මිලාන් නුවර කේන්ද්‍ර කොට ගනිමින් 1913 දීය. ‘ප්‍රාඩා’ සමාගම වඩාත් ප්‍රචලිත වී සිටින්නේ, කාන්තා සපත්තු, සෙරප්පු සහ අත්බෑගවලටය.
‘ඇක්සියොම් ස්පේස්’ යනු ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම දැනට අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමෙරිකන් සමාගමකි. ඇමෙරිකන් ගගනගාමීන් සඳහා ඇඳුම් නිර්මාණය පැවැරී ඇත්තේ ද මෙම සමාගමටය. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරය කේන්ද්‍ර කොට ගත්, ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, ‘නාසා’ ආයතනය සමඟ ඇමෙරිකන් ඩොලර් මිලියන 228ක ගිවිසුමකට අත්සන් කර ඇත.
මේ වනවිට ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, ඉතාලියේ ‘ප්‍රාඩා’ සමාගම සමඟ හවුල් කර ගනිමින්, ඉදිරි වසර කිහිපයේ සඳට පය තබන ගගනගාමීන් වෙනුවෙන්, මෙන්ම ගගන කැප්සියුලවලින් සඳට යන ගගනගාමීන් වෙනුවන් අපූරු ගගන ඇඳුම් නිර්මාණය කර තිබේ. ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම සහ ‘ප්‍රාඩා’ සමාගම එක් වී නිර්මාණය කළ මෙම ගගන ඇඳුම් හැඳින්වෙන්නේ, ‘ඇක්සියොම් එක්ට්රාවෙහිකියුලර් මොබිලිටි යුනිට්’ යනුවෙනි. මෙම ගගන ඇඳුම් කට්ටල මාදිලි කීපයකි. පසුගියදා ඒවා ප්‍රසිද්ධියට පත් කෙරුණේ ‘ගගනගාමීන්ගේ සිරුරේ හැඩය අනුව, ගගනගාමීන්ගේ සිරුරට හොඳින් ගැළපෙන, ගගනගාමීන්ට ඇඳගෙන සිටීමට පහසු’ ඇඳුම් කට්ටල ලෙසිණි.
70 දශකයේ ‘ඇපලෝ’ වැඩසටහන යටතේ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වීමෙන් පසු වසර 50 කට පමණ පසු ඇමෙරිකාවේ නාසා ආයතනය, යළි සඳට යෑම ආරම්භ කර ඇත. මෙම නවතම චන්ද්‍ර මෙහෙයුම් සිදුවන්නේ ‘ආටිමීස්’ වැඩසටහන යටතේය. ‘ආටිමීස්’ වැඩසටහන සුවිශේෂී වෙයි. හේතුව, නාසා පිරිමි ගගනගාමියකු සමඟ කාන්තා ගගනගාමිනියක ද සඳට පය තැබීමට නියමිතය. කාන්තාවක සඳ බලා යන්නේත්, සඳට පය තබන්නේත් ඉතිහාසයේ පළමු වතාවටය.
මේ නිසාම, ‘ආටිමීස්’ වැඩසටහනට සහභාගී වන ගගනගාමීන්ට අලුත් ඇඳුම් සකස් කිරීම කළ යුතු විය. නාසා ආයතනය ‘ඇක්සියොම් ස්පේස්’ සමාගමට පැහැදිලි කළේ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ නවීන පන්නයේ ඇඳුම් කට්ටලයක් ගගනගාමින් වෙනුවෙන් නිර්මාණය කර දෙන ලෙසටය. ඒ අනුව, ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, එම කටයුත්තට හවුල් කර ගත්තේ ‘ප්‍රාඩා’ සමාගමය. ‘ඇක්සියොම් ස්පේස්’ සමාගමේ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව, ‘ප්‍රාඩා’ ඇඳුම් නිර්මාණකරුවෝ, ගගන ඇඳුම් නිර්මාණයට අත ගැසූහ. ගගන ඇඳුමක් නිර්මාණය කිරීම ‘ප්‍රාඩා’ සමාගමට බාරදූර කටයුත්තක් විය. හේතුව ඔවුන් මීට පෙර කිසිම අවස්ථාවක මෙවැනි දෙයක් කර නැති බැවිනි.
පසුගිය දා විදෙස් මාධ්‍ය ඔස්සේ අපට දැක ගැනීමට හැකිවූයේ එහි අවසන් ප්රතිඵලයයි. ‘ප්‍රාඩා’ නිර්මාණය කළ ගගන ඇඳුම් කට්ටල සැබැවින්ම අපූරුය. අතීතයේ, ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම්වලදී ගගනගාමීන් පැලඳි සුදු පැහැති ගගන ඇඳුම් කට්ටලයට මෙය තරමත් සමාන වුවත්, එය සම්පූර්ණයෙන් ම වෙනස් එකකි. ගගනගාමීන් පලඳින සවිමත් හෙල්මටය ද ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. සිරුරෙන් පිටවන දහදිය සහ මුත්‍ර වෙනම එක් රැස් කරමින් ඒවා බැහැර කිරීමේ පද්ධතියක් ඇඳුම් කට්ටලයට ම සම්බන්ධය. ඇඳුම් කට්ටලය ස්තර කීපයකින් යුක්තය.
‘ප්‍රාඩා’ සමාගම, ඇඳුම් කට්ටල නිර්මාණයට යොදා ගෙන ඇත්තේ මයිලර් සහ කෙව්ලර් යන කෘත්‍රිම ද්‍රව්‍යයි. මයිලර් යනු පොලිඑතිලීන් ටෙරපතලේට් නම් පොලියෙස්ටර් රේසින් විශේෂයකි. ඒවා ජල ටැංකි තැනීමට භාවිත කෙරේ. කෙව්ලර් යනු පොලිපැරා ෆිනයිලීන් ටෙරාප්තැල්මයිට් නම් නයිලෝන් වැනි පොලිමර් විශේෂයකි. වෙඩි නොවදින කබා, අත්වැසුම්, ටයර් ආදිය නිර්මාණය කරන්නේ කෙව්ලර්වලිනි. ගගන ඇඳුම් කට්ටලයට අයත් ගගනගාමීන් පලඳින හෙල්මටයට සහ එහි වයිසරයට අති සුපැහැදිලි දසුන් ලබා දෙන කැමරාවක් සම්බන්ධ කර ඇති අතර, එමගින් ගගනගාමියා හෝ ගගනගාමිනිය දකින සියලු දසුන්, පෘථිවියේ සිටින නාසා ආයතනයේ විද්‍යාඥයන්ට ද එවේලේම සජීවීව දැක ගන්නට ලැබෙනු ඇත. එහි ඇති ඔක්සිජන් ටැංකි පමණක් නොව, ප්‍රශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් බැහැර කිරීමටද වෙන ම ටැංකි ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. ඇඳුමට සම්බන්ධ බූට් සපත්තු විශේෂයෙන් ම සඳ මත ඇවිදීමට පහසුවන පරිද්දෙන් නිර්මාණය කර ඇත.
නාසා ආයතනය, ‘ආටිමීස් 1’ පළමු මෙහෙයුම අත්හදා බැලීමේ මෙහෙයුමක් ලෙස සාර්ථකව අවසන් කළේය. ‘ආටිමස් 1’ මෙහෙයුමට සම්බන්ධ කළ ගගන කැප්සියුලය ගගනගාමීන් නොමැතිව තනිවම සඳ වෙත ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට පැමිණියේය. එය කැප්සියුලය අත්හදා බැලීමක් විය. කැප්සියුලයේ යද්දී ගගනගාමීන්ට මුහුණ පාන්නට වන විකිරණවල බලපෑම ගැන ද අධ්‍යයනය කෙරුණි. ඒ දත්ත සියල්ල ‘ප්‍රාඩා’ සමාගමේ නිර්මාණකරුවන් ඇඳුම් කට්ටලය නිර්මාණයේ දී සැලකිල්ලට ගත් බව ද පැවැසෙයි. ‘ආටිමීස් 2’ මෙහෙයුම ද, ‘ආටිමීස් 1’ මෙහෙයුම මෙන්ම අත්හදා බැලීමේ මෙහෙයුමක් බව නාසා ආයතනය නිවේදනය කර ඇත. ඒ මෙහෙයුම සිදු කෙරෙන්නේ 2025 වසරෙන් පසුවය. ‘ආටිමීස් 2’ මෙහෙයුමට ගගනගාමීන් සිවු දෙනකු සම්බන්ධ වනු ඇති අතර, එම සිවු දෙනා රැගත් ගගන කැප්සියුලය සඳට පහත් කර, යළි ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ගගනගාමීන් සඳට පය තැබීමක් ‘ආටිමිස් 2’ මෙහෙයුම්දී සිදු නොවනු ඇත. මෙම ගගනගාමීන් සැරසී සිටිනු ඇත්තේ ‘ප්‍රාඩා’ නිර්මාණය කළ මෙම ගගන ඇඳුම් කට්ටලවලිනි.
අතීතයේ ‘ඇපලෝ’ මෙහෙයුම් මාලාව යටතේ සඳට පය තැබූ නාසා ගගනගාමීන් ඇඳ සිටියේ ප්‍රමාණයෙන් සිරුරට වඩා විශාල පිම්බුණු ඇඳුම් කට්ටලයකි. ඔවුන් සඳ මතුපිට ඇවිද්දේ හාවුන් මෙන් පැන පැනය. ඇතැම් විට හිස කොටස බරින් වැඩි නිසා පහත් වෙද්දී පෙරළී ගිය අවස්ථා ද වෙයි. “ප්‍රාඩා නිර්මාණකරුවන් නව ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත්තේ එය පලඳින අයගේ සිරුරට මනා ලෙස පෑහෙන ආකාරයටයි. ඒ අනුව පහසුවෙන් අතපය හසුරුවන්න ඔහුට හෝ ඇයට හැකි වෙනවා පමණක් නොව, හාවුන් මෙන් පැන පැන සඳ මතුපිට ඇවිදින්න ඕනෑ වෙන්නේ ද නැහැ.” යැයි ‘ඇක්සියම් ස්පේස්’ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ මයික් සෆෙරිඩීනී පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.
ඩේලිමේල් ඇසුරිනි