ගඟක් ගඟක් ගිලලා



චීන නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එය 8,848 කි. එවරස්ට් මුදුනට යෑම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. සැබැවින්ම භූ විද්‍යාත්මක පුදුමයක් ලෙස සැලකෙන එවරස්ට් කන්ද දිනෙන් දින උස යන බව භූ විද්‍යාඥයන් පැවැසුවේ අද ඊයේ නොවෙයි. මෙය පුදුමයට කරුණක් ද නොවෙයි. එවරස්ට් කන්දේ උස සෑම වසරක් පාසාම මිලිමීටර් දශම ගණනකින් වැඩිවෙයි. එය එසේ වන්නේ ඇයිදැයි සෙවීමට, වසර ගණනාවක් තිස්සේ භූ විද්‍යාඥයෝ වෙහෙසුණාහ. දැන් ඔවුන් ඊට පිළිතුරු සොයාගෙන අවසන්ය. එවරස්ට් කන්ද උස යෑමට පටන් ගත්තේ, මීට අවුරුදු 89,000 කට පෙර, එක් ගංගාවක්, තවත් ගංගාවක් ගිල දමා, මහා ගංගාවක් වූ නිසා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

හිමාල කඳු වැටියේත්, ආසියාවේත්, ලෝකයේත් උසින් වැඩිම ශිඛරය එවරස්ට්ය. එවරට්ස් තරණය අභියෝගයක් පමණක් නොවෙයි, මරණය සමඟ කරන වික්‍රමයකි. ගතවුණු සෑම වසරක් පාසාම, සෙමින් සෙමින් එවරස්ට් කන්දේ උස වැඩි වෙයි. එහෙයින්, එවරස්ට් මුදුන ජය ගැනීම ද සෑම වසරක් පාසාම විශාල අභියෝගයකි. හිමාල කඳු වැටියට තවත් උස, තරණය කිරීමට අසීරු ‘කේ2’, ‘කාංචන් ජංගා’ සහ ‘ලොත්සේ’ ආදී වශයෙන් කඳු නැතිනම් ශිඛර අයත් වුවත්, එවරස්ට් කන්ද ඒ සියල්ල පරදයි.

භූ විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් කන්ද වසරක් පාසා උස යන්නේ මිලි මීටර් කීපයකිනි. මිලි මීටර් කීපයක් යනු ලොකු දෙයක් නොවේ යැයි සිතුනත්, පසුගිය වසර දහස් ගණන තිස්සේ, එවසර්ට් කන්ද අඩි 164 ක් උස වැඩි ඇත. එවරස්ට් කන්ද උස යෑම ආරම්භ වූයේ එය නිර්මාණය වූ අවස්ථාවේ පටන්, නිවැරදිව කීවොත් වසර මිලියන 50 ක් ඈත අතීතයේ සිටය.

එදා යෝධ භූ තැටි දෙකක් එකිනෙක ගැටුණි. එය භූමිය කම්පා කළ මහ බිහිසුණු ඝට්ටනයකි. එක මත එක ගැටෙන්න වූයේ ඉන්දීය භූ තැටිය සහ යුරේසියානු භූ තැටියයි. එක භූ තැටියක් අනෙක් භූ තැටිය මත වැටුණි. පෘථිවියේ පිට පොත්ත දෙදරා ගියා පමණක් නොවෙයි, ඇඹරී ගියේය. ඒ සමඟ කඳු වැටියක් ඉඒළට නිර්මාණය විය. ඒ, එවසර්ට් අයත් හිමාල කඳු වැටියයි.

පෘථිවි කබොල (Crust) ඉතා දැඩි ගතියකින් යුක්ත යැයි භූ විද්‍යාඥයන්ට අනුව එය එසේ නොවෙයි.පෘථිවි කබොල (Crust) යනුවෙන් හැඳින්වෙන්නේ, පෘථිවිය මතුපිට ඇති සිහින් තුනී ස්ථරයකි. ප්‍රචණ්ඩ ආකාරයෙන් භූ තැටි වෙනස් වීමක් හෝ ගැටීමක් සිදුවෙද්දී, කඳු වැටිවල බර පෘථිවි කබොලට දැනෙයි. පෘථිවි කබොලට යටින් ඇත්තේ ප්‍රාවරණයයි (Mantle). මෙය කොටස් දෙකකි. ඒ, ප්‍රාවරණය (Mantle) සහ ඉහළ ප්‍රාවරණය (Upper-Mantle) යනුවෙනි. ප්‍රාවරණය පාවෙන සුළුය. මෙය නිරන්රයෙන් ඉහළට තල්ලු වන ස්තරයකි. හිමාල කදු වැටිය ඇති ස්ථාන නිතර ඉහළ පහළ යයි. එය ඇසට නොපෙනෙන ඉතා සියුම් ක්‍රියාවලියකි. ඉතා සියුම් ක්‍රියාවලියක් වුවත් භූමියේ වෙනස්වීම් ඇති කිරීමට ඊට හැකිවිය.

වසර 89,000 කට පෙර, ප්‍රාවරණය ඉහළ පහළ යද්දී, එවරස්ට් කන්දේ සිට නැගෙනහිර දෙසින් පිහිටි ගංගාවක්, එහි ගමන් මඟ වෙනස් කළේය. මෙම ගංගාව අරුන් ගංගාවය.ගමන් මඟ වෙනස් කළ අරුන් ගංගාව, ඊට උතුරු දෙසින් පිහිටි තවත් ගංගාවක් දක්වා විහිදී ගිය අතර, එම ගංගාවේ ජලය සියල්ල අරුන් ගංගාව විසින් සොරා ගත්තේය‍. එකට එක්වුණු ගංගා දෙක මහා විශාල ගංගාවක් බවට පරිවර්තනය විය. මේ මහා ගංගාව ප්‍රචණ්ඩ ස්වරූපයෙන් ගලා බසින්න වූයේ එවරස්ට් කාන්ද පාමුල අවසාදිත පාෂාණ ටොන් බිලියන ගණනක් ඛාදනය කරමිනි‍. එවරස්ට් කන්ද පාමුල භූ විෂමතා රැසක් නිර්මාණය විය. එහි අවසානය වූයේ එවරස්ට් කන්දේ උස වෙනස් කරමිනි. එදා සිට එවරස්ට් කන්ද උස යෑමට ආරම්භ විය. විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම වන්නේ මෙයයි. එවරස්ට් කන්ද සෑම වසරක් පාසාම උස යන අතර එය තවත් වසර මිලියන ගණනක් සිදුවනු ඇත. එසේ වුවත් එක් දිනෙක, එවරස්ට් කන්ද උස යෑම නවතිනු ඇති බවත් එදාට හිමාල කඳු වැටිය ආශ්‍රිතව තවත් භූ පෙරැළි දකින්න ලැබෙනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS