සඳට වැටෙන්න යන්නේ චීනයේ රොකට්ටු කොටසක්



ලබන මාර්තු 4 වැනිදා සඳට රොකට්ටු කැබැල්ලක් කඩා වැටීමට නියමිත අතර, තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ, එසේ කඩා වැටෙනු ඇත්තේ චීන රොකට්ටුවක ‘බූස්ටර්’ කොටසක් බවය.

චීනය රොබෝ යානයක් යවා චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමක් සිදු කළේ 2014 වසරේදීය. තාරකා විද්‍යාඥයන්ට අනුව, සඳට කඩා වැටෙන්නේ චීනයේ ‘චැංග් ඊ ටී 1’ නමැති එම චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වූ රොකට්ටු කොටසය.

තාරකා විද්‍යාඥයන් මීට පෙර පවසා තිබුණේ සඳට වැටෙනු ඇත්තේ  ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් රොකට් බූස්ටරයක් කියාය. කෙසේ නමුත් එය වැරදි බව මේ වනවිට තහවුරු වී ඇතැයි ද තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

කෙසේ නමුත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැංග් වෙන්බි, දෛනික මාධ්‍ය හමුවක් අතරතුරේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ සඳට කඩා වැටෙන්නේ චීන රොකට්ටුවක් නොවන බවය.

“චැංග් ඊ ටී 1 චන්ද්‍ර මෙහෙයුමට යොදා ගත් බූස්ටර් කොටස යළි පෘථිවියට වැටීම සැලැසුම් කළ පරිදි සිදුවුණා. ඒ නිසා අපට වගකීමෙන් කියන්න පුළුවන් සඳට කඩා වැටෙන්නේ අපේ රොකට් බූස්ටයක් නොවෙයි” යැයි වැංග් වෙන්බි පවසා තිබේ.

ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනයයි. ඉදිරි දශකය ඇතුළත චීන අභ්‍යවකාශ මෙහෙයුම් රැසක් සැලැසුම් කර තිබේ. මේ වනවිට චීනය පෘථිවි කක්ෂයේ කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරන බව ද පැවැසෙයි.

අදියර කීපයක් යටතේ කොටස් එකලැස් කරමින් එම අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම 2022 වසර අවසන් වෙද්දී ඉදිකර සම්පූර්ණ කිරීමට ද චීනය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS